
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් බවට සලකුණු කරනු ලැබුවාට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය තනතුරේ සහ ඔහු ද අයත් කැබිනට් මණ්ඩලයේ කාර්යය අත්හිටුවමින් අභියාචනාධිකරණය මඟින් ලබා දී තිබූ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද අභියාචනාව විභාගයට ගැනීමට එ් ශ්‍රේෂ්ඨාධිකරණය ම තීන්දු කිරීමෙන් රට මුහුණ දෙමින් පැවැති දේශපාලන අර්බුදය නව මානයකට යොමු කර තිබේ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් තීන්දුව ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් හේතුවෙනි. ඉන් පළමුවැනි හා වැදගත් ම කාරණය වන්නේ විධායකයේ අභිමත බලය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා තුළ පවත්වාගත යුතු බවට අධිකරණය මඟින් ගැඹුරු ලෙස ම තහවුරු කරන ලද අවස්ථාවක් ලෙස එය සැලැකිය හැකි නිසා ය. දෙවන කරුණ වන්නේ අදාළ නඩු තීන්දුව රටේ පවත්නා බාහිර තත්ත්ව කිසිවක් ම සැලැකිල්ලට නොගෙන පරිපූර්ණ වශයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන, නොඑසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වචනාර්ථය පදනම් කරගනිමින් ලබාදුන් තීරණයක් ලෙස ද සැලැකිය හැකි නිසා ය.
එකී නඩු තීන්දුව පිළිබඳ ව පළ වන දේශපාලන හා නීතිමය විග්රහ කුමනාකාරයක් ගත හැකි වුවත් එහිදී සමස්තයක් ලෙස සලකා බලා ඇත්තේ රටේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය. එබැවින් එය ගෞරවයෙන් යුතුව පිළිගැනීම හා ඒ අනුව ක්‍රියා කිරීම සියලු දෙනාගේ ම වගකීම ය. එහෙත් ඒ සමඟ පැන නඟින තවත් වැදගත් කරුණක් තිබේ, එනම් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට නිමිති වූ පෙත්සම ඉදිරිපත් කරන විටත් රට තුළ වර්ධනය වෙමින් පැවැති දේශපාලන අර්බුදය සපුරා සමනය කිරීම සඳහා එය හේතුවක් නොවිය හැකි බව තේරුම් ගැනීම ය.
මක් නිසා ද යත් ස්ථාවර ආණ්ඩුවක් ගොඩනඟා ගැනීම සඳහා රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන කිසිදු පක්ෂයකට අද පවත්නා තත්ත්වය ඇතුළත ඉඩක් නොලැබෙන බව ද පෙනෙන්නට ඇති නිසා ය. එය පසුගියදා ප්‍රදර්ශනය කළ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනා සම්මතය මඟින් පමණක්, සපුරාගත නොහැකි ය. එකී විශ්වාසය පළ කිරීමේ යෝජනා සම්මතය තුළ ඉදිරියේදී ශක්තිමත් ආණ්ඩුවක් තහවුරු කරගැනීමට නම් ඊට සහාය පළ කළ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ ද පාර්ශ්වකරුවකු විය යුතුය. එහෙත් දෙමළ ජාතික සන්ධානය එයාකාරයට ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වෙමින් අමාත්‍ය ධුර බාර ගන්නා ස්වභාවයක් දක්නට නැත. ඒ වෙනුවට ඔවුන් කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නේ එජාප ආණ්ඩුවක් වෙත සහාය පළ කරමින් ආණ්ඩුවෙන් පිටස්තර වූ පක්ෂයක් ලෙස පෙනී සිටින්නට ය.
එජාපය ඉදිරියේ ඇති එ් අභියෝගය ජය ගැනීමට නම් වෙනත් මාර්ග නැතුවා ද නොවේ. ඉන් එක් මාර්ගයක් වනු ඇත්තේ නැවතත් ශ්රීලනිපය ද නියෝජනය කරන එක්සත් ජනතා සන්ධානය සමඟ සම්මුති බද්ධ ආණ්ඩුවකට යොමු වීම ය. එහෙත් රටේ ජනාධිපතිවරයා ද වන ශ්‍රීලනිපයේ සභාපතිත්වය ද උසුලන මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇති ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවක් සමඟ දේශපාලන ගමනකට කිසිදු ඉඩක් ඉතිරි වී නැත. එමෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා අතහැර එක්සත් ජාතික පෙරමුණේ වෙනත් අපේක්ෂකයකුට අග්‍රාමාත්‍ය තනතුර මේ මොහොතේදී ලබා දෙන්නට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවක් ද දක්නට නැත.
එවැනි තත්ත්වයකදී එක්සත් ජාතික පෙරමුණ මෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ද සිටින්නේ පහසුවෙන් බහුතර බලය ප්‍රදර්ශනය කළ හැකි තත්ත්වයක ද නොවේ. මේ සියලු තත්ත්ව තුළ මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු කිරීමට හා ඔහු ද අයත් කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් අභියාචානාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තවත් වටයකින් තීරණය කිරීමෙන් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ප්රශ්නය නැවතත් පාර්ලිමේන්තුව වෙත යොමු වී තිබේ.
එහිදී ජනාධිපතිවරයාට අලුත් ආණ්ඩුව පිහිටුවීම සඳහා නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමට නම් අග්‍රාමාත්‍ය ලෙස දැනට දිවුරුම් දී සිටින මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්විය යුතුව තිබිණ. ඒ අනුව සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබු තීන්දුවෙන් පැය කිහිපයකට පසුව අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීමත් සමඟ එ් ගැටලුවට ලබාගත හැකි විසඳුමක් විවර කර තිබේ.
මේ තත්ත්වය ඇතුළත නව ආණ්ඩුවේ ස්වභාවය තීරණය කරනු ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් හෝ එක්සත් ජාතික පක්ෂය හා ඉන් බැහැර පක්ෂවලින් එක්වන මන්ත්‍රී කණ්ඩායමක් සමඟ ද විය හැකිය. නොඑසේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හා ඉන් බැහැර පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසකගේ එකතුවකින් ද විය හැකිය. ඒ කෙසේ නමුත් පවත්නා තත්ත්වය තුළ එවැනි කුමන මාර්ගයකින් හෝ විසඳුමක් ඇතිකරගත්තේ වුවද එය සුමට හෝ පහසු ගමන් මඟක එය සිදු නොවනු ඇත. ඒ අනුව එවැනි තත්ත්වයක් පවත්නා අර්බුදයට ස්ථිර විසඳුමක් ඇතිකර ගැනීමට අවස්ථාවක් උදා කරනු ඇතැයි විශ්වාස කළ ද නොහැකිය.
ඒ අනුව දැන් සියලු දේශපාලන පක්ෂ උත්සාහ කළ යුත්තේ සියල්ලන්ගේ ම එකඟත්වය මත ඇතිකර ගන්නා බාරකාර ආණ්ඩුවක් තුළ ඉතා ඉක්මනින් ම ජනතාව අතරට ගොස් ලබාගන්නා මහජන වරමකට අවස්ථාව උදාකර ගැනීම ය.
එසේ නොමැතිව අර්බුදය තුළ බලය ස්ථාවර කරගන්නෙ කෙසේ ද යනුවෙන් තවදුරටත් උත්සාහ කිරීම කිසිසේත්ම ඇතිවී ඇති අර්බුදකාරි තත්ත්වයට ස්ථාවර විසඳුමක් ලබා දෙන්නක් විය නොහැකිය.