
දහම කරුණු වශයෙන් හඳුනා ගැනීමෙන් දහම දන්නවා යයි අපි සිතමු. එහෙත් සැබෑ දහම් අවබෝධය යනු අපගේ ජීවිත අත්දැකීම් දෙස විමසුම් සහගතව බැලීමේ හැකියාවයි. දහම් මඟ වඩනු කැමති, ඒ සඳහා උත්සාහවත් වන අපට රාගසිතිවිල්ලක් බාධකය හැටියට ඉදිරිපත් වන්නට පුළුවන. එයට නතු වීම හෝ පලවා හැරීමට සටන් වැදීම සිදුවිය හැකියි. ඒ දෙකින් කොයික කළත් දුක වැලඳ ගැනීමක්ම ය. ඒ වෙනුවට කළ යුත්තේ එහි හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව විමර්ශනය කර බැලීමයි.
ලෞකික ජීවිතයේ දී හැම විට ම අප උත්සාහ ගන්නේ තමන් සතු නොවන දේ දිනාගැනීමටයි. අපගේ හැම ව්‍යායාමයක් ම ජයග්‍රහණය, සාර්ථකත්වය, සැපත දිනා ගැනීම පිණිසයි. නිමාවක් නොදකිමින් දිනපතා විවිධ කටයුතුවල නියුක්ත වන්නේ දැනට අපට නැති යමක් ලබාගැනීම පිණිසයි. ඒ සඳහා පුද්ගලයා ‘මම’ සහ මගේ යන චින්තාව ඉදිරියට ගෙන ක්‍රියා කරන කල්හි සිදු වන්නේ තෘෂ්ණා උපාදන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයනට දිගින් දිගට මුහුණ පෑමයි.
තෘෂ්ණාව කුස ගින්නක් සේ එකම දේ නැවත නැවතත් ලබාගැනීම සඳහා අප යොමු කරනවා ඇත. සසර කල්ප ගණනක් මේ ප්රයත්නය අපි දැරුවෙමු. මතුත් දරමු. මේ අතර සම්‍යක් සම්බෝධියට පත් වන උතුමෙකු විසින් මේ තෘෂ්ණා කුසගින්න නොයෙක් දේ සතු කර ගැනීමෙන් සපුරාලිය නොහැකි බවත් කළ යුත්තේ සසර නිම කිරීම බවත් දේශනා කරනු ලබයි. එහි දී පුද්ගලයා එකවරට ම පෙලඹෙන්නේ භව සසර නිම කිරීම නම් වූ නිවනක් සසර හුරු පුරුදු වී ඇති ආකාරයටම ‘තමා විසින් සතු කරගනු ලැබිය යුතු දෙයක්’ සේ සැලකීමටයි. එහෙත් සතු කරගැනීමේ මනස හැකිතාක් නිවන් ලැබේය යන්නක් විය නොහැකියි. එසේ සඳහන් කරන විට නිවන් කැමති තැනැන්තාගේ හිතේ පසුබෑමක් ඇති වෙන්නට පුළුවන. නිවන් අවබෝධ වන්නේ මමත්වය සංසිඳීමෙනි.
“කැමති දෙය නොලැබීම දුකකි” (යම්පිචඡං න ලභති තම්පි දක්ෂිං යනුවෙන් දුක්ඛ සත්‍යය විස්තර කරන තැන ඇති සඳහන සතිපට්ඨාන සුත්‍රයෙහි විස්තර කර ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක , පරිදේව, දුක් දොම්නස් උපායාස නැත්නම් හොඳයයි කැමති වු පමණින් ඉන් මිදීමක් නොවන බව දුක හැටියටයි. (න ඛො පනෙතං ඉච්ඡාය පත්තම්බං) දුකින් මිදෙන්නේ මිදීම කැමති වූවාටම නොව ඊට අදාළ ප්‍රත්‍යයන්ගේ සම්බන්ධතාව සකස් වී ඇත්නම් පමණි. අපි මේ තරුණ බුද්ධ කාලයේ වූ යම් සිද්ධියකින් තේරුම් ගන්නට බලමු.
එවකට දහම් මඟ බොහෝ දුර වඩා සිටි නමුත් තවමත් අර්හත්වයට නොපත්ව සිටි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වෙත එළඹ, තමන් වහන්සේගේ සිත තවමත් ආස්‍රවයන්ගෙන් නො මිදීම පිළිබඳව ගැටලුවක් ඉදිරිපත් කළේය. ඇවැත් ශාරිපුත්‍රයෙනි. මම මිනිසැස ඉක්ම සිටියා වූ පිරිසුදු දිවැසින් සහස්රලෝකධාතුව බලමි. (ඉධාහං ආවුසො සාරිපුත්ත දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකං ඔලොකෙමි.) අරඹන ලද මාගේ වීර්යය, සැඟවී නැත. (ආරද්ධං ඛො පන මෙ විරියං අසල්ලීනං) .එළඹ සිටි සිහි ඇත්තේ මුළා බවක් නැත. (උපට්ඪිතා සති අපම්මුට්ඪා) සැහැල්ලු වූ නාමකය හා කරජකය කලබල රහිත ය. (පස්සද්ධකායො අසාරද්ධො) සමාහිත සිත ඒකාග්රය. (සමාහිතං චිත්ත එකග්ගං) එසේ නමුත් මාගේ සිත උපාදාන රහිතව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නැත. (අථ ච පන මෙ න අනුපාදය ආසවෙහි චිත්තං විමුච්චති)
ගැටලුවට සවන් දුන් සැරියුත් හිමියෝ හේතුව අවබෝධ කර ගත්හ. අනතුරුව මෙසේ වඳාළහ. ඇවැත් අනුරුද්ධයෙනි, ‘මම මිනිසැස ඉක්මවා සිටි පිරිසුදු දිවැසින් සහස්රලෝකධාතුව බලමි’ යි යම් සිතක් ඔබට වේද, එය ඔබගේ මානයයි, (ඉදන්තෙ මානස්මිං).
‘මා විසින් අරඹන ලද වීර්යය සැඟවී නැත. එළඹ සිටි සිහි ඇත්තේ මුළාවක් නැත. සැහැල්ලු වූ නාමකය කරජකය කලබල රහිතය. සමාහිත සිත ඒකාග්රය’ යනුවෙන් සිතක් ඔබට වේ ද, එය ඔබගේ උද්ධච්චයයි, (ඉදන්තෙ උද්ධච්චස්මිං)
‘එසේ නමුත් මාගේ සිත උපාදන රහිතව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නැත’ යනුවෙන් යම් සිතක් ඔබට වේද, එය ඔබගේ කුකුස් බවයි. (ඉදන්තෙ කුක්කුච්චස්මිං)
“එහෙයින් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ මේ කරුණු තුන හැරදමා, ඒවා මෙනෙහි නොකොට, නිර්වාණ ධාතුවට සිත එළ වන්නේ නම් මැනවි”, යනුවෙන් සැරියුත් හිමියෝ වඳාළහ. (සාධු වතායස්මා අනුරුද්ධෝ ඉමෙ තයො ධම්මෙ පහාය ඉමෙ තයො ධම්මෙ අමනසිකර්ත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරතු) ඉන් අනතුරුව ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඒ කරුණු තුන බැහැර කොට, ඒවා මෙනෙහි නොකර නිවන පිණිස සිත එළවූහ. ආස්‍රවයන් ක්ෂය වී අර්හත්වයට පත් වූහ.
දහම් මඟ බොහෝ දුර වඩා සිටියදීත් සියුම් ලෙස මානය, උද්ධච්චය, කුක්කුච්චය වශයෙන් මමත්වය, නොසන්සුන්කම, පසුතැවිල්ල ඉදිරිපත් වී නිවන් අවබෝධයට බාධක ඇති වු ආකාරය මේ පුවතින් වටහා ගත හැකිය. මෙවන් අවස්ථාවක කලණ මිතුරු සබැඳියාවේ අවශ්‍යතාව මැනවින් ප්‍රකට වේ.
නිවන් අවබෝධ වන්නේ මමත්වය ඉදිරියට දමා කෙලෙස්වලට, බාධක වලට විරෝධය පෑමෙන් නොව අවබෝධයට අවැසි ප්‍රත්‍යධර්මයන් සකස් වන ආකාරයට කටයුතු කිරීමෙනි. නිවන පමණක් නොව දහම් මඟට අවශ්‍ය ප්‍රත්‍යයන් පුබුදුවනු ලබන්නේ ද ධර්මයන් විසින්මය. මේ පිළිබඳව සඳහන් වන වැදගත් දේශනාවක් හැටියට අංගුත්තර නිකායේ දසක නිපාතයේ චේතනාකරණීය සූත්‍රය දැක්විය හැකිය. ඒ සූත්‍රය අනුව දුසිල්වත් පුද්ගලයාගේ සිත ඇලීම් තැවීම් රැවටීම් සහිත බැවින් විපිළිසරය. සීලසම්පන්නයාගේ සිතෙහි පසුතැවිලි නොවන ස්වභාවය ඉපදීම ධර්මතාවයි. පසුතැවිලි නොවේවායි සිතන්නට අවශ්‍ය නොවේ. පසුතැවිලි නැත්තහුට ප්‍රමෝදය ඉපදීම ධර්මතාවයි. ප්‍රමෝදය උපදීවාසි සිතන්නට අවශ්‍ය නොවේ. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය ඉපදීම ධර්මතාවයි. ප්‍රීතිය උපදීවායි සිතන්නට අවශ්‍ය නැත. ප්‍රීතිය ඇත්තහුට කය සංසිඳුනහුට සැපය ඉපදීම ධර්මතාවයි. සැපය උපිදීවායි සිතන්නට අවශ්‍ය නොවේ. සුව ඇත්තහුට චිත්තසමාධිය ඉපදීම ධර්මතාවයි. සමාධිය උපදීවායි සිතන්නට අවශ්‍ය නොවේ. සමාහිත සිත් ඇත්තහුට යථාභූත ඥනදර්ශනය ඉපදීම ධර්මතාවයි. යථාභූත දැක්ම වේවායයි සිතන්නට අවශ්‍ය නොවේ. ඇති සැටිය දක්නහුට ප්‍රඥාසම්ප්‍රයුක්ත කලකිරීම වෙයි. නො ඇලීම වෙයි. කලකිරේවා, නො ඇලේවා යයි සිතන්නට අවශ්‍ය නොවේ. කලකිරුණහුට, නොඇලුණහුට විමුක්ති ඥනර්ශනය වෙයි.
විමුක්ති ඥනදර්ශනය පසක් වේවායි සිතන්නට අවශ්‍ය නොවේ. සූත්‍රයෙහි අවසානයේ සඳහන් වන්නේ “මහණෙනි,මේ ආකාරයෙන් භවත්‍රය සංඛ්‍යාත මෙතෙරින් නිර්වානය වූ එතෙරට යෑම සඳහා ධර්මයෝම ධර්මයන් පවත්වන්නාහ, ධර්මයෝම ධර්මයන් පුරන්නාහ”. යනුවෙනි. මේ ස්වභාවය ඉදිරියේ සිදු වන්නේ ප්‍රතිපදාව දුෂ්කර වීම නොව පහසු වීමයි. අවශ්‍ය වන්නේ ප්රතිපදාවේදී තමාගේ මැදිහත් වීම කොපමණකින් වේද යන්න වටහාගැනීමයි.
අප සසර ඇදී ආවේ ලෝභ,දෝෂ, මෝහ යන අකුසල මූලයන් නිසා ඇලීම් තැවීම් රැවටීම් සහිතවය. සුබ නිමිති මම, මගේ වශයෙන් නුනුවණින් මෙනෙහි කරන විට වැඩුණේ ලෝභයයි. රාගයයි. පටිඝනිමිති මම, මගේ වශයෙන් නුනුවණින් මෙනෙහි කරන විට වැඩුණේ ද්වේශයයි. ඇලීම් ගැටීම් නැති තැනදී වුවද අත්දකින නිමිති වඤ්ඤාණයේ පිළිබිඹු වන නාමරූප බව නොදැන මම මගේ වශයෙන් නුනුවණින් මෙනෙහි කිරීම නිසා වැඩුණේ මෝහයයි. අවිද්‍යාවයි. වරද වශයෙන් බලගතු බැවින්ද.ක්ෂය කිරීම අපහසු බැවින්ද බලගතුම අකුසලය වන්නේ මෝහයයි. අවිද්‍යාවයි. (මහාසාවජ්ජො දන්ධවීරාගී) මෙවන් පසුබිමක පුද්ගයාට සිල්වත් වීමද පහසු නැත. පංචනීවරණ ධර්මයන්ගෙන් මැඩී ඇති බැවිනි.
කැමැත්ත පස්කම් සැපයට ම නම් ( කාමච්ඡන්ද), ගැටෙනසුලු නම් (ව්‍යාපාද), අලස නම් (ථිනමිද්ධ), නොසන්සුන්කම්, පසුතැවිලි, විසිරිලි සහිත නම් (උද්ධච්චකුක්කුච්ච), දෙගිඩියා සැකමුසු සහිත නම් (විචිකිච්ඡා) එබඳු පුද්ගලයා සිල්වත් වියයුතු යයි සිතා සීලය සමාදන් වූ පමණින් එය රැකීම කොතරම් අපහසුද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසා ආගමික ජීවිතය තමාව ම පීඩාවට පත් කරගැනීමක් හැටියට කෙනෙකු සිතන්නට ද පුළුවන. චේතනාකරණීය සූත්‍රය ආරම්භ කරන්නේ සීල සම්පන්නයාගේ පටන් ය. විපිළිසර නොවීම සීලයෙහි ආනිශංසයයි. සීලයද අවශ්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවෙන් පිබිදෙන්නකි. අං: නි: දසකනිපාතයෙහි අවිජ්ඡා සූත්‍රය මෙහිදී විමසා බැලිම වැදගත්ය.
ඉහළ කඳුකරයට වැසි වැස්සොත් වැව් පොකුණු ඇළ දොළ ගංගා පුරවමින් සාගරය ද පුරවන්නා සේ සත්පුරුෂ සංසේවනය (සප්පුරිසසංසෙවො) ඇතොත් දහම් මඟෙහි සපිරෙන ධර්මයන් වැඩෙන්නට අවශ්‍ය මූලික ප්‍රත්‍යය සම්පුර්ණ වූවා වෙයි. ඒ සම්යක්සම්බුද්ධාදී ආර්ය උතුමන් ඇසුරයි. සත්පුරුෂ සංසේවනයෙන් සපිරෙන්නේ සද්ධර්මශ්රවණයයි. (සද්ධම්මසවනං) සද්ධර්මශ්රවණයෙන් සපිරෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධතා නුවණින් මෙනෙහි කිරීමය. (යොනිසොමනසිකාරො) යෝනිසෝ මනසිකාරයෙන් සපිරෙන්නේ සිහි නුවණයි. (සතිසම්පජඤ්ඤං) සිහිනුවණින් සපිරෙන්නේ ඉන්ද්‍රිය සංවරයයි. (ඉන්ද්රියසංවරං) ඉන්ද්‍රිය සංවරයෙන් සපිරෙන්නේ කාය වාක් මනෝ සුචරිතයයි. (තිණි සුචරිතානි) කාය, වාක්, මනෝ සුචරිතය ඇති තැන සීලය ද පිබිදෙයි. තුන්දොර දුසිරිත් ක්‍රියාත්මක වන්නේ පංචනීවරණයන්ට ආහාර වශයෙනි ප්‍රත්‍යය වශයෙනි. තුන්දොර සුචරිතය ඇති තැන පංචනීවරණ වෙනුවට සපිරෙන්නේ සතර සතිපට්ඨානයයි. (....තාරොසතිපට්ඨානෙ) සතර සතිපට්ඨානයෙන් සපිරෙන්නේ සප්ත බෝධ්‍යඃග ධර්මයි. (සත්තබොජ්ඣඃගා) බෝධ්‍යංග ධර්ම පිරිපුන් වන විට පංචනීවරණ ආහාර කොට නොගන්නා බැවින් අවිද්‍යාව ප්රහාරණය වෙමින් විද්‍යාවිමුක්තිය පිරිපුන් වෙයි. (විජ්ජා විමුත්තිං) සත්පුරුෂ සංසේවනය විද්‍යාවිමුක්තිය දක්වා ප්‍රත්‍යයන් සම්පුර්ණ කරන්නේ ඒ ආකාරයටයි.
මේ කරුණු වටහා ගන්නා විට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ප්රහාණය ප්‍රමාද වූයේ කවර නිසා ද යන්න තවදුරටත් පැහැදිලි වෙයි. ‘මම සිල්වත් වෙමි’, මම සමාධිමත් වෙමි’, මම ප්රඥවන්ත වෙමි’, ‘මම නිවන් දකිමි’ යනුවෙන් මමත්වය ඉදිරියට ගැනීමෙන් පෙනෙන්නේ මට කිසියම් තත්ත්වයකට පත්වන්නට වුවමනා කරනවා’ යන්නයි. එය තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟාගැනීම පිළිබඳ අපේක්ෂාවකට වැඩි දෙයක් නොවේ.
අපි සීලය පිළිබඳව සිතා බලමු. සීලය සඳහා අවශ්‍ය පසුබිම සකස් වී ඇත්නම් ඒ සමඟම සීලය පිබිදෙනවා ඇත. ආර්ය මාර්ගයේ සීලය නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව, නිවැරදි ආජීවය වශයෙන් දැක්වේ. කායික වාචසික ක්‍රියා බිහි වන්නේ පුද්ගලයා සිතන ආකාරය අනුවය. කය, වචනය හසුරුවන්නේ සිත ‘විසින් බැවිනි. විතර්ක ගොඩනඟන්නේ සිත විසිනි. සිත සංසාරිකව පුරුදු පුහුණු වී ඇත්තේ කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් මවන්නටයි. එය ප්‍රත්‍යය වන්නේ කාය වාක්, මනෝ දුසිරිත් වලටය.
නිවන් පිළිවෙතේදී ඒ අකුසල විතර්කයන් වෙනුවට නෙක්ඛම්ම, අවාපාද, අවිහිංසා විතර්කයන් පිබිදී තිබිය යුතුය. කාය, වාක්, මනෝ සුචරිතය පිණිස ප්‍රත්‍යය වන්නේ ඒ කුසල විතර්කයන්ය. කාම, ව්‍යාපාද විහිංසා විතර්කයන්ගේ සාවද්‍ය බව දකින්නේ නැත්නම් සීලය පිබිදෙන්නේ නැත. එසේ නම් ඒ අකුසල විතර්කයන්ගේ සාවද්‍ය බව දකිමින් කුසලවිතර්කයන් පිබිදෙන්නේ සම්මා දිට්ඨිය ඇති කල්හි ය. ම: නි: මහාවත්තාරිසක සූත්‍රයෙහි “සම්‍යක් දෘෂ්ටිය ඇත්තහුට සම්‍යක් සංකල්පනයෙහි හැකියාව වෙයි. (සම්මාදිට්ඡඪස්ස සම්මා සංකප්පො පහොති) සම්‍යක් ක්‍රියාවෙහි හැකියාව වෙයි. (සම්මා වාචස්ස සම්මාකම්මන්තො පහොති) නිවැරදි ක්‍රියාව ඇත්තහුට සම්‍යක් ආජිවයෙහි හැකියාව වෙයි. (සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති) චර්යාවන් බිහිවන්නේ කල්පනයට අනුවය. කල්පනය සැකසෙන්නේ දෘෂ්ටියට (දැක්මට) අනුව ය.
සසර අනුසය කරගත් කෙලෙස් නිසා කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක පහළ වේ. අනුසය වූ කෙලෙස් අවදි වීම පරියුට්ඪානයයි. ඒ කෙලෙස් වලට අනුගත වුවහොත් ශික්ෂා ඉක්මවීම සිදුවේ. ‘චිතික්ඛමන’ යයි කියන්නේ එසේ ශිෂ්‍යා ඉක්මවීමයි. අවිද්‍යාවත් තෘෂ්ණාවත් ඉදිරිපත් වූ තැන පාපය, අකුසලය සිදු වේ. සම්මාදිට්ඨිය (ප්‍රඥාව) නැතිව සිල්වත් බව බලාපොරොත්තු විය හැකි නොවේ. අපට සිල්වත් බව රැකගැනීමට සුදුසු ලෙස බාහිර ලෝකය සකස්වී තිබිය යුතු යයි බලාපොරොත්තු වීම වැරදිය. සීලය අප තුළ පිබිදෙන්නක් විය යුතුය. එහි දී වැදගත් වන්නේ පුද්ගලයාගේ මනසයි. කාමවිතර්කය මැකී යන්නේ අත්හරින්නට තරම් ප්‍රඥව ඇති විටයි. ව්‍යාපාද විතර්කය මැකීයන්නේ මෘදු වෙන්නට තරම් ප්‍රඥව ඇති විටයි. විහිංසා විතර්කය මැකී යන්නේ කරුණාවන්ත වන්නට තරම් ප්‍රඥව ඇති විටයි. එපමණට සීලය ද පිබිදෙයි.
අන් අය කෙරෙහි අව්‍යාජ කරුණාවක් හා මෛත්‍රියක් ඇති වන්නේ ප්‍රඥව ඇත්නම් පමණයි. ප්රඥවන්තයා ‘මම වෙමි’ යන මැනගැනීම සිදු වන්නේ රූපය හෝ විඥානය හෝ හැඳිනීම හෝ චේතනා හෝ දැනීම් හෝ අල්ලාගෙන බව දනියි. මේ රූප යනු චක්ඛු සෝතාදී ආයතන හයේ නිමිති වන රූපසංඥ බවත්, වින්දන, හැඳිනීම්, සංකල්ප ඔස්සේ ඇතිවන දැනීම් මාත්‍ර බවත් දනියි.
මම යනු මේ ප්රත්යසම්බන්ධතාව ඔස්සේ ඇති කරගන්න හැඟීම් මාත්‍රයක් පමණක් බවත් දනියි. සසර සැකසුනේ රූපසංඥ, වින්දන, හැඳිනීම්, චේතනා, දැනීම් සහිත සිත් ප්‍රවාහය සාරය වශයෙන් ගැනීමේ (සක්කායදිට්ඨියෙන් යුතු වීමේ) වරද නිසා බව වැටහෙයි. ඒ ප්රඥවන්තයා සක්කායාභිරතිය දුර්වල කරමින් සිටින නිසා මමත්වය ඉදිරියට ගෙන කෙනෙකුගේ දිවි තොර කරන්නේ නැත. අන්සන්තකයක් පැහැර ගන්නේ නැත. මෛථූන සදාචාරය උල්ලංඝනය කරන්නේ නැත. වචනයෙන් අනුන් රවටන්නේ හෝ බිඳුවන්නේ හෝ පෙළන්නේ හෝ ප්‍රමාදයට පත් කරන්නේ හෝ නැත. වැරදි උපක්‍රම වලින් දිවිපවත්වන්නේ ද නැත.
එසේ සීලය පිබිදී ඇති තැන නීවරණධර්ම බලගතු නොවේ. කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් ඔස්සේ සිත අයාලේ යෑමක් නැත. සිත සමාධිමත් වන්නේ මේ පසුබිම සකස් වන පමණටයි. සමාධිමත් සිත ප්‍රඥවට යොමු කිරීම පහසුය. ප්රතිපදාවේදී ප්‍රඥාවෙන් අදහස් කරන්නේ යථාභූතඤණදස්සනයයි. අපේ අත්දැකීම් ලෝකය යම්සේ සකස් වන්නේ ද ඒ ආකාරය දැකීමයි. කයේ, මනසේ, ලෝකයේ යථාස්වභාවය අවබෝධ කර ගැනීමයි.
දහම කරුණු වශයෙන් හඳුනා ගැනීමෙන් දහම දන්නවා යයි අපි සිතමු. එහෙත් සැබෑ දහම් අවබෝධය යනු අපගේ ජීවිත අත්දැකීම් දෙස විමසුම් සහගතව බැලීමේ හැකියාවයි. දහම් මඟ වඩනු කැමති, ඒ සඳහා උත්සාහවත් වන අපට රාගසිතිවිල්ලක් බාධකය හැටියට ඉදිරිපත් වන්නට පුළුවන. එයට නතු වීම හෝ පලවා හැරීමට සටන් වැදීම සිදුවිය හැකියි. ඒ දෙකින් කොයික කළත් දුක වැලඳ ගැනීමක්ම ය. ඒ වෙනුවට කළ යුත්තේ එහි හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව විමර්ශනය කර බැලීමයි.
අපගේ ඇරයුමක් නැතිව ම පැමිණෙන මේ සංකල්ප විතර්ක මගේමත් අනෙකකුගේවත් නොවේ. කිසිදු කෙනෙක් වෙතින් නො ආ මේ සිතිවිල්ල ක්ෂය වන අනිත්‍ය ධර්මයකි. එය ක්ෂය වන්නට නොදී මගේ කරගෙන පිදුරු දා අවුළුවන්නට නො යා යුතුය. බියේ පලා යන්නටද අවශ්‍ය නොවේ.
එය ඇතිව නැතිවන සංකල්ප මාත්‍රයක් පමණි. ඉන්ධන නො සපයන විට ගින්න නිවී යයි. අප ප්රඥවන්තයයි කියන්නේ අපේ කථාබහේ හරබර කම අනුව නොවේ. මෙවන් විතර්කයන් ඉදිරියේ සාමකාමීව සිටින්නට ඇති හැකියාවේ ප්‍රමාණය අනුවය. සීලයත් සමාධියත් ප්රඥවත් වැඩෙන්නේ සංකල්පයන්ට නතුවීමත් පලවා හැරීමත් වෙනුවට ප්රඥවෙන් බැලීමෙන්ම ය. එහෙයින් සංකල්පයන් ප්රඥවෙන් දැක දැක ප්රහාණය කළ යුතු වෙයි. (පඤ්ඤය දිස්වා දිස්වා පහාතබ්බං)
සංකල්පනා වශයෙන් පුද්ගලයා මැඩගෙන සිටින්නා වූ මනෝධර්ම රැසකි. ලෝභය, ද්වේෂය, මෝහය, උපනාහය (වෛරය), මක්ඛය (අනුන් ගුණ නසා ක්‍රියා කිරීම), පලාසය (අනුන්ගේ දොස් කතා කිරීම), මාත්සර්යය (මසුරුකම), ලාමක ඊර්ෂ්‍යාව (අනුන්ගේ සැපත දියුණුව නො ඉවසිම), ලාමක ඉච්ඡාව(තමා තුළ ගුණ නැතිවම ගුණ ඇත්තෙකැයි අන්‍යයෝ දනිත්වායි කැමතිවීම) වශයෙනි. මේ සංකල්ප මනසට පැමිණ නැවත අතුරුදන් වන ඒවා පමණය. එහෙත් නැවතත් පැමිණෙනවා ඇත. නැවත ද අතුරුදන් වෙනවා ඇත. මේ ආවේගාත්මක සංකල්ප මනස තුළ ඇති වී නැති වී යන බව දැන ගැනීම මෙහි දී වැදගත් වන්නේ එමඟින් ඒවාට නතුවීම හා ඉවතට තල්ලු කිරීම පිළිබඳ බිය ලිහිල් වී යෑම ය.
ඒ බව නොදන්නා විට අපි ඒ ආවේගයන්ට ප්‍රතික්‍රියා කරමු. ප්‍රඥා සම්ප්රයුත්තව යම් පරිදි දන්නහුට මේ දුර්ගුණ නොවන්නේ ද, ඒ ආකාරය දන්නේ නම් මේ දුර්ගුණයන් පුද්ගලයා මැඩගෙන නො පවතිනු ඇත. (නාහිභුය්ය ඉරීයති) සංකල්ප තමා හදන දේ නො වේ. පැමිණ ආපසු යන රළපහරක් වැනි ය. විඤ්ඤනයෙහි පිළිබිඹු වන නාමරූප ප්රතිබිම්බයන් පමණි. (වින්දන, හැඳීනීම්, චේතනා, ස්පර්ශ, මනසිකාර ඔස්සේ නිමිති වන රූපසඤ්ඤ පමණි. ඒවා පිළිබිඹු වන්නේ විඤ්ඤණයෙහිය.) නිශ්පුද්ගල හේතුප්‍රත්‍ය සමවායයක් පමණි. ඇතිව නැතිවන ක්‍රමයෙන් ඒ සංකල්ප නැවත නැවතත් නොපැමිණෙනවා ඇත. අනුසය සහිතව ම ප්රහාණය වීම යනු එයයි.
මෙතෙක් කතා කළ කරුණු ‘ඇත්ත නේන්නම්’ කියා සෛද්ධාන්තික වශයෙන් ගැනීම, අනුමත කිරීම පහසුය.එහෙත් දුෂ්කරතාව වන්නේ යළි යළිත් මතුවන සිතිවිලි සහ හැසිරීම් උදෙසා ඒ දැනුම ඉවසීමෙන් යුතුව භාවිත කිරීමයි.
කොස්වත්තේ අරියවිමල හිමි