සාර්ථක ආර්ථිකයකට | සිළුමිණ

සාර්ථක ආර්ථිකයකට

රටක් ලෙස අපි පසුගිය ඉරිදා වන තෙක් ගත කළේ අවිනිශ්චිත බව පිරුණු අභියෝගාත්මක කාලයකි. ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍යත්වයේ සාර්ව ලක්ෂණ යම් දෙදරීමට ලක් වූයේ ඉතිහාසයේ කවර දිනකවත් නොවූ පරිද්දෙනි. එම තත්ත්වය මත්තේ රටේ සියලු ක්ෂේත්‍රවලට සම්බන්ධ ක්‍රියාකාරකම් අකර්මණ්‍ය වීමේ අවදානමක්ද මතු වූයේ රටේ මුදල් භාවිතය සම්බන්ධයෙන් ද ඉදිරිපත් වූ නෛතික බාධක නිසාය.

ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු කරන පාර්ලිමේන්තුව තුළ සිටින නීති සම්පාදකයන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් කෙසේ වෙතත් පිහි මිරිස් කුඩු හරහා ප්‍රශ්න විසඳා ගන්නා තැනට තල්ලු වුව ද අවසානයේ ඉතා යහපත් ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත වන පසුබිමක් නිර්මාණය විය. ඒ තත්ත්වය විදේශ රටවල ද නොමඳ ඇගයීමකට හේතු විය.

දැන් යළිත් ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවති රජයට සක්‍රිය වන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබේ. මෙතෙක් කල් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවිධ දේ ගැන ඇස ගසාගෙන සිටි ජනතාවට දැන් යළිත් තම තමන්ගේ කටයුතුවලට නියැළෙන්නට පසුබිමක් නිර්මාණය වී තිබේ. මේ පසුබිම තුළ ඊළඟට ජනතාව හැරෙන්නේ තමන්ගේ ජීවත් වීමේ සාධකය සමඟ නිරන්තරයෙන් බැඳුණු ආර්ථිකය දෙසටය. මේ ආර්ථික කතාව ගෙදර පවුලේ සිට රටේ සමස්ත ආර්ථිකය දක්වාම පුළුල් වූ දිගු වූ කතාවකි. රට දේශපාලන වශයෙන් අස්ථාවර වන විට ඊට සංවේදීම දර්ශකය වන්නේ ද ආර්ථිකයයි.

රුපියලේ අගයට සාපේක්ෂව ඇමෙරිකා ඩොලරය ශක්තිමත් වීම හමුවේ බොහෝ පරිභෝජන විදේශවලින් ගෙන්වන පසුබිමක් තුළ රටේ ආර්ථිකය දැඩි අභියෝගයට පත්ව තිබිණි. මේ ගින්නට තවත් පිදුරු දැමීමක් වූයේ පසුගිය ඔක්තෝබරය අග රටේ සිදු වූ දේශපාලනික පෙරළියයි. එයින් පසු බොහෝ ආයෝජකයන් පය පසුපසට තැබීම ඉක්මන් විය. කොළඹ කොටස් වෙළෙඳ පොළින් පමණක් එම කාලය තුළ රුපියල් බිලියන 10 ඉක්ම වූ මුදලක් රටින් ඉවත් කරගැනීමට විදේශ ආයෝජකයන් කටයුතු කර ඇත. සැබැවින්ම එය අපේ ඩොලර් සංචිත කෙරෙහි එල්ල වූ දැවැන්ත සෙලවුමකි. 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දා දක්වා ගත වූ මාස 10කට ආසන්න කාලය තුළ දී රටින් ඇදුණු මුදලට වඩා ප්‍රමාණයක් මෙම කාලය තුළ රටින් ඉවත් විණි. මූල්‍ය ණය වෙළෙඳපොළ ද ඇතුළු ව මෙම කාලය තුළ රටින් ඇදී ගොස් ඇති සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 33කි. එය මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගන්නන් වඩාත් අවධානය යොමු කළ යුතු කාරණාවකි. ඒ මන්ද යත් දේශපාලන බලය වෙනුවෙන් කරන සෙල්ලම් අතිශයින්ම සංවේදී බව ඔවුන්ට නොවැටහීමය.

මේ කාලය තුළ ආර්ථිකයට පහත් වූ තවත් හෙණ ගෙඩි කිහිපයක්ම තිබේ. එකක් ජාත්‍යන්තර මූල්‍ය වර්ගීකරණ ආයතන තම ආර්ථික දර්ශක අතර ශ්‍රී ලංකාව පස්සට දැමීමය. විශේෂයෙන් මූඩිස් ආයතනය වැනි ආයතන ණය දර්ශක හමුවේ පහළට දැමීමෙන් සිදු වන සෘජු අනර්ථය වන්නේ ජාත්‍යන්තර ණය වෙළෙඳපොළින් ණය ලබාගැනීමේ දී මෙන්ම ගෙවීමේ දී අතිරේක පොලී අනුපාතිකයක් අදාළ ණය මුදලට එකතු වීමය. අපට මේ වන විටත් මේ අභියෝගයකට ද රටක් ලෙස කර ගසන්නට සිදු වී ඇත.

මේ අතරේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ද යම් අභියෝගාත්මක පසුබිමක් නිර්මාණය වන්නේ රටේ පවතින තත්ත්වයට වඩා අතිශයෝක්තියෙන් විදේශ රටවල සංචාරකයන්ට රට පිළිබඳව විවිධ අනතුරු ඇඟවීම් නිකුත් වීමය. එහි සෘජු අවාසිය අපට රටක් ලෙස අත්විඳින්නට සිදු වෙයි.

අවාසනාවට ළඟා වූ මෙම දේශපාලන කුනාටුව එන විට අපේ රටේ ආර්ථිකය යම් නැවුම් බලාපොරොත්තු රැසක ළා දලු මතුව තිබිණි. එනම් ලෝක බැංකුව ව්‍යාපාර කිරිමට සුදුසු රටවල් ලයිස්තුවේ පියවර 11ක් (111 සිට 100 දක්වා) ඉදිරියට ශ්‍රි ලංකාව ගෙනවිත් තිබිණි . එය රට පිළිබඳව උනන්දු වූ විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ආයෝජනයන්ට හිතකර වන රටක් ලෙස පිළිබිඹු කරන ලෝකයම පිළිගන්නා කැඩපතකි. අනෙක් අතට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන ඔස්සේ දේශීය ව්‍යවසායකයන් දහස් ගණනින් බිහි කිරීමේ දැවැන්ත වැඩපිළිවෙක් ද ඒ වන විට ඇරැඹි තිබිණි.

කෙසේ වුව ද දැන් යළිත් මේ දේශපාලන කුණාටුවේ දුහුවිලි මතින් අපට නැඟිටින්නට සිදු වී තිබේ. කලාපය තුළ සාමය සංහිදියාව පවතින ප්‍රමුඛ පෙළේ රාජ්‍යයක් ලෙස ආර්ථිකය සම්බන්ධයෙන් අපට ඇති අවස්ථාවේ තරම අප වටේ කැරකෙන ජාත්‍යන්තර දේශපාලන බල කඳවුරුවල හැසිරීමෙන්ම පෙනේ. බලයට පමණක් කෑදර දේශපාලනයට නොපෙනුණ ද ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින රටේ විද්වතුන්ට සේම සාමාන්‍ය ජනතාවට ද ඒ ගැන අවබෝධයක් ඇත. ඒ පිළිබඳව කටයුතු කරන්නට ඔවුන්ට හැකියාවක් ද ඇත. එසේ නම් දැන් අප ඉඳුරාම අවධානය යොමු කළ යුත්තේ රටේ ආර්ථිකය සුරක්ෂිත කිරීමටය. අපනයන වර්ධනය කිරීම, විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම ආදී කටයුතු කෙරෙහි ප්‍රමුඛත්වය දීමය. එම වැඩපිළිවෙළ කවර දේශපාලන කුණාටුවකටවත් නොසැලෙන තරමට රැකගන්නට ද අද සිදු වී ඇත්තේ දේශපාලනයට ඉඩා ඉදිරියෙන් සිටින ජනතාවටය. එසේ වුවහොත් මේ රට සෞභාග්‍යවන්ත දේශයක් වනු ඇත.

Comments