මාධ්‍ය විරෝධය පසුපස සිට බලමු | සිළුමිණ

මාධ්‍ය විරෝධය පසුපස සිට බලමු

ජනමාධ්‍යවල හැසිරීම සහ එහි භාවිතය පිළිබඳ මේ දිනවල කතා වෙන්නේ අපේ රටේ පමණක් නොවේ. එය මුළු ලෝකයේම කතාබහට ලක් වන ප්‍රබල මාතෘකාවක් වී තිබේ. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ යැයි කියන ඇමෙරිකාවේ පවා මේ කාලයේ මාධ්‍යවල හැසිරීම එරට මහජනතාව, සිවිල් සංවිධාන සහ විද්වතුන් අතර පුළුල් කතාබහක් නිර්මාණය කරවීමට හේතු වී තිබේ.

පසුගියදා අපේ රට තුළ මෙවැනි කතාබහක් ඇති වන්නට පසුබිම් වූයේ මාධ්‍යවල සදාචාර විරෝධි හැසිරීමයි. සාම්ප්‍රදායික මාධ්‍යවලට අභියෝග කරමින් සමාජ මාධ්‍ය හිස ඔසවමින් තිබෙන, පුරවැසි මාධ්‍ය භාවිතය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ලෝකයේ ජනමාධ්‍ය හැසිරීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැසිරීමද අපට කතා කළ යුතු මට්ටමකට පැමිණ තිබේ. ලෝකයේ කවර රටක වුවද ජනතාව මාධ්‍ය පසුපස වැටෙන ප්‍රධාන හේතුව වන්නේ පුවත් සෙවීමය; එසේ නැති නම් අලුත් තොරතුරු දැනගැනීමය. දැනුම, විනෝදය, සහන ලබාගැනීම ආදි සෙසු කාරණා මේ තුළ ද්වීතියික වෙයි.

අද මේ සාම්ප්‍රදායික හෝ නව්‍ය මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රවෘත්ති ගලා එයි. එහෙත් මේ ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වයද ඒ වේගයෙන්ම ඇදවැටෙන්න පටන් ගෙන තිබේ. එය ලංකාවේ මෙන්ම ලෝකයේම දැකිය හැකි තත්ත්වයකි. බොහෝ විට මේ මාධ්‍ය භාවිතාව ප්‍රශ්නකාරි වන්නේ ජනතාව වෙත වැරදි හෝ නොමග යවනසුලු ප්‍රවෘත්ති ළගා වන විටය. මේ තත්ත්වය නිසාම මේ වන විට ඇමෙරිකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය සියල්ල ඔවුන්ගේ විශ්වසනීයත්වය කෙලෙසාගෙන ඇත. ඒ වෙනුවට විකල්ප කෙරෙහි විශ්වාසය තබන තැනට කටයුතු නිර්මාණය වී ඇත. මේ භයානක තත්ත්වයෙන් මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය ව්‍යාපාර රැකගැනීම වෙනුවෙන් ජනතා ව්‍යාපාර පවා නිර්මාණය වී ඇත.

ඒ අතර දියුණු රටවල මාධ්‍ය සම්බන්ධ විද්වත්තු මාධ්‍යවල විශ්වසනීයත්වය සහ සදාචාර මායිම් සංවර්ධනය සඳහා අනවරත උත්සාහයක යෙදී සිටිති. අද ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍යවල අන්තර්ගතයේ කරුණු නිවැරැදිදැයි පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ දැනුමැති පුද්ගලයන් සම්බන්ධ කරගෙන තිබේ. කරුණු පරීක්ෂාව මාධ්‍යවල එක්තරා විෂයයකි. ඔවුන් එසේ කරන්නේ තම මාධ්‍යවල විශ්වසනීයත්වය රැකගැනීම සඳහා ය. එසේම ජනතාවට වගකියන මාධ්‍යයක් ලබා දීම සඳහාය. එසේ නොවුණ හොත් ඔවුන්ගේ පාඨකයන් සහ ප්‍රේක්ෂකයන් ප්‍රමාණය පහළට යෑම ව්‍යාපාරික වශයෙන් අවාසි තත්ත්වයක් නිර්මාණය කිරීමකි. එය මාධ්‍යවල විශ්වසනීයත්වය පිළිබඳ කතාවකි.

මාධ්‍යවල විශ්වසනීයත්වය සේම මාධ්‍යවල පක්ෂපාති භාවය පිළිබඳවද සංවාදය දශක ගණනාවක සිට පැවතෙන්නෙකි. සමබර මාධ්‍ය කලාවක් ගැන කොතරම් ප්‍රකාශ වුවද ලෝකයේ එවැනි සමබර මාධ්‍ය කලාවක් දැකිය නොහැකි තරම්ය. බොහෝ මාධ්‍ය තම ප්‍රකාශකයාගේ න්‍යායපත්‍රයට අනුගත වෙති. ලෝකයේ බොහෝ විට සිදු වන්නේ ප්‍රකාශකයාගේ දේශපාලන න්‍යායපත්‍රය සමඟ අදාළ මාධ්‍ය අනුගත වීම අඩු වැඩි වශයෙන් සිදු වන්නේය. එහෙත් ඒ යම් සදාචාර සීමාවන්ට යටත්වය. දියුණු රටවල දේශපාලනික හෝ කවර පසුබිමක් තුළ වුවද සදාචාරයක් නැති මාධ්‍යයක ඇසුර ලබන්නට තම මුදල් සහ කාලය වැය කර මාධ්‍ය වෙත සමීප වන ජනතාව සූදානම් නැත. අද එදාටත් වඩා එය බලවත්ය. ඔවුන්ට මේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය භාවිතයට අභියෝග කළ හැකි සමාජ මාධ්‍ය ජනතාව සතුය. පසුගිය සතියේ කෙන්යාවේ නයිරෝබි නුවර හෝටලයක සිදු වූ බෝම්බ ප්‍රහාරයේ ඡායාරූප ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සදාචාර සීමා ඉක්මවා පළ කිරීම කෙරෙහි උරණ වූ ජනතාව එකහෙළාම තම විරෝධය පෑහ.

මෙවැනි විරෝධාත්මක ප්‍රවණතාවකට මුල පුරන මාධ්‍ය සම්ප්‍රදායක් අප රට තුළද පවතින බව කවුරුත් පිළිගත යුතු ඇත්තකි. අද මෙරට ඇතැම් පෞද්ගලික මාධ්‍ය කිසිදු සදාචාර සීමාවක් තකන්නේ නැත. රටට බලපාන ඇතැම් ප්‍රවෘත්ති තම දේශපාලනික හෝ ව්‍යාපාරික විරුද්ධවාදියා විනාශ වන අන්දමට තමන්ට ගැළපෙන සේ නිර්මාණය කරති. බොහෝ මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රය දේශපාලන දැක්ම ඉක්මවා ඇත. තමන්ට ව්‍යාපාරික වශයෙන් වැඩි වාසියක් අත් කරගන්නට, තමන්ට ජනතාව සූරා කන්නට වැඩි අවස්ථාවක් සලසාගන්නට, එසේ නැති නම් නීතිය අවනීතිය කරගන්නට තම මාධ්‍ය හැසිරවීමට කටයුතු කරති. මුළු රටම මෙය බොරුවක් අසාධාරණයක් බව පිළිගනිද්දී මේ මහා බොරුව ඇත්තක් කොට ජනතාව හමුවේ හුවා දක්වන්නට උත්සාහ කළද එය ඔවුන් මවන ඇත්ත බොරුවක් බව ජනතාව දනිති. මේ තත්ත්වය පසුගිය ව්‍යවස්ථා විරෝධී දින 51 තුළ මෙරට ඇතැම් මාධ්‍ය ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලිව දැකගත හැකි විය. මේ අඳුරු දින 51 තුළ ප්‍රධාන දහරාවේ මාධ්‍යවල ක්‍රියාකාරිත්වය සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වය මාධ්‍ය විෂයය හදාරන්නන්ට හොඳ සිද්ධි අධ්‍යයනයකි. මෙහිදී සැබෑ මතය ජනතාව අතරට වේගයෙන් යන්නට වගකීම් සහගත ලෙස සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වෙබ් අඩවි මෙහෙයවූවෝ කටයුතු කළහ. මේ නිසා විශ්වසනීය වූ තොරතුරු දැනගැනීම වෙනුවෙන් මාධ්‍ය අත්හැර මේ කෙරෙහි යොමු වීමේ ප්‍රවණතාවක් පැවතිණි.

ප්‍රධාන දහරාවේ ජන මාධ්‍ය එලෙස ජඩ අන්දමින් කටයුතු කරද්දී ජනතාව විවිධ ආකාරයේ විරෝධතාවලින් ප්‍රතිචාර දැක්වීම ස්වාභාවිකය. ඒ විරෝධතාව විවිධාකාර විය හැකිය. ඇතැම්හු නිහඬව මේ මාධ්‍යවලින් ඈත් වෙති. සමහරු සමාජ ජාල ඔස්සේ තම විරෝධය පළ කරති. පාරට බැස විරෝධතා පෑමේ හැකියාව ඇත්තෝ පාරට බසිති. ඊට බොහෝ විට මුල පුරන්නේ සිවිල් සමාජ සංවිධානය. ඒ අතරේ විවිධ අරමුණු සහිත රාජ්‍ය නොවන සංවිධානද එක් වීමට බැරි නැත. එහෙත් මේ විරෝධය ඔස්සේ රටේ ජනතාව තුළ මාධ්‍ය භාවිතය පිළිබඳ අවදි වීමක් සිදු වනු නැවැත්විය නොහැකිය. ඒ අවදි වීමේ ප්‍රතිඵලය බිහිසුණු විය හැකිය. එබැවින් වගකීම් සහගත මාධ්‍ය භාවිතාවකට රටේ සෑම මාධ්‍යයක්ම යොමු වීම ගැන මාධ්‍ය හිමිකරුවන් කෙසේ වෙතත්, මාධ්‍ය වෘත්තිකයන් අතර පෞරුෂයක් වඩවාගත යුතුය.

Comments