
ක්‍රිස්තු පූර්ව අවසානභාගය වන විට දැදුරු ඔය ආශ්‍රිතව බිහි වුණු අම්බට්ඨකෝළ නම් ජනපදයක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. දුටුගැමුණු රාජ්‍ය කාලයේදී එම ජනපදයේ පිහිටි ගුහාවකින් රිදී ලැබුණු බව දක්වා ඇත. ආමණ්ඩගාමණී රජු (ක්‍රිව 19-20) විසින්, රජත ලෙන විහාරය නමින් හඳුන්වන වර්තමාන රිදී විහාරය මෙම ස්ථානයේ කරවන ලදී. ක්‍රිපූ 2 වන සියවසේ සිට ක්‍රිව 8 වන සියවස තෙක් කාලයට අයත් සෙල් ලිපි ගණනාවක්ම වර්තමාන රිදී විහාරය ආශ්‍රිතවත්, අවට ප්‍රදේශයේත් තිබීමෙන් පැහැදිලි වන්නේ අනුරාධපුර මුල් යුගයේ සිටම මෙහි ජනාවාස ව්‍යාප්තව පැවති බවය.
* පුරාණම වාරිකර්මාන්ත විධිමත් ලෙස සංවර්ධන කරන්නේ මහසෙන් රජ සමයේ...
* ජනාවාසකරණය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේදී...
* දැදුරු ඔය නිම්නය පුරාණ කර්මාන්ත පුරයක්...
වී ගොවිතැන ප්‍රධාන කෘෂි කර්මාන්තය කරගත් ලංකාවේ පුරාණ ජනතාව (සිරිවීර, 1994, 38) එම කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීම පිණිස තම ජනාවාස ගංගාශ්‍රිතව පිහිටුවාගත්හ (මහාවංසය, vii, 43-44). අතීතයේදී ජජ්ජර නදිය (මව, lxviii, 16) ලෙසින් හැඳින්වුණු දැදුරු ඔය ආශ්‍රිතවද මෙලෙස පැරණි ජනාවාස පැවති බවට සාධක සොයාගෙන තිබේ. විශේෂයෙන්ම ජනාවාස පැතිරීයාම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි ක්‍රිපූ 2 - ක්‍රිව 2 අතර කාලයට අයත් ශිලා ලේඛන දැදුරු ඔය නිම්නයේ ස්ථාන ගණනාවකින් හමු වී ඇත (Ic,Vol.1, 954, 962) මේ ලිපිවලින් අනුරාධපුර මුල් යුගයේ මේ ප්‍රදේශයේ පැවති සමාජ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.
ප්‍රදේශයේ පෞරාණික ශිලා ලේඛන කිහිපයක අඹනගර (එම), අඹතොට (එම, 889), මුකළුගම (එම, 925) හා නෙලගම (එම, 884) යන ස්ථාන නාම සඳහන් වේ. මෙවැනි ග්‍රාම නාමවලින් පැහැදිලි වන්නේ ඒ වන විට මෙම නිම්නයේ ස්ථාවර ජනාවාස බිහිව තිබුණු බවය. ක්‍රිස්තු පූර්ව අවසානභාගය වන විට දැදුරු ඔය ආශ්‍රිතව බිහි වුණු අම්බට්ඨකෝළ නම් ජනපදයක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. දුටුගැමුණු රාජ්‍ය කාලයේදී එම ජනපදයේ පිහිටි ගුහාවකින් රිදී ලැබුණු බව දක්වා ඇත (මව, xxviii, 20-35). ආමණ්ඩගාමණී රජු (ක්‍රිව 19-20) විසින්, රජත ලෙන විහාරය නමින් හඳුන්වන වර්තමාන රිදී විහාරය මෙම ස්ථානයේ කරවන ලදී (එම, xxxv, 4). ක්‍රිපූ 2 වන සියවසේ සිට ක්‍රිව 8 වන සියවස තෙක් කාලයට අයත් සෙල් ලිපි ගණනාවක්ම වර්තමාන රිදී විහාරය ආශ්‍රිතවත්, අවට ප්‍රදේශයේත් තිබීමෙන් පැහැදිලි වන්නේ අනුරාධපුර මුල් යුගයේ සිටම මෙහි ජනාවාස ව්‍යාප්තව පැවති බවය. රෙලගම, හරගම, චටනගම හා පටගලේ යන ප්‍රදේශ නාමයන්ද මෙම ලේඛනවල සඳහන් වේ (නිකොලස්, 1979, 125).
මහාචූලිකමහාතිස්ස රජු (ක්‍රිපූ 77-73) අම්බට්ඨකෝළ ජනපදයේ සොණ්ණගිරියෙහි (ස්වර්ණගිරි) සීනි කම්හලක වැඩකළ බැව් සඳහන් වේ (මව, xxiv, 4). වර්තමාන රම්බොඩගල්ල ප්‍රදේශය සොණ්ණගිරිය ලෙසින් හඳුනාගෙන ඇත (නිකොලස්, 1979, 126). මෙම ප්‍රදේශයේ පැවති කර්මාන්තයන් පිළිබඳ අදහසක් එයින් ඉදිරිපත්වන බව පෙනේ. දැදුරු ඔය පෝෂක ප්‍රදේශයේ ඉහළ කොටසේ පිහිටි රම්බොඩගල්ල කුඹුරුලෙන පිහිටි එක් සෙල් ලිපියක ගාමණි අභය මහරජුගේ “සිවික-අදක” නම් නිලධාරියෙකු පිළිබඳ සඳහන්වේ (Ic, Vol.i, 894-6). මෙහි සඳහන් ගාමිණී අභය රජු යනු වට්ටගාමණි අභය (ක්‍රිපූ 89-77)ලෙසත් නිලධාරියා රජුගේ දෝලා අධ්යක්ෂ ලෙසත් හඳුනාගෙන ඇත (එම).
ගිවිසුම සෙල් ලිපිය
දැදුරු ඔයට සමීප නුවරකන්දආශ්රිතව පුරාණ ජනාවාස පැවති බවට සාධක ඇත. ක්‍රිපූ 1 වන සියවසේ සිට ක්‍රිව 6 වන සියවස දක්වා කාලයට අයත් ශිලා ලේඛන රාශියක් නුවරකන්ද හා අවට ස්ථාන කිහිපයක තිබේ (එම, 913-931). පුරාණ ස්ථාන නාම කිහිපයක්ම මෙම ලේඛනවලින් හඳුනාගත හැකි ය (එම, 925). තවත් ලිපියක “පිතමහරජ” නමින් හැඳින්වූ වට්ඨගාමණි අභය රජුගේ කණතිශ නම් ඇමතිවරයෙකු පිළිබඳ සඳහන් වේ (එම, 913-4). මේ ප්‍රදේශයේ තිබෙන ශිලා ලේඛනවලින් පැරණි සමාජ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ය. ගම් පාලනය කළ ගමිකයින් (එම, 914, 916, 925), ප්‍රධානීන් වූ පරුමකවරුන්(එම, 910, 912, 922, 924, 928, 931), භාණ්ඩාගාරිකවරුන් වූ බඩකරිකයන් (එම, 916) වැනි නිලධාරීන් පිළිබඳවත්, පෙහෙකරුවන්, අසරුවන් (එම, 913), ආචාරීන් (එම, 929) වැනි වෘත්තිකයන් පිළිබඳවත් තොරතුරු හෙළි වේ. මෙම ස්ථානයේ තිබෙන සෙල් ලිපි කිහිපයක දමගුත, රොනිගුත හා තිසගුත නම් වූ භික්ෂූන් වහන්සේලා කිහිපදෙනකු පිළිබඳ සඳහන්ව ඇත (Ic, Vol.1, 915, 920, 926). ක්‍රි.ව. 1 වන සියවසෙන් පසු 10 වන සියවස දක්වා වූ කාලයට අයත් සෙල් ලිපි ගණනාවක් ද දැදුරු ඔය ආශ්රිත ස්ථානවලින් හමු වේ. සංගමුව විහාරයේ තිබෙන 6 වන සියවසට අයත් ලිපියක ගෝණගිරි හා මහවලගම යන ග්‍රාමයන් පිළිබඳව සඳහන් වේ (නිකොලස්, 1979, 119). දෙවන ගජබාහු හා පරාක්‍රමබාහු යන රජවරුන් අතර 12 වන සියවසේ දී ඇති කරගන්නා ලද ගිවිසුම සෙල් ලිපියක් ලෙස මෙම විහාරයේ ඇත (අමරවංශ, 1969, 359-362). වැල්ලෑගල ඇති පළමුවන සියවසට අයත් ලිපියක එම ප්‍රදේශය “කඳු පනහේ දිසාව”යනුවෙන් හඳුන්වා ඇත (නිකොලස්, 1979,122).
ජනාවාස ව්‍යාප්තිය
අනුරාධපුර යුගයේ මධ්‍ය භාගය වන විට මෙම ප්‍රදේශයේ ජන ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වන විට රජරට දිසා අනුව කොටස් හතරකට බෙදා තිබුණු අතර, දැදුරු ඔයෙන් සීමාවුණු දක්ඛිණ දේශය හෙවත් දක්ඛිණ පස්ස එක් දිසාවක් විය. 6 වන සියවසේ සිට එය යුවරජුගේ රාජධානිය වී තිබිණි. මෙම තත්ත්වය 12 වන සියවස තෙක් පැවතුණු අතර, එම සියවස අවසානයේ දක්ඛිණ දේශය හා මලය දේශය එකතුකොට මායා රට්ඨ (මායා රට) ඇති කරන ලදි (එම, 19).
දැදුරු ඔය ආශ්රිත ප්‍රදේශය පොලොන්නරු සමයේ වැදගත් දේශපාලන කේන්ද්‍රස්ථානයක් විය. පළමුවන විජයබාහු රජු (ක්‍රිව 1055-1110) චෝලයන් අතින් පරාජයට පත්ව විල්ලිකාබාරට්ඨයට පැනගොස් තිබේ (මව, lviii, 29). කොස්පොතු ඔය ආශ්‍රිතව පිහිටි වෑඋඩ මේ පුරාණ ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත (නිකොලස්, 1979, 25). හෙතෙම මුහුන්නරුවේ සටන් කළ බව මහාවංසයේ සඳහන් වේ (මව, lviii, 42). වර්තමානයේ හෙට්ටිපොළ ආසන්නයේ නුවරකැළේ තිබෙන පස්වෙනි කාශ්‍යප (ක්‍රිව 914-923) රජුගේ ලිපියක මෙම ස්ථානය පිළිබඳව සඳහන් වේ (නිකොලස්, 1979, 121). පඬුවස්නුවර ආශ්රිත ප්‍රදේශය කෙරෙහි මුලින්ම අවධානය යොමුකරන ලද්දේ පළමුවන විජයබාහු රජු විසිනි (මව, lxviii, 48). ජනප්‍රවාද හා විශ්වාස අනුව පඬුවස්නුවර ආරම්භය පඬුවස්දෙව් හා පණ්ඩුකාභය රාජ සමයට දිවෙයි. එහෙත් මේ බව සනාථ කිරීමට ප්‍රමාණවත් ඓතිහාසික මූලාශ්‍රය හෝ පුරාවිද්‍යාත්මක සාධක නොලැබේ. කොළමුණුඉඔය ආශ්‍රිතව පිහිටි මේ ප්‍රදේශය පළමුවන පරාක්‍රමබාහු රජුගේ දක්ඛිණදේශය සංවර්ධනය කිරීම යටතේ දියුණු විය. දක්ඛිණ දේශයේ අගනුවර වූ පරක්කමපුර ගොඩනගන ලද්දේ මෙහිය (ASCAR, 1950, 19-20).
හිරිපිටිය සමීපයෙහි වූ වර්තමාන මලස්නෙය ප්‍රදේශය පොලොන්නරු සමයේ හඳුන්වා ඇත්තේ ශ්රීපුරය යනුවෙනි. නිශ්ශංකමල්ල රජු එහි දාන ශාලාවක් කරවා ඇත (නිකොලස්, 1979, 122). එම රජුගේ දොරටියාව සන්නස හමු වී ඇත්තේ කුරුණෑගලට ආසන්නයේ පිහිටි දොරටියාව නම් ගමිනි (vol XXIX: 307, 322).
බදලත්ථලය නම් වූ ප්‍රදේශය වර්තමානයේ බතලගොඩ ලෙස හඳුන්වයි (නිකොලස්, 1979, 120). දැදුරු ඔය ආශ්‍රිතව පිහිටි මෙම ප්‍රදේශය අතීතයේදී “පුරාණ නුවර”ලෙසින් ද භාවිත වී ඇත (බ්‍රෝහියර්, 1979, 120). කුමාරදාස රජු (ක්‍රිව 513-522) මේ නුවර තාවකාලික වාසස්ථානයක් ලෙස, තෝරාගෙන තිබේ (එම: 6-7). පළමුවෙනි විජයබාහු රජු විසින් මෙම ප්‍රදේශයේ තිබුණ සොළී බලකොටුවක් යටත්කර ඇත (ල.වි.වි.ල.ඉ., 1972, 406). දක්ඛිණ දේශ සීමාවේ මුරපොළක් ලෙස බදලත්ථලිය පැවති අතර, සංඛ නම් සෙන්පතියා එහි වාසය කළේය (එම, 421). කල්‍යාණවතී රැජින (ක්‍රිව 1202-1208) බතලගොඩ අසල පණ්ණසාදයේ සංඝාරාමයක් කරවා ඇත (මව, lxxx, 35). බතලගොඩ වැව ආසන්නයේ ඇති මැයගේ සෙල් ලිපියක එම ප්රදේශයමංගලපුරලෙස හඳුන්වා තිබේ (නිකොලස්, 1979, 120).
දැදුරු ඔය පෝෂණ ප්‍රදේශයේ පිහිටි හස්ථිශෛලපුර හෙවත් වර්තමාන කුරුණෑගල ප්‍රදේශය දඹදෙණිය යුගයේ දේශපාලනික වශයෙන් වැදගත් කේන්ද්‍රස්ථානයක් විය. දඹදෙණියේ රජ කළ සිව්වන විජයබාහු රජු (ක්‍රිව 1270-1272) මේ පුරය වටා ප්‍රකාරයක් හා දිය අගලක් කරවා ඇත (මව, lxxxviii, 53-60). රටේ අගනුවර බවට කුරුණෑගල පත්වූයේ දෙවන බුවනෙකබාහු (ක්‍රිව 1292-1932) රජුගේ කාලයේදීය (lc.Xc,60). හතරවන පරාක්‍රමබාහු (ක්‍රිව 1302-1326) තම රාජධානිය බවට පත්කරගන්නා ලද්දේ කුරුණෑගල ය.
දක්ඛිණ දේශයේ පළමුවන පරාක්‍රමබාහු රජු
පළමුවන පරාක්රමබාහුරජුගේ දේශපාලන කාර්යයේ පළමු පියවර වූයේ සිය මලණුවන් වූ කීර්ති ශ්‍රී මේඝ රජුගෙන් පසු ක්‍රිව 1140දී පමණ දක්ඛිණ දේශයේ පාලකයා බවට පත් වීමය (ල.වි.වි.ල.ඉ., 1972, 420). හෙතෙම දැදුරු ඔය නිම්නයේ පිහිටි පඬුවස්නුවර ආශ්‍රිතව පරාක්කමපුර නමින් නගරයක් ඉදිකර එහි සිට දක්ඛිණ දේශයේ පාලන කටයුතු මෙහෙයවූ බව පුරාවිද්‍යාත්මක සාධකවලින් පැහැදිළි වේ (ASCAR. 1950, 19-20). දිවයිනේ අගරජු වීමේ අභිප්‍රායේ මූලික පදනම දක්ඛිණ දේශයේදී සකස්වූ බව කිව හැකි ය. රජු ප්‍රථමයෙන් ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම කෙරෙහි යොමුවිය (මව, lxviii, 7-15). මේ කාලය තුළ පරාක්‍රමබාහු රජුගේ ආර්ථික දර්ශනය ප්‍රධාන අංශ තුනක් යටතේ හඳුනාගත හැකිය:
1. වාරිකර්මාන්ත සංවර්ධනය කිරීම මගින් කෘෂි කර්මාන්තය දියුණු කිරීම
2. දේශීය හා විදේශීය වෙළෙඳාම
3. අයබදු ලබාගැනීම
දක්ඛිණ දේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අදහස් කළ පරාක්‍රමබාහු රජු තම නිලධාරීන්ට උපදෙස් දී උනන්දු කරවා ඇත (එම, 7). විශේෂයෙන්ම ප්‍රදේශයේ පැවති වියළි දේශගුණික තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ රජු දක්ඛිණ දේශයේ ප්‍රධාන ජල මාර්ගය වූ ජජ්ජර නදිය (දැදුරු ඔය) ආශ්‍රිතව වාරි මාර්ග තැනීම කෙරෙහි යොමු විය (එම, 16).
දැදුරු ඔය ස්ථාන තුනකින් හරස් කර අමුණ බැඳ ගොවිතැනට අවශ්‍ය ජලය සපයාදීමට හෙතෙම පියවර ගෙන ඇත.
“අහසින් වැටෙන එකඳු දිය බිඳක් පවා මනුෂ්යප්රයෝජනයට නොගෙන මුහුදට ගලා නොයායුතුය” යන ප්‍රකාශය පරාක්‍රමබාහු රජු විසින් කරන ලද්දේ දැදුරු ඔය ආශ්‍රිතව වාරි කර්මාන්ත ආරම්භ කරන අවස්ථාවේය (මව, lxviii, 11-2). මීට අමතරව දක්ඛිණ දේශයේ දැදුරු ඔය ආශ්රිත සීමාව තුළ පිහිටි පුරාණ වැව් විශාල ප්‍රමාණයක් අළුත්වැඩියා කිරීමටත්, අළුතෙන් වැව් ඉදිකිරීමටත් යොමුවී තිබේ (එම, 43-52).
රජුගේ අවධානය දක්ඛිණ දේශයේ ගොවිතැන් නොකරන ලද වනාන්තර හා මුඩුබිම් කෙරෙහි ද යොමුවී තිබුණි. එවැනි ස්ථාන ප්‍රයෝජනයට නොගෙන නොතැබිය යුතුය යන්න පරාක්‍රමබාහු රජුගේ ප්‍රකාශයකි (එම, 57-8). මෙතෙක් ජනාවාසවලින් බැහැරව වනාන්තර හා වගුරු සහිතව පැවති පඤ්චයෝජනරට්ඨ (කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළය) ප්‍රදේශයේ ජලය ගලා බැසයෑමට සලස්වා විශාල භූමි ප්‍රමාණයක් අලුතින් අස්වද්දා ධාන්‍යය විශාල වශයෙන් රැස් කර තිබේ (එම, 51-3).
ආර්ථිකය ශක්තිමත් කරලීමෙහිලා දක්ඛිණ දේශාධිපති පරාක්‍රමබාහු රජු විසින් අනුගමනය කරන ලද තවත් සාර්ථක ක්‍රියාදාමයක් වූයේ දේශීය හා විදේශීය වාණිජ කටයුතු දියුණු කරගැනීමයි. අන්තරාංධුර නම් නිලධාරියකු පත් කළ හෙතෙම ඔහුට රටේ සම්පත් සහිත ස්ථාන භාර දී තිබිණි (lxix, 32-332-3). දේශිය වෙළෙඳ ද්‍රව්‍ය පිටරට අලෙවි කිරීම සඳහා නැව් මගින් යවා ඇත (එම, 83-4). මුළු ලක්දිව අගරජු වීමෙන් පසුවද රජු අන්තර්ජාතික වෙළෙඳ කටයුතු එසේම පවත්වා ගැනීමෙන් පැහැදිලි වන්නේ එමගින් විශාල ආදායමක් ලැබුණු බවයි. විදේශීය වෙළෙඳාම සඳහා ප්‍රධාන රාජ්‍ය තොටමුණු ලෙස උරුවේල, කල්පිටිය හා කොළඹ යන වරායන් භාවිත කර තිබේ (ල.වි.වි.ල.ඉ., 1972, 424).
ක්‍රමවත්ව සංවිධානය වුණු අයබදු ලබාගැනීමේ ක්‍රමයක් මේ කාලය තුළ සකස් කර තිබිණි. දේශීය භාණ්ඩවලින් හා නිෂ්පාදනවලින් අයබදු රැස් කරගෙන තිබේ (මව, lxi, 29 හා 38). රජයේ ප්‍රධාන නිළධාරීන් දෙදෙනෙක් සිටි අතර ඉන් එක් නිලධරයකු රටේ වස්තුව භාරව හා අනෙක් නිලධරයා ආරක්ෂක සේනා භාරව කටයුතු කර ඇත (එම, 29). දිවයිනේ අගරජු වීමේ ක්‍රියාවලියෙහිදී තමාට සිදු වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් ශක්තිමත්.
හමුදාවක අවශ්‍යතාව පරාක්‍රමබාහු වටහාගෙන තිබිණි. මෙනිසා සේනාංක සූදානම් කිරීම හා යුද ශක්තිය තර කරගැනීම රජුගේ මීළඟ අභිප්‍රාය විය. යුද්ධයට අදාළ සෑම ක්ෂේත්රයකින්ම පුහුණු වන පරිදි දක්ඛිණ දේශයේ වැසියා යොමු කරන්නට ඇත. මෙවන් පසුබිමක් යටතේ ආරම්භ කළ සෑම ව්‍යාපාරයක්ම සාර්ථක වූයෙන් ක්‍රිව 1154දී පළමුවැනි පරාක්‍රමබාහු පොලොන්නරුව අගනගරය කරගෙන දිවයිනේ අගරජු බවට පත් විය (ල.වි.වි.ල.ඉ., 1972, 436).
වාරි මාර්ගික පසුබිම
දැදුරු ඔය නිම්නය ජනාවාස වීමත් සමග කෘෂිකාර්මික කටයුතු සාර්ථකව පවත්වාගෙන යෑමට විධිමත් ජල සම්පාදන ක්‍රමයක් අවශ්‍ය විය. මේ අවශ්‍යතාව සපුරාගැනීම සඳහා නිම්නය පුරා විශාල වශයෙන් වැව් අමුණු ඉදි කර තිබෙන බව හඳුනාගත හැකිය. ලංකාවේ ශේෂව තිබෙන ලොකු කුඩා වැව් අතර වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ මේ නිම්නයේ වීම සැලකිය යුක්තකි (1:63360 වාරියපොළ සිතියම, මිනින්දෝරු දෙපාර්තමේන්තුව). දැදුරු ඔය නිම්නයේ මධ්‍ය ප්‍රදේශය නිරන්තර වැසි සහිත ප්‍රදේශයක් නොවූ හෙයින් අවශ්‍ය ජලය රැස් කරගැනීම පිණිස මේ වැව් ඉදි කරන්නට ඇති බව සිතිය හැකි වේ.
දැදුරු ඔය පෝෂක ප්‍රදේශයේ වැව් ආශ්රිත ජල සම්පාදන ක්‍රම ක්‍රිස්තු පූර්ව සමයේ සිටම බිහිවූ බවට ඓතිහාසික සාධක තිබේ. රිදී විහාරයේ තිබෙන ක්‍රිපූ අවසාන භාගයට අයත් ලිපියක ‘පගමක’ නම් වූ වැවක් පිළිබඳ ව සඳහන් වේ (නිකොලස්, 1979, 125). ගල උඩ විහාරයේ ඇති වසභ (ක්‍රිව 67-111) රජුගේ ලිපියක “අමරගලක” නම් වැවක් පිළිබඳ සඳහන්ව ඇත (එම, 121). වාරියපොළ ආසන්නයේ ගල්වල විහාරයේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් ලිපියක ‘බමරහගම හා මඩගම’ නම් වැව් දෙකක් සම්බන්ධව දක්වා ඇත (එම). මේ වැව් ත්‍රිත්වය නිර්මාණය වී ඇත්තේ දැදුරු ඔයේ අතු ගංගාවක් වන කොළමුණ ඔය ආශ්‍රිතව ය.
මෙම ඔය පුරාණයේ කොළඹින්න නදී ලෙස හඳුන්වා තිබේ (මව, xc, 9-11). පඬුවස්නුවර ආසන්නයේ තිබෙන පුරාණ ‘පඬාවැව’ කරවා ඇත්තේ මේ ඔය හරස්වන පරිදි ය. පාණ්ඩවාපිය, පාණ්ඩ වැව ආදි ලෙසින් හැඳින්වුණු මෙම වැව පළමුවෙනි විජයබාහු (ක්‍රිව 1055-1110) රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී (එම, lxviii, 49). දක්ඛිණ දේශ සංවර්ධන කාර්යයේදී පළමුවන පරාක්‍රමබාහු ( ක්‍රිව 1153-1186)රජු විසින් මෙම වැව වඩාත් විශාල කරන ලද අතර අනතුරුව එය බෑණ සමුද්‍ර ලෙස ව්‍යවහාර විය (එම, lxviii, 39-42).
දැදුරු ඔයේ ඉහළ පෝෂක ප්‍රදේශයේ වෑඋඩ ආසන්නයේ යටිවිල තිබෙන ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් ලිපියක ‘චකොර’ නම් වූ වැවක් ද (නිකොලස්, 1979, 126), නැලව පිහිටි ලිපියක ‘චිහරවලිය’ නම් වැවක් පිළිබඳ ව ද සඳහන් වී ඇත (එම, 119). වාරියපොළ නගරයට සමීපව පිහිටි කදිරාගල විහාරයේ තිබෙන අපර බ්රාහ්මී ලිපියක මඩර වවි නමින් වූ වැවක් පිළිබඳ සඳහන්ව ඇත (Senanayake, 1990, 85).
දැදුරු ඔය හා ඒ ආශ්රිත ජල මාර්ග පාදක කරගෙන සංවිධානාත්මක වාරි කර්මාන්ත ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ මහසෙන් (ක්‍රිව 276-303) රජු විසිනි. කුම්භීල නදී හෙවත් කිඹුල්වානා ඔය හරස් කර කරවන ලද කුම්භීලවාපි හෙවත් කිඹුල්වානා වැව මේ රජුගේ වැදගත් වාරි නිර්මාණයකි. (මව, xxxvii, 48). පස්වන කාශ්‍යප (බ්‍රෝහියර්, 1934, Part iii, 5-6), පළමුවන විජයබාහු (මව, lx, 50) හා පළමුවන පරාක්‍රමබාහු (එම. lxxix, 34) යන රජවරුන් විසින් මේ වැව යළි ප්‍රතිසංස්කරණය කර ඇත. දැදුරු ඔය ආසන්නයේ නිකවැරටිය ප්‍රදේශයේ තිබෙන මාගල්ල වැවද මහසෙන් රජුගේ නිර්මාණයකි. මෙය මහාගල්ලකවාපි ලෙස හඳුන්වා තිබේ (එම, xxxvii, 48). දැදුරු ඔයට ඊසාන දෙසින් පිහිටි හුළුගල්ල වැව මහසෙන් රජු විසින් කරවන ලද සුළුගුලු වැව ලෙස හඳුනාගෙන ඇත (නිකොලස්, 1979, 113). වංසකතාවේ ‘සීරු වැව’ ලෙස සඳහන් වන්නේ මෙම වැව විය හැකිය (මව, xxxvii, 49).
ධාතුසේන (ක්‍රිව 455-473) රජු දැදුරු ඔයේ පෝෂණ ශාඛාවක් වූ සංඛවඞ්ඩමානක නදී හෙවත් හක්වටුනා ඔය ආශ්රිත ව මාඑළිය වැව කරවා තිබේ (නිකොලස්, 1979:118). පළමුවන විජයබාහු රජු මෙම වැව ප්‍රතිසංස්කරණය කළ බව මහාවංසයේ දැක්වේ (මව, lx:, 48-53). ධාතුසේන රජු විසින්ම දැදුරු ඔයට නැගෙනහිර දෙසින් වූ මැද්දකැටිය වැව ලෙස හැඳින්වෙන පුරාණ සංගමු වැව කරවා ඇත (නිකොලස් 1979, 119). පළමුවන අග්ගබෝධි (ක්‍රිව 571-604) රජු හිරිඩ්ඩමාන වැව තැනවීය (මව, xlii, 8). මෙය දැදුරු ඔයට ආසන්නයේ වැල්ලව පිහිටි හිරිවඩුන්න වැව ලෙස හඳුනාගත හැකිය.
පළමුවන පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශයේ පාලකයා ලෙස කටයුතු කරන සමයේ මෙන්ම මහ රජු ලෙස කටයුතු කරන කාලයේද ප්‍රතිසංස්කරණය කරන ලද වැව් රාශියක් දැදුරු ඔය නිම්නයේ තිබෙන බව හඳුනාගෙන තිබේ (නිකොලස්, 1959, 77-80). පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශ පාලකයාව සිටි අවධියේ දැදුරු ඔය නිම්නයේ වාරි නිර්මාණ ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම වඩාත් වර්ධනීය ස්වරූපයක් පෙන්නුම් කරයි.
බතලගොඩ වැව පැරණි නිර්මාණයක් ලෙස හඳුනාගෙන ඇත. කුමාරදාස (ක්‍රිව 513-522) රජු හා කල්‍යාණවතී (ක්‍රිව 1202-1208) රැජින විසින් මෙම වැව ප්‍රතිසංස්කරණය කළ බව ව්‍යවහාර වේ. වැව් බැම්මේ තිබෙන පුවරු ලිපියෙන් කල්‍යාණවතී රැජින මෙම ප්‍රදේශයේ කළ සංවර්ධන කාර්යයන් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය (Ez, Vol. iv, 80-2.).
දැදුරු ඔය නිම්නය පුරාණයේ සිටම කුඩා වැව් මූලික වූ සුළු වාරි නිර්මාණ මත පදනම්ව ගොඩනැගුණු වාරි පද්ධතියකින් සමන්විත විය. නිම්නය ආවරණය වන පරිදි ඉදි වී ඇති විශාල වාරි නිර්මාණ පවතින්නේ සුළු ප්රමාණයකි. අධ්‍යයන ප්‍රදේශය තුළ කුඩා වැව් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ මේ නිම්නයේ වීම විශේෂත්වයකි. ඒ සඳහා හේතු වන්නට ඇත්තේ ප්‍රදේශයේ භූ විෂමතාව බව සිතිය හැකි වේ.