උසස් පෙළ සහ පහත් දේශපාලනය | සිළුමිණ

උසස් පෙළ සහ පහත් දේශපාලනය

පාසල් ජීවිතය ආරම්භ කරන දරුවන්ට මෙන්ම ඔවුන්ගේ මවුපියන්ටද සීතල ජනවාරිය උණුසුම් කාලයකි. ඔවුන්ට ඒ උණුසුම එලෙසින්ම දැනෙද්දී මෙවර උසස් පෙළ විභාගය ලියා පාසල් ජීවිතය හමාර කළ යොවුන් වියේ දරුවන්ටත් ඔවුන්ගේ දෙමවුපියන්ටත් 2019 ජනවාරිය ලබන්නේ උණුසුම් පසුබිමක් සමඟය. ඒ වසරේ අවසන් දිනවල එළි දුටු උසස් පෙළ ප්‍රතිඵලය නිසාය.

පාසල් ජීවිතය තුළ ඇති අතිශය තීරණාත්මක කඩඉමක් වන උසස් පෙළ විභාගය ලියූ අපේක්ෂකයන් බොහෝ දෙනකු තමන් ලද ප්‍රතිඵලය මත එහි පවතින ජයග්‍රහණය හෝ පසුබෑම් මේ දිනවලත් විඳ දරාගනු නිසැකය. කෙසේ වුවද එය කවර වසරකදී වුවද සිදු වන සාමාන්‍ය තත්ත්වයකි.

එහෙත් වෙනස ඇත්තේ එය මෙවර දේශපාලන විලක්කුවකින්ද ගිනියම් කිරීමට උත්සාහ කිරීමය. එයට පසුබිම් වන්නේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා මෙවර උසස් පෙළ ප්‍රතිඵල විශිෂ්ට ලෙස අත් කරගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් අතර ජාත්‍යන්තර පාසලක සිසුවියකද සිටීම පිළිබඳ මාධ්‍ය හමුවේ දැක්වූ අදහසකි. ඔහු එහිදී පෙන්වා දුන්නේ රජයේ පාසල්වල දරුවන් සහ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ගේ ප්‍රතිඵල එකට ගෙන දැක්වීම සුදුසු නොවන බවයි. එයින් රජයේ පාසල්වල දරුවන්ට අසාධාරණයක් වන බව ඔහුගේ අදහස විය. බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සෑම අවස්ථාවකම වර්තමාන රජය කෙරෙහි විරෝධාකල්පයක පසු වන නිසා ඔහු මේ තත්ත්වයද එම විරෝධයේ එක් අයිතමයක් ලෙස සූදානම් කරගත්තා විය හැකිය. මාධ්‍ය හමුවකට පුවත්පතක්ද ගෙන පැමිණි ඔහු මේ දැරියගේ ඡායාරූපය පවා වෙනම පෙන්නා ඇය වෙනස් කෙනකු ලෙස සමාජය හමුවේ හුවා දක්වන්නට උත්සාහ කළේ මේ නිසා විය හැකිය. ඔහු මෙය දේශපාලනික ක්‍රමෝපායයක් ලෙස භාවිත කළා මිස, හෘදයසාක්ෂියට එකඟව එය කළේයැයි සිතිය නොහැක්කේ බන්දුල ගුණවර්ධන මහතා යනු මුදලට අධ්‍යාපනය ලබා දීම පිළිබඳ එක්තරා පුරෝගාමියකු වන නිසාය. ඔහු කලෙක රටේම ජනප්‍රිය උසස් පෙළ ටියුෂන් ගුරුවරයෙකි. එමෙන්ම ඔහු ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරයටද සම්බන්ධව එවැනි ජාත්‍යන්තර පාසලකට පිතෘත්වය දුන් පුද්ගලයෙකි. ඔහු ජාත්‍යන්තර පාසලකට සම්බන්ධ වන්නේ මෙරට පවතින නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට අනාගත අභියෝගයක් විය හැකි ආකාරයෙන් ඇති-හැකි අයගේ දරුවන්ට ලන්ඩන් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග ලියවන්නට වෙන්නට පුළුවන. එහෙත් වර්තමානය වන විට මේ තත්ත්වය පැහැදිලිවම වෙනස් වී ඇත.

මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රජයේ පාසල් සම්බන්ධයෙන් පවතින බරපතළ අර්බුදයයි. රජයේ පාසල් පිළිබඳ සැලකීමේදී ඒවා අතර බරපතළ විෂමතා නිර්මාණය වී තිබේ. ඒ විෂමතාවලට එක් අතකින් භෞතික සම්පත් හේතුපාදක වන අතර, අනෙක් අතින් ඒවායේ මානව සම්පත්වල පවත්නා විෂමත්වයද දැඩි සේ බලපායි. නිදසුනක් ලෙස: එක් එක් පාසලක සාර්ථකත්වය එහි මුල් පුටුව දරන විදුහල්පතිවරයාගේ නායකත්වය මත, එහි සිටින ගුරුවරුන් මත සේම ආදිශිෂ්‍ය, මවුපිය සංගම්වල හැකි-නොහැකියා මට්ටම් මත තීරණය වෙයි. මේ විෂමත්වය එලෙසින්ම ජාත්‍යන්තර පාසල් අතරද පවතින අතර, එය නිසි ලෙස නියාමනය කිරීමේ වැඩපිලිවෙළක් අපට තවමත් නැත. එය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලයේ පවා පැවතුණු ඛේදනීය තත්ත්වයකි. අද හොඳ මට්ටමේ රජයේ පාසලකට දරුවකු ඇතුළු කිරීම ඕනෑම මවකගේ පියකුගේ පපුව පත්තු වන මට්ටමේ ගැටලුවකි. මුදල්, දේශපාලන බලය නැතිව පාසලකට දරුවකු ඇතුළු කිරීම අභියෝගයකි.

මෙවැනි පසුබිමක තමන්ට හැකි අවම පහසුකම් පවතින පාසලකට දරුවා ඇතුළු කොට ඉගැන්වීමට මවුපියෝ කටයුතු කරති. ඇතැම් මවුපියන් දරුවන් මෙකී ජාත්‍යන්තර පාසල්වලට යවන්නේ මුදල් තිබෙනවාට හා් සෝබනයට හෝ නොවේ. මුදල් තිබුණු පළියට හෝ ජාත්‍යන්තර පාසල් තිබුණු පළියට හෝ ඒවාට තම දරුවන් යවන්නේද නැත. මේ පාසල් අතරද අද තරගයක් නිර්මාණය වි ඇත්තේ මේ නිසාය.

මේ අනුව බලන කල සමස්තයක් ලෙස පොදුවේ අධ්‍යාපනය යන්න අභියෝගයක් වී තිබේ. එමඟින් බිහි වන දරුවා අයිති අපේ රටටය. ඔහු සාර්ථක වුණත් අසාර්ථක වුණත්, ඒ අපේ අනාගත පරම්පරාවය. අද දියුණු ලෝකය හිතන්නේ දරුවාට දෙන අධ්‍යාපනය පෞද්ගලිකද, රජයේද යන්න නොවේ; මේ ආයතනවලින් බිහි වන දරුවා වේගයෙන් වෙනස් වන ලෝකයට ගැළපෙනවාද ඊට ඔරොත්තු දෙනවාද යන්නය; මේ වෙනස් වන ලෝකය තුළ තම රටේ සමාජීය සහ සංස්කෘතික අනන්‍යතා රැකගෙන ඉදිරියට යනවාද යන්නය. අපේ රටේ දේශපාලන සංස්කෘතිය දෙස බලන කල මේ අතින් අප සිටිනුයේ සෑහෙන පසුපසිනි. අධ්‍යාපනයේ පවතින මේ විෂමතා අපට එක් රැයකින්, වසරකින්, දෙකකින් හෝ යම් රජයක පාලන කාලය තුළ වත් වෙනස් කළ හැකි තරමේ සරල ඒවා නොවේ.

මේවා විසඳිය හැක්කේ දේශපාලන පක්ෂ මත, අමාත්‍යවරුන් මත, අධ්‍යාපන බලධාරීන් මත හෝ ඇතැම් විදුහල්පතිවරුන් මත වෙනස් වන අධ්‍යාපන ප්‍රතිපත්ති සමඟ නොවේ. එය කළ හැක්කේ බොහෝ දෙනකු පිළිගන්නා අන්තර්ජාතික ප්‍රමිතියකින් යුතු අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් පමණකි. එබැවින් පක්ෂ හෝ විපක්ෂ හෝ දේශපාලනයේ මූලික අරමුණ විය යුත්තේ රටේ අනාගතය වෙනුවෙන් අඩුම තරම් අධ්‍යාපනයටවත් නිසි ප්‍රතිපත්තියක් එළිදැක්වීමය.

Comments