
කුසුම්සිරි කොඩිතුවක්කු
කෞතුකාගාර පාලක ජේතවන කෞකුගාරය අනුරාධපුරය
බාහිර කථිකාචාර්ය - ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය
‘සිංහලයන්ගේ සාමාන්‍ය බීම වතුරය. ආහාර ගන්නට පෙර රා බොතහොත් එය ශරිර ශක්ති වර්ධනයට ඉවහල් වෙතැයි කියති.” ඒ මීට සියවස් තුනකට පමණ ඉහත දී කන්ද උඩරට සිංහලයන්ගේ රා බීම පිළිබඳව රොබට් නොක්ස් සඳහන් කර ඇති අයුරුය. බෞද්ධ ආගමික පරිසරය තුළ මත්පැන් පානය අකැප දෙයක් වූවත් රා පොදක් කට ගෑමට අතීත සිංහලයන් හුරුපුරුදුව සිට බවට පොතපතින් සාධක ලැබෙයි. එහෙත් කිසි ලෙසකිනුත් ඔවුහු සැර මධ්‍යසාරවලට ඇබ්බැහි වී නොසිටියහ. පෘතුගිසීන් මෙරටට පැමිණ වයින් පානය කිරීම පවා ඔවුන් දුටුවේ ‘ලේ’ බීමක් ලෙසිනි.
ශ්‍රී ලාංකිකයන්ට යටත් විජිත පාලන සමයේ දී උරුම වූ යහපත් දේ මෙන්ම අයහපත් දේ ද වේ. අයහපත් දේ ගැන කතාකරන විට මත්පැන් භාවිතය ප්‍රචලිත වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඒ නිසා උද්ගතව ඇති සමාජීය හා සෞඛ්‍යමය ගැටලු නිසාවෙනි. වර්තමානයේ එම තත්ත්වය වඩාත් උග්‍ර වී මත්පැන්වලට අමතරව මත්ද්‍රව්‍ය භාවිතය ද එක් වී තිබේ. “මතට තිත” , “මතින් තොර රටක්” වැනි වැඩසටහන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කොට මෙම උවදුර තුරන් කිරීමට කටයුතු කරනුයේ එම සාමාජීය ගැටලුව වඩාත් උග්‍ර තත්ත්වයට පත්ව ඇති නිසාය.
යටත් විජිත පාලන සමය තුළ දී මත්පැන් භාවිතය ප්‍රචලිත වී පැවතියත් එය පාලනය කිරීම සඳහා නීතිරීති මාලාවක් ද හඳුන්වා දී තිබිණි. ඒ පිළිබඳව විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.
ශ්‍රී ලාංකිකයන් සැර මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම විමසා බලන කල්හි ලන්දේසි යුගය විශේෂයෙන් ම සඳහන් කළ යුතු කාලපරිච්ජේදයකි.
ඒ වන විට ලන්දේසින්ට යටත් වූ නාගරික ප්‍රදේශවල මත්පැන් අලෙවිහල් (තැබෑරුම්) සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන්නට විය. බ්‍රිතාන්‍ය යුගයේ දී මෙම තත්ත්වය තවදුරටත් ප්‍රබල විය. වර්ෂ 1818 කැරැල්ල සමයේ දී සත්කෝරලේ භාරව සිටි මේජර් හුක් ද තැබැරුම් පිහිටුවීම සඳහා යෝජනා කර ඇති අතර ඔහු විසින් 1818 ඔක්තෝම්බර් 25 දින දෙවන කොමාසාරිස් වූ ගේ ට මෙසේ ලියා යවා තිබේ. “සියලුම වර්ගවලට හා පන්තිවලට අයත් උඩරැටියන් මත්පැනට ඇබ්බැහි වී සිටිති. බුද්ධිමත් ලෙස යොදන ලද අරක්කු විදුරු කිහිපයක් රහස් හෙළි කරන යතුරක තැන ගන්නා බව මට නොයෙක් විට දැනගන්නට ලැබිණි. එමෙන්ම උඩරැටියන්ට අරක්කු අවශ්‍ය වූ විට එය ලබා ගැනීමට මුදල් සපයා දීම පිණිස වැඩ කිරීමට ඔවුන් පෙලඹවීමේ මාර්ගයක් වශයෙන් අරක්කු යොදා ගත යුතු බවට ද යෝජනා කළේය.
මාහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සඳහන් කරන පරිදි මොල්ලිගොඩ මහ නිලමේ ද ඔහුගේ එකම පුත්‍රයාද අකාලයේ මිය ගොස් මොල්ලිගොඩ පරම්පරාව අවසන් වූයේ ද අධික ලෙස මත්පැනට ඇබ්බැහි වීම නිසාය.
මත්පැනට ශ්‍රී ලාංකීකයන් දැඩි ලෙස ඇබ්බැහිවීමත් සමඟ ඒ හා සම්බන්ධ නිතිවිරෝධී කටයුතු ද සීඝ්‍ර ලෙස ප්‍රචලිත වන්නට පටන් ගති. විශේෂයෙන් ම හොරමැත්පැන් අලෙවිය මත්පැන් පෙරීම යන ආදිය ඒ අතරින් ප්‍රමුඛත්වය ගනී.
එම නිතිවිරෝධී ක්‍රියාවන් මැඬලීම සඳහා ලන්දේසි යුගය පටන්ම විවිධ නිතිරිති, ආඥාපනත් නිකුත් වන්නට විය. ඒ අතරින් පැරණිම ලේඛනයක් ලෙස හැඳින්විය හැක්කේ දැනට නෙදර්ලන්තයේ ත්රොපන්කෞතුකාගාරයෙහි (Tropenmeseum) ඇති 1780 අගෝස්තු 21 වෙනි කොළඹ මහා දිසාව විසින් නිකුත් කරන ලද තල්පත් නිවේදනයයි.
පත් ඉරු දෙකකින් සමන්විත මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ කඩවත් සතර ඇතුළත මත්පැන් අලෙවිසැල් හිමියන් (තැබෑරුම්කාරයින්) වෙතය. එම නිවේදනයෙහි සඳහන් ප්‍රධාන නියෝග දෙකකි.
රාත්‍රි නවයෙන් පසුව මත්පැන් අලෙවි කිරීම තහනම් ය. මේ නියෝගය නිකුත් කිරීමට හේතු වී ඇත්තේ රාත්‍රි කාලයේ දී මත්පැන්හල් විවෘත කර තැබීම නිසා ඒ ආශ්‍රිතව සුදු කෙළිමද සිදු වීමය.
මීට පෙරාතුව ද මේ සඳහා නිවේදනයක් නිකුත් කර තිබුණ ද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් වේ. ඒ අනුව මෙය අවසානය නිවේදනය බව ද සඳහන් කර තිබේ. බාලවයස්කරුවන්ට (“කොල්ලන්ඩ”) මත්පැන් අලෙවි කිරීම තහනම්. මේ සඳහා ද කලින් නියෝගයක් නිකුත් කර ඇති අතර මෙය අවසාන නිවේදනය ලෙස සඳහන් කර තිබේ. මේ නියෝග කඩකරන්නන්ට එරෙහිව දඬුවම් (අච්චු) කරන බව සඳහන් කර තිබුණ ද ඒ කවරාකාරයේ දඬුවමක් දැයි දක්වා නොමැතිය.
බ්‍රිතාන්‍ය යුගයේ දී මත්පැන් පරිහරණය සම්බන්ධයෙන් නීතිරීති ඇතුළත් නිවේදන නිකුත් කර ඇති අතර ඒවා ලන්දේසි යුගයේ නිවේදනවලට වඩා ක්‍රමවත් බවකින් යුක්ත විය. විශේෂයෙන් ඒ සම්බන්ධ නිතිරිති හා ඒවා කඩකරන්නන්ට නියම වූ දඬුවම් ද ඒවායේ පැහැදිලි ලෙස දක්වා තිබේ.
1820 අප්‍රේල් 25 වැනි දින එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති නිවේදනය ඒ අතරින් වැදගත් සේ දැක්විය හැකි ය. එහි මත්පැන් පරිහරණය සම්බන්ධයෙන් නීතිරීති ගණනාවක් ම ඉදිරිපත් කර ඇති අතර ඒවා තේමා කිහිපයක් යටතේ පහත පරිදි ගොනුකොට දැක්විය හැකිය.
මත්පැන් ප්‍රවාහනය - එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මත්පැන් රැගෙනයෑම සඳහා දිසා ලේකම්වරයාගෙන් ලබා ගත් බලපත්‍රයක් හෝ මත්පැන් රැගෙන එන තොටමුනේ බදු එකතු කරන නිලධාරියා (කොලෙක්තේරු උන්නාන්සේ) ගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය.
එහි බලපත්‍රය වලංගුවන කාලසීමාව, මත්පැන් වර්ගය යන තොරතුරු අන්තර්ගත විය යුතුය. එවැනි බලපත්‍රයක් රහිතව මත්පැන් රැගෙනයෑම නීති විරෝධි ක්‍රියාවකි.
එවන්නකු අසුවූවහොත් ඔහු සතු මත්පැන් සියල්ල රාජසන්තක කෙරෙන අතර දඩ මුදලක් ගෙවීමට හෝ සිරදඬුවමක් විදීමට ද සිදු වේ. එම දඩය මත්පැන් ගැලුමකට පතාග විසිපහ බැගිනි. දඩ මුදල් ක්ෂණිකව ගෙවීමට අපොහොසත් වුවහොත් බරපතල වැඩ ඇතිව වසරකට නොවැඩි සිරදඬුවමක් විඳීමට සිදු වේ.
මත්පැන් අලෙවිය
මත්පැන් අලෙවි කිරීම සඳහා ආණ්ඩුකාරවරයා වෙනුවෙන් දිසාපතිවරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. බලපත්‍රයක් නොමැති මත්පැන් අලෙවි කරන්නෙකුට දඩය පතාග (රිදී කාසි) 50 කි. නැතහොත් වසරකට නොවැඩි බරපතල වැඩ සහිත සිරදඬුවමකි.
එසේම පාන් පිළිස්සීම සඳහා මිස වෙන කාර්යයක් සඳහා රා අලෙවි කිරීම ද තහනම් විය. එම නීතිය කඩකරන්නන්ට දඩය පතාග 10 කි. නොඑසේනම් බරපතල වැඩ ඇති ව මාස 3ට නොවැඩි සිරදඬුවමකි.
නිතිවිරෝධි මත්පැන් පෙරීම
ආණ්ඩුවේ අවසරයක් නොමැතිව මත්පැන් පෙරීම ද නිති විරෝධි ක්‍රියාවකි. ඊට වැරදිකරුවන් වන අයට, අසුවන විට තිබූ මත්පැන් ගැලුමකට පතාග පහක් බැගින් දඩමුදලක් ගෙවීමට හෝ බරපතල වැඩ ඇතිව වසරකට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදු වේ. එසේම, පෙරන ලද මත්පැන් සියල්ල ද ඒ සඳහා ප්‍රයෝජනයට ගත් උපකරණ ද පමණක් නොව ඒවා හමු වූ ස්ථානය ද රාජසන්තක කෙරේ.
බලපත්‍ර රහිත තැනකින් මිලදී ගත් මත්පැන් ළඟ තබාගැනීම, බලපත්‍ර රහිතව මත්පැන් අලෙවි කිරීම තහනම් වූවා සේම, බලපත්‍ර රහිත තැනකින් ලබා ගත් මත්පැන් ළඟ තබා ගැනීම ද වරදක් විය.
එවැන්නකු අසු වූවහොත්, ඔහු සතුව ඇති මත්පැන් ගැලුමකට පතාග 25 බැගින් දඩ මුදලක් ගෙවීමට හෝ බරපතල වැඩ ඇතිව වසරක සිරදඬුවමක් විදීමට සිදු විය. එසේම මත්පැන් සියල්ල ද රාජසන්තක කෙරිණි.
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් ඉහත නීතිරීති ඇතුළත් නිවේදනය නිකුත් කර හය මසකට පසුව, එනම් 1820 නොවැම්බර් 11 වෙනි දින ඒ සඳහා සංශෝධන කීපයක් ඇතුළත් තවත් නිවේදනයක් නිකුත් කිරන ලදි. එහි දී නීතිරීති කිහිපයක් යම් යම් වෙනස්කම්වලට භාජනය කර තිබේ.
විශේෂයෙන්ම මෙහිලා සංශෝධනයට ලක් වූයේ මත්පැන් රැගෙන යෑම සම්බන්ධ නියෝගයන්.
ඒ අනුව, මත්පැන් රැගෙන යෑම සඳහා දිසාපතිවරයාගෙන් ලබාගත් බලපත්‍රයේ, එය වලංගු වන කාලසීමාව රැගෙන යන මත්පැන් ප්‍රමාණය, වර්ගය, ලබාගත් ස්ථානය, රැගෙන යන ස්ථානය නිසි පරිදි සඳහන් විය යුතු විය.
එලෙස බලපත්‍රයක් රහිතව මත්පැන් රැගෙන යන්නන්ට හෝ ඒවා සපයා දුන් අයට සෑම අරක්කු ගැලුමකටම පතාග විසිපහ බැගින් දඩ මුදලක් ගෙවීමට හෝ බරපතල වැඩ ඇතිව වසරකට නොවැඩි සිර දඬුවමකට යටත්වීමට සිදු විය.
කෙසේ වෙතත් සිවිල් හා යුද නිලධාරීන් රැගෙන යන මත්පැන් සඳහා පැවැති බලපත්‍රයක් අවශ්‍ය නොවීය. එසේම අදාළ කෝරලය ඇතුළත බලපත්‍රයක් රහිතව මත්පැන් ගැලුම් භාගයක් රැගෙන යෑම සඳහා ද මේ සංශෝධනයෙන් අවසර ලැබුණි.