ණය සහනයෙන් එහා | සිළුමිණ

ණය සහනයෙන් එහා

මුළු රට ම දැවැන්ත ණය අර්බුදයක හිඳියි. භාණ්ඩාගාර ලේකම්වරයාට අහස පොළොව ගැටගහන තරමට මේ ප්‍රශ්නය උග්‍ර වුව ද එය ගමේ මිනිසාට දැනෙන්නේ නැත. කිසිම තේරුමක් නැති ප්ලාස්ටික් හෝ සරුවපිත්තල පිටරටින් ගෙන්වන නගරයේ මුදලාලිලාටවත් ඒවා වෙළෙඳසැළෙන් මිල දී ගෙන ලස්සනට විසිත්ත කාමරයේ අසුරා ගන්නා ගමේ හෝ නගරයේ කාන්තාවටවත් එය දැනෙන්නේ නැත; එය වෙන ම කතාවකි. මේ මහා ණය බර අපට පුද්ගල වශයෙන් නොදැනුණ ද ගමේ සෑම ගෙදරකට ම ණය බරක් ඇත. උදක් ම මේ ණය බරක් වී ඇත්තේ කණ්ඩායම් ක්‍රමයට හෝ තනි තනිව ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලින් ණය ලබා ගෙන ඇති ගෙවල්වලට ය. මේ ජනතාව ද අද ඉසිලිය නොහැකි තරමේ පීඩනයක් විඳින්නේ ඔවුන්ට ගෙවා ගන්නට බැරි ණය කඳු නිසා ය. සාමයේ උදාවත් සමඟ ලෝකයට විවර වූ උතුරේ නිවාස අද දවන ලොකු ම ගින්න වී ඇත්තේ ද මේ ණය ගින්න ය. වෙසෙසින් ම මේ පීඩනයට ගොදුරුව සිටිනුයේ කාන්තාවන් ය. මේ කාන්තාවන් අතර යුද්ධයෙන් තම සැමියන් අහිමි වූ වැන්දඹුවන් ද දරුවන් අහිමි වූ දෙමාපියන් මෙන්ම යුද්ධයෙන් පසු අලුත් ජිවිතයක් ගොඩනඟන්නට පටන් ගත් තරුණියෝ ද වෙති. ඔවුන්ට මේ ණය පීඩනය හමුවේ ජීවිත අතහැර ගන්නටත් විවිධ සැහැසිකම් හෝ ලිංගික ගොදුරු බවට පත් වන්නට සිදුවන තරමටත් මේ අර්බුදය උග්‍ර වී තිබිණි. ඔවුන්ට යළි යම් අස්වැසිල්ලක් ගෙනාවේ රජය ඔවුන්ගේ ණය කපා හැරීමට ගන්නා ලද පියවරයි. ඒ අනුව පසුගිය සති අන්තය වනවිට උතුරුකරයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් වූ කතුන් ට සහනයක් වෙනුවෙන් රුපියල් කෝටි 12ක කැප කිරීමක් කරන්නට රජය පියවර ගත්තේ ය. රජය තවදුරටත් මෙම සහනය ලබා දෙමින් සිටී.

මේ සතිය තුළ රටේ වරප්‍රසාද අහිමි කර ගත් කාන්තාවන් වෙනුවෙන් දැවැන්ත මූල්‍ය කැප කිරීම් දෙකක් රජයට කරන්නට සිදු විය. ඒ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රජයෙන් වසරක් තුළ රුපියල් බිලියන 12ක අතිරේක වැය බරක් දරන්නට සිදුවීම ය. ආර්ථිකමය වශයෙන් පීඩාකාරී පසුබිමක් තුළ වැවිලි කර්මාන්තය පවත්වාගෙන යන අතරේ වතු කම්කරුවන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම ඒ කර්මාන්තකරුවන්ට පූරණය කළ නොහැකි කල රජය කළේ වසරක කාලයක් යන තෙක් ඒ පූරණය රජය මඟින් දැරීම ය. අනෙක් කරුණ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන නියඟය ඇතුළු විවිධ අභියෝග නිසා එය ගෙවා ගත නොහැකි වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් ඒ ණය බරින් මුදාලීම ය. මේ සිදුවීම් දෙකේදී ම නිවසේ ආර්ථිකයට දැඩි බලපෑමක් කරන අවස්ථා ද්විත්වයක් වන අතර ඒ පසුපස සිටින පොදු සාධකය ක්ෂ්‍රද්‍ර මුල්‍ය ණයයි. වතුකරයේ ජනතාවට ද මේ වනවිට ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩනය බලපා ඇත. එය ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමට මනස පොලඹවන එක් හේතුවක් නොවේ යැයි තර්ක කළ නොහැකිය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදෙල්දී කෙරෙන්නේ සාපෙක්ෂ ව සුළු මුදලක් කණ්ඩායම් ඇප වශයෙන් ෙගන ණයලාභීන් වෙත ලබා දීමය. පොඩි පොඩි ණය දීම් මෙරට සමූපකාර ණය දෙන සමිති හරහා ද කලක් නිහඬ ව ක්‍රියාත්මක වුවද මේ කියන ක්ෂුද්‍ර මූල්‍ය රැල්ල එන්නේ බංග්ලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාරයේ ව්‍යාප්තියත් සමඟ ය. බංග්ලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාරය ආරම්භ කරන්නේ මහාචාර්ය මොහමඩ් යූනුස් ය. ඒ රටේ ගිනි පොලීකාරයන්ගෙන් ගැමි පවුල්වලට එන දැඩි පීඩනය ගැන අවබෝධයක් තිබුණු මහාචාර්ය යූනුස් මෙම කුඩා කණ්ඩායම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය දියත් කරන්නේ කුඩා මට්ටමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඔවුන්ට ස්වයං ආර්ථික ශක්තියකින් නැඟී සිටිමේ හැකියාව ලබා දෙන්නට ය. සැබැවින් ම ඔහු අතින් මේ අරමුණ ඉටු විය. මේ නිසා ග්‍රාමීන් ක්‍රමය සාන්තුවරයකුගේ ස්වභාවයක් මුලදී ඉසිලීය. එහෙත් කෙටි කලක් අැතුළත මේ ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ ව්‍යාපාරිකමය විභවය තේරුම් ගත් විවිධ ව්‍යාපාර ආයතන එය සැණෙකින් ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කර ගත්තේ ගමේ කාන්තාවන් මුල් කරගෙන ගිනි පොලියට ණය දීමේ ක්‍රමයක් විලසට ය. ෙසෟභාග්‍යයට දොරටු විවර කරන සාර්ථක ක්‍රමයක් අවභාවිත වන්නට පටන් ගත්තේ මේ ලාබ ඉපැයීමේ තරගය නිසා ය. අද වනවිට මුදල් හදල් ටිකක් එකතු කර මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති තරුණ ගැටවුන්ගේ සිට ලෝකයේ වැඩිම පිරිවැටුමක් සහිත ෆෝචූන් 500 සමාගම් පවා මේ ව්‍යාපාරයට අද එළැඹ සිටිති. මේ පිළිබඳ ව විග්‍රහයක යෙදෙන ඒ ව්‍යාපාරය පිළිබඳ පුළුල් හැදෑරීමක් ඇති හියු සින්ක්ලෙයාර් පවසන්නේ මේ වනවිට සාන්තුවරයන් අත තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය මේ වනවිට ගිනි පොලීකාරයන් අතට යළි පත් වී ඇති බව ය. සින්ක්ලේයාර්ට ඌන පුරණයක් දෙන හාවඩ් සරසවියේ ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් කෝටන් පවසන්නේ අද වනවිට ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය පළිබෝධකාරයෙන් සමාජය ගිල ගන්නා ණය ක්‍රමයක් මිස එය කිසිසේත් සමාජයට වගකියන මූල්‍ය ක්‍රමයක් නොවන බව ය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ පුරෝගාමීත්වය දුන් මහාචාර්ය යුනුස් ද මෑතකදී පවසා තිබුණේ අප ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිර්මාණය කළේ ණය මෝරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට මිස අලුත් ණය මෝරුන් බිහි කිරීමට නොවන බව ය.

කෙසේ වුවද ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම කිසිසේත් සමාජයට අවැඩදායී සේනා දළඹුවකුගේ තත්ත්වයට පත් කිරීමට තරම් අප කඩිනම් විය යුතු නැත. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ දැනට මේ ක්‍රමය තුළ පවතින ගැටලු හඳුනා ඊට විසඳුමක් ලබා දීම ය.

අද වන විට රටේ ඕනෑම කෙනකුට පහසුවෙන් මේ මූල්‍ය ව්‍යාපාරයට සුළු මුදලක් අතැතිව පවා එක් විය හැකිය. අවශ්‍ය වන්නේ එය කළමනාකරණය කර ගැනීමේ දැනුම පමණකි. එහෙත් මේ ණය ගන්නා ගමේ කාන්තාවන්ට ණය කළමනාකරණය පිළිබඳ කිසිදු වැටහීමක් ලැබෙන්නේ නැත. එසේම ඔවුන් බොහෝ විට ණය ලබා ගන්නේ පරිභෝජනයට මිස වෙනත් ව්‍යවසායකට හෝ ආයෝජනයකට නොවීම ද ගැටලුවකි. මේ නිසා ඔවුන්ට මේ ණය නැවත ගෙවීමේදී සිදුවන්නේ පවතින සොච්චම් ආදායම හමුවේ පීඩනයට ලක් වීම ය. ඒ මදිවාට ඇතැම් පළාත්වලට බලපෑ දැඩි නියඟය ඔවුන්ගේ කෘෂිකාර්මික ජීවනෝපාය බිඳ වැටීමට ලක් වීම ද එක් පැතිකඩක් විය. මේ සියලු කරුණු සලකන කල ඔවුන්ට මේ ණය ක්‍රමය ඔස්සේ ලැබෙන එක ම සහනය වන්නේ ඉල්ලූ සැණින් බාධකවලින් තොරව ඉල්ලූ මුදල ලැබීම ය. එහෙත් එය ලැබීම ම ඇතැම් අයට ඛේදවාචකයකි. එබැවින් මේ ව්‍යාපාරයේ දැනට පවතින අසාරවත් පැතිකඩ නිසි ලෙස හඳුනාගෙන එහි සාරවත් පැත්ත කෙරෙහි වැඩි නැඹුරුවක් වෙත ‍යොමු කරවීමට නම් විය යුත්තේ මේ ණය ක්‍රම පිළිබඳ ව පුළුල් දැනුමක් ජනතාවට බිම් මට්ටමින් ලබා දීම ය. අනෙක ක්ෂුද්‍ර මූල්‍ය ණය රටාව යම් නියාමනයකට නතු කිරීම ය.

Comments