
මහාචාර්ය ටී.ජී. කුලතුංග
මෑත කාලීනව මහත් ජන සම්භාවනාවට පාත්‍රව ඇති ඓතිහාසික තන්තිරිමලය පුදබිමෙහි සැබෑ ඉතිහාසය මතු කරගන්නට ගත් ශාස්ත්‍රීය ප්රයත්නයකි. මෙලිපියෙහි මුල් කොටස ඉකුත් සතියෙහි පළ විය.
* සෙල්ලිපිය කොටා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර පිළිබඳ නිසි දැනුමක් නැති අයෙක්
* උත්සාහ කර ඇත්තේ තිවක්ක බමුණු ගමේ අෂ්ටඵලරුහ බෝධිය යන අර්ථය ලබා දීමටයි
*සෙල්ලිපියේ අක්ෂර වැඩි ප්‍රමාණයක් බ්‍රාහ්මී අක්ෂරවලට වෙනස්... සමහර අක්ෂර වැරදියි...
* සෙල්ලිපිය ලියා තැන්පත් කරන්න ඇත්තේ 1960න් පස්සේ...
තන්තිරිමලේ පුරාණ දාගැබ මුදුනේ බෝධියක් රෝපණය වී තිබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම දාගැබේ පාදම් කොටසින් අර්ධයක් කැණීම් කළේය. අනතුරුව එහි ඡායාරූපයක් 1978 පුරාවිද්‍යා පාලන වාර්තාවේ පළ කර තිබිණි. තන්තිරිමලේ ස්තූපයේ සංරක්ෂණ කටයුතු කරන ලද්දේ රෝලන්ඩ් සිල්වා මහතා සහකාර කොමසාරිස් වශයෙන් සිටි සමයේය (පසුව ආචාර්ය හා පුරාවිද්‍යා කොමසාරිස්). හෙයින් මේ සම්බන්ධව ඒ මහතා සමඟ සාකච්ඡාවේ යෙදුණෙමි (2017.06.13 දින). ඒ මහතා දැක්වූ පරිදි 1960 මේ ස්ථානයට ප්‍රථම වතාවට යන විට එතැන භික්ෂූන් වහන්සේ නමක් සිට නැත.
එහෙත් වර්ෂ 1964දී පමණ පුරාවිද්‍යා කණ්ඩායම් සමඟ යන විට “අටපල බෝ තවක බමණ ගම” යැයි ප්‍රසිද්ධ සෙල්ලිපිය කිසිවකු විසින් කොටා තිබී හමු වී ඇත. බ්‍රාහ්මී අක්ෂර පිළබඳ නිසි දැනුමක් නැත්තකු විසින් කොටන ලද්දක් හෙයින් එහි අක්ෂර රැසක් වැරදී ඇති බවද පැවසීය. ඒ මහතාගේ ප්‍රකාශය වූයේද මෙය ස්තූපය බවත් පසුව මෙහි බෝධියක් රෝපණය කර හෝ රෝපණය වී ඇති බවත්ය.
අභිනවයෙන් කොටා ඇති ලිපියේ ගම යන්නෙහි “ග” අක්ෂරය සහමුලින් වැරදිය. අනෙකුත් අක්ෂරවලද වැරදි රැසකි. මෙසේ මෑත කාලයේ කොටා ඇති සෙල්ලිපියේ අක්ෂර වැඩි ප්‍රමාණයක් හැඩයෙන් බ්‍රාහ්මී අක්ෂරවලට වෙනස්ය. එහි ඉහළ පේළියේ හයවන සලකුණ බ්‍රාහ්මී අක්ෂර මාලාවේ නැත. අභිනවයෙන් කොටා ඇති ලිපියෙන් උත්සාහ කර ඇත්තේ “අටපල බෝ තවක බමණ ගම” යන අර්ථය දීමය. වංශකතා සියල්ල අනුව පැවසෙන්නේ ජම්බුකෝලපට්ටනයේ (දඹකොළ පටුන) සිට රැගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව අතරමග තිවක්ක බමුණුගමෙහි තාවකාලිකව තැන්පත් කිරීමකි (මහාවංසය 19.37). 1978 දාගැබ කැණීම (පුරාවිද්‍යා පාලන වාර්තාව) මෙසේ සඳහන් කළ යුතුව ඇත්තේ බොහෝ උගතුන් පවා මේ සාවද්‍ය ලිපිය අනුව යමින් “අටපල බෝ තිවක බමණ ගම” යනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ ඉදිරිපත් කිරීම, ලේඛන මඟින් ප්‍රකාශයට පත් කිරීමත් නිසා මේ ස්ථානයේ ඉතිහාසය විකෘති කිරීම නිසාය.
තන්තිරිමලේ පුරාණ උපතිස්ස නුවර ද?
වංශකතා සියල්ල අනුව පැවසෙන්නේ ජම්බුකෝලපට්ටනයේ සිට රැගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව අතරමග තිවක්ක බමුණුගමෙහි තාවකාලික ව තැන්පත් කිරීමකි (මහාවංසය 19.37). මල්වතු ඔයට ආසන්න දුරින් පිහිටි තන්තිරිමලේ මේ තිවක්ක බමුණු ගම බව සනාථ කිරීමට පිළිගත හැකි ස්ථිර සාධක නැත. අනුරාධපුරයේ සිට මහාතිත්ථ වරාය (මන්නාරම) දක්වා වූ ගමන් මාර්ගයේ මල්වතු ඔයට තරමක් ආසන්න ස්ථානයක පිහිටීම නිසා තන්ත්රිමලේට පුරාණයේ වැදගත්කමක් හා අවධානයක් ලැබෙන්න ඇත. එහෙත් වංශකතා විස්තර අනුව පෙනී යන්නේ, බෝධිය වඩමවාගෙන ආ දඹකොළ පටුන වරාය හා අනුරාධපුර යන ස්ථාන දෙක අතර තැනක තිවක්ක බමුණු ගම පිහිටි බවක් මිස, ස්ථානය හඳුනාගැනීමට වෙනත් සාක්ෂ්‍ය නැත. අනුරාධපුරයේ සිට මහාතිත්ථයට යන මාර්ගයත් අනුරාධපුර සිට උතුරේ ජම්බුකෝලපට්ටනයට යන මාර්ගයත් දෙකකි.
පසුකාලයක දළදාව ගෙන එන්නේද මෙම උතුරට ඇති මාරගය ඔස්සේය. හෙන්රි පාකර් දක්වන්නේ තන්තිරිමලේ ප්‍රදේශය පුරාණ උපතිස්ස නුවරට අයත් වන්නට ඇති බවය (Parker1909.245). විජය කුමරු සමඟ පැමිණි පිරිස අතර වූ උපතිස්ස ඇමැතියා අනුරාධපුරයට උතුරු දෙසින් ගම්භිර නදිය අසල උපතිස්ස ග්‍රාමය පිහිටුවා ගත් බව මහාවංශයේ සඳහන්ය. ගම්භිර නදිය යනු කනදරා ඔයයි. ඒ අනුව මල්වතු ඔය හා කනදරා ඔය අසල ප්‍රදේශය ගැන ඔහු සඳහන් කරන බව පෙනේ.
තන්තිරිමලේ යනු තිවක්ක බමුණු ගම බව උපකල්පනය කිරීමට කෙනෙකු පෙලඹිය හැකි සාධකයක් වන්නේ අනුරාධපුරයෙන් උතුරු දෙස ප්‍රදේශයක ඇති පුරාණ විහාරයක් වීමය. මෙහි ඇති බ්‍රාහ්මී ශිලා ලිපි අනුව එම විහාරය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව සැලකිය හැකිය (පාකර්).
එහෙත් උතුරේ දඹකොළපටුනේ සිට අනුරාධපුරය දක්වා අතරතුර ක්‍රිස්තු පූර්ව යුගයට අයත්ව නටබුන් විහාර සාධක ඇත්තේ තන්තිරිමලේ පමණක් නොවන බවද සැලකිය යුතුය. තවත් කරුණක් වන්නේ වංසකථාවල සඳහන් පරිදි දඹකොළපටුනේ සිට අනුරාධපුරයට බෝධිය රැගෙන ඒමට දින තුනක කාලයක් ගත වී තිබේ. ඉන් පළමු දිනයේදී තිවක්ක බමුණුගමෙහි බෝධිය තාවකාලිකව තැන්පත් කර ඇත. ඒ අනුව තිවක්ක බමුණුගමට දිනක ගමණකුත් එතැන් සිට අනුරාධපුරයට දින දෙකක ගමනකුත් කෙරී තිබේ. කෙළින් බැලූ කල්හි අනුරාධපුරයේ සිට සැතපුම් විසි ගණනක දුරක් සඳහා දින දෙකක් ගතවූයේදැයි සලකා බැලීමෙන්ද තන්තිරිමලය යනු තිවක්ක බමුණුගම නොවන බව සැලකිය හැකිය.
මෑත යුගයේ තන්තිරිමලේ ජනාවාස වීම
ඉංග්‍රීසි පාලන අවධිය උතුරුමැද පළාතේ ආරම්භ වන විට තන්තිරිමලේ ප්‍රදේශයේ ජනතාව පදිංචි ව සිටි බවට සාක්ෂ්‍ය නැත. බෞද්ධ ආවාසයත් පැවති බවට ද සාක්ෂ්‍ය නැත. 1963 වර්ෂයේ දී වවුනියාවේ දිසාපති ව සිටි හේමසිරි ප්‍රේමවර්ධන මහතා වවුනියාවේ සිට මේ දක්වා ළඟාවිය හැකි ගමන් මාර්ගයක් සාදවා දී ඇති බව තන්තිරිමලේ වැඩ වාසය කළ බව සඳහන් ප්‍රථම භික්ෂූන් වහන්සේ වූ කුඩාකෝන්ගස්කඩ විමලඥාන හිමි සඳහන් කර ඇත (දිසානායක 1988 පිට 70). ආචාර්ය රෝලන්ඞ් සිල්වා පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඒ මාර්ගය කළ බවය.
තවද අනුරාධපුරයේ සිට මන්නාරමට යන මාර්ගය ඒ වන විටත් සැකසී තිබුණෙන් ජිප් රියක නැඟී එම ස්ථානයට යා හැකි බව කියයි. තවද එම කාලයේ සිට එම භික්ෂූන් වහන්සේ තමාගේ ආරාමය වූ උලුක්කුලමේ සිට තන්තිරිමලයට පැමිණ සතියකට දින දෙකක් පමණ නැවතී සිටි බවත් පළමුවරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුරකරු සිය පවුල සමඟ පැමිණ 1963 පසු කලෙක තන්තිරිමලේ පදිංචි වූ බවත් පසුව ක්‍රමයෙන් නිවාස අටකටද ඊට වැඩි ගණනකටද වර්ධනය වී ගිය බවත් පවසා ඇත.
දැනට දාගැබ් මළුවේ ගල් පුවරුවක කොටා එම ස්ථානය තිවක්ක බමුණු ගම බවටත් බෝධිය අෂ්ටඵල බෝධියක් බවටත් දක්වා ඇති ලිපිය එසේ ජනාවාස වූ අවධියෙන් පසුව කොටන ලද්දක් බවත් පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත. ප්‍රදේශය මැනවින් අධ්‍යයනය කළ ජෝන් ස්ටීල්, බෙල් හෝ හොකාර්ට් හෝ මහාචාර්ය සෙනරත් පරණවිතානට හෝ එම ලිපිය හමු නොවීමත්, මහාචාර්ය පරණවිතාන විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පළ කරන ලද කිසිදු ශිලා ලේඛන සංග්රහයක එම ලිපි ඇතුළත් කර නොතිබීමත් (Paranavitane, 1970, Inscriptions of Tantirimale in Inscriptions of Ceylon, Vol.I) ඊට සාක්ෂ්‍ය වේ. පුරාණ ලංකාවේ තිබූ බෝධිඝරවල නටබුන් කීපයක්ම දැනට සොයාගෙන ඇත. ඒ අතර සතරැස් සැලසුම් මෙන් ම වෘතාකාර සැලසුම්ද ඇත. රජගල පුළුකුනාව, අනුරාධපුර ලංකාරාමය ආදිය වෘත්තාකාර සැලසුම්වලට උදාහරණය. ඒ සියල්ලෙහි බෝධිය රෝපණය කළ ස්ථාන සොයාගෙන ඇති අතර එය වෘත්තය මධ්‍යයේ වේ. එහෙත් තන්තිරිමලේ බෝධිය පිහිටා ඇතිතේ බෝ කොටුවේ අයිනකය.
කුරුණෑගල සමයේ රචිත සිංහල බෝධිවංශයේ ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු (4 පරාක්‍රමබාහු, ක්‍රි.ව. 1302-1326) රජතුමා මූල භාෂාවෙන් (පාලි භාෂාවෙන්) තිබූ බෝධිවංශ නම් ප්‍රසිද්ධ ග්‍රන්ථය ස්වභාෂාවෙන් කරන ලෙසට කළ ආරාධනාව පරිදි සිංහල බෝධිවංශය කළ බව සඳහන් ය (සිංහල බෝධිවංශ, 1970: 133) ඒ අනුව මෙය පාලි මහාබෝධිවංශයේ පරිවර්තනයක් බව පැහැදිලිය. එහෙත් දෙතිස්ඵල බෝධි පිළිබඳ පාලි මහාබෝධි වංශයේ රෝපණය කළ ස්ථාන නාමාවලියක් නැති බව ඉහත පෙන්වා දී ඇත. එසේ නම් සිංහල බෝධිවංශය රචනා කළ කැලණි විහාරයේ වැඩ සිටි විල්ගම්මූල හිමියන් එම ස්ථාන නාම ලැයිස්තුව ඇතුළත් කළේ කුමන මූලාශ්‍රයක් පදනම් කොට ගෙනදැයි ගැටලුව අප හමුවේ ඇත.
ඒ වන විට මහා මාර්ග ආසන්නව ප්‍රසිද්ධියට පත්ව තිබූ පුරාණ බෝධි සහිත විහාරස්ථාන ඇසුරෙන් එම ස්ථාන නාම ලැයිස්තුව සැකසුණේද? කුරුණෑගල සමය වන විට දක්නට ලැබුණු බෙල්ලන්විල, පැපිළියාන ආදි ස්ථාන මේ ලැයිස්තුවට ඇතුළත්ව තිබීමත් එම ග්‍රාම නාම රජරට ශිෂ්ටාචාර සමයේදී අසන්නට නොලැබීමත් සැලකිල්ලට ගත යුතුය. මේ බොහෝ ස්ථාන නිරිතදිග ශිෂ්ටාචාර සමයේ පාලන ප්‍රදේශවලට අයත් වීමද සැලකිය යුතුය. තන්තිරිමලේ අනුරාධපුරයේ සිට ප්‍රධාන තොටුපළක් වන මහාතිත්ථයට (මන්නාරම) යන මාර්ගය ආසන්නයේ, එනම් මල්වතු ඔයට ආසන්නයේ පිහිටීම නිසා එතැන වූ විහාරය කුරුණෑගල සමය වන විටත් ජනතා මතකයෙන් ඈත් නොවන්නට ඇත.
පිඩපති තිස තෙර
තන්තිරිමලේ අෂ්ටඵල බෝධියක් රෝපණය කළ ස්ථානයක් නොතිබුණත්, දෙවනපෑතිස් රාජ්‍ය සමයේ බුද්ධාගම පැතිරී ගිය මුල්ම අවස්ථාවේ පටන් වනවාසී බෞද්ධ ආරාමයක්ව පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය රැසක්ම හමු වී ඇති හෙයින් ආගමික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් ඇති ස්ථානීය වැදගත්කමට කිසිදු අඩුවක් ඇති නොවේ. මේ ස්ථානය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මානව ක්රියාකාරිකම්වලට භාජනය වූ භූමියක් බව එහි ඇති ගුහා චිත්රවලින් සනාථ වේ. ප්‍රධාන ලෙනෙහි ඇති සූර්ය රූප අනුව බුද්ධාගමට පෙර සිට පැවැති සූර්ය වන්දනාව පැවැත්වූ තැනක් විමට ද ඉඩ ඇත. සූර්ය වන්දනාව සඳහා යොදාගත්තේ පර්වත හෝ කඳු මුදුන් ය. “කුරුණෑගල විස්තරය” ග්‍රන්ථයේ එහි වූ හිරු නමස්කාර කරන ගල යනුවෙන් ස්ථානයක් ඇත. සමනොළද ආරම්භයේ දී එවැනි තැනක් වන්නට ඇත.
බුද්ධාගම මෙරට පැතිරුණ මුල්ම අවස්ථාවේ තන්තිරිමලේද අරණ්‍යවාසි ආරාමයක් වු බවට සාධක වන්නේ එහි ඇති ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ශිලා ලිපි ය එක් ලිපියක “බරත පිඩපති තිස තෙරහ” යනුවෙන් සඳහන්ය. පිඩපති තිස යනු “පිණ්ඩපාතික තිස්ස” යනුයි. මෙහි ඇති පධානඝර නටබුන්වලින්ද පෙනී යන්නේ මෙය අරඤ්ඤවාසී භාවනානුයෝගී භික්ෂු ආරාමයක් වු බව ය. පාලි රසවාහිනියේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සද්ධාතිස්ස රජු දවස අනුරාධපුරයේ පිණ්පාතයේ වැඩි සුප්‍රසිද්ධ තිස්ස නම් හිමි නමක ගැන සඳහන්ය. ඉහත කී ලෙන මේ හිමි වෙනුවෙන් ඉදිකරන ලද්දක්ද වීමට ඉඩ ඇත.