
ආසියානු ක්‍රීඩා උලෙළෙහිදී කිසිදු පදක්කමක් නොමැතිව අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරළා එද්දී ආසියානු පැරා ක්‍රීඩා උලෙළට ගිය අපේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ක්‍රීඩාංගණවලදීම පදක්කම් 14 ක් දිනා පදක්කම් සටහනේ 14 වැනි ස්ථානයට පත්වීමට සමත්ව ඇත.
පසුගමනක යෙදෙන අපේ ක්‍රීඩාවට මෙය ඉඩෝරයට පොද වැස්සක් මෙන් පෙනුණ ද එම ජයග්‍රහණ පිටුපස ඇති කතාව ද එමඟින් අනාවරණය වීම වැදගත් ය. ආබාධිත ක්‍රීඩාවලදී වැඩි ප්‍රමාණයක් කැපී පෙනෙන්නේ ආබාධිත රණවිරුවන් ය. ඔවුන් තුළ පවතින අප්‍රතිහත ධෛර්යය, දරා ගැනීමේ හැකියාව, කැපවීම මෙයට හේතුවයි. එහෙත් ආබාධිත ක්‍රීඩා හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අප රටේ ඇති සහයෝගය හා ප්‍රේක්ෂක උනන්දුව අල්පය. රාජ්‍ය අනුග්‍රහය ද එලෙසමය. එවන් පසුබිමක ඔවුන් ආසියාවේ තම මට්ටමේ සෙස්සන් පරදවා පදක්කම් දිනා ගැනීම සැබැවින්ම අගය කළ යුතු ය. ක්‍රීඩා අමාත්‍යාංශයේද රජයේද අවධානය මීට වඩා ඔවුන් වෙනුවෙන් යොමු විය යුතු ය.
නොබෝදා මේජර් ජනරාල් ධූරයට පත්වූ අම්පෙමොහොට්ටි මහතා කලක් මුළුල්ලේ මෙම ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටුපස සිටි දැවැන්ත චරිතයකි. මේ මොහොතේ ඔහු ද සිහිපත් කළ යුතුමය.
පැරා ආසියානු කුසලාන එසේ තිබියදී නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව දෙස හැරී බැලිය යුත්තේ දිනෙන් දින එහි කතන්දර ද අලුත් වන නිසා ය.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී නොබෝදා හොඳ සැර කතාවක් කළේය. ඒ මුදලට තරග පාවාදීම් පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයට නව සංශෝධන ඇතුළත් කළ යුතු බවය. නීති විශාරදයකු වන ඔහුට ඒ පිළිබඳව අලුතින් කියා දිය යුතු නැත. එහෙත් කිව යුත්තේ හුදෙක් වචන වලට සීමා නොකොට වහාම එම නීති කෙටුම් සම්පාදනය කරන ලෙසයි. මීට පෙර සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මෙවැනිම කතාවක් කළ නමුත් එය ද හුදෙක් වචනයට පමණක් සීමා විය. දැන් අයි.සී.සී. ය මඟින් සනත් ජයසූරියට ද චෝදනා ගොනු කොට තිබේ.
දරුණු අපරාධ සීමා කිරීමට නම් පෝරකය අවශ්‍ය බව බොහෝ දෙනා කියති. එය අනවශ්‍ය යයි කියන්නෝ ද වෙති. එහෙත් වැරදි කරන්නවුන් හා අපරාධකරුවන්ට දෙවරක් සිතා බැලීමට නම් අවසන් ප්‍රතිඵලය දැඩි දඬුවමකට යටත් කිරීම කළ යුතුමය. අද අප රටේ කන්දකට නැග පස්සා පැත්ත පෙන්වුවද රිමාන්ඩ්ය. බඩගින්නට අල්ලපු වත්තෙන් අඹ ගෙඩි දෙකක් කඩා ගත්ත ද රිමාන්ඩ්ය. නඩු මාස ගණන් ඇදේ. එහෙත් බරපතළ වරදකරුවන්, දූෂිතයන්, වංචාකරුවන් බොහෝ විට නිදැල්ලේය. ක්‍රිකට් තරග මුදලට පාවාදීම්, ක්‍රීඩා සංගම්වල මූල්‍ය අක්‍රමිකතා සඳහා වරදකරුවන් වන අයට නඩු පැවරිය හැකි නීතිවල ඇත්තේ ලොකු අඩුවකි.
මෙතරම් නීති සම්පාදන, සංශෝධන වන රටක එවැනි දේ සඳහා දැඩි දඬුවම් ලබාදෙන නීති සම්පාදනය කිරීම අපහසු කටයුත්තක් නොවේ. පොදුවේ වංචාව යටතේ නඩු පැවරිය හැකි නමුත් මොවුන්ට ඒවායින් රිංගා යාම අපහසු නැත.
එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව වැනි රටවල මේ සඳහා විශේෂිත නීති තිබේ. එම රටවල ක්‍රීඩකයන් මෙවැනි චෝදනාවලට හසු වීම අල්ප වශයෙන් සිදුවන්නේ මේ නිසාය. ඉන්දීය ක්‍රීඩකයන් හසුවීම ද අඩු වන්නේ බුකි කරුවන් බොහෝ විට ඉන්දීය ක්‍රීඩකයන් තම ග්‍රහණයට හසු කර ගැනීමට උත්සුක නොවන හේතුවෙනි. තරග පාවාදීම් සඳහා ක්‍රීඩකයන් පොළඹවන බුකිකරුවන් හා ඔවුන්ගේ තැරැව්කරුවන් බොහොමයක් ඉන්දියානුවන්ය. වරදට දඬුවම් සඳහා ශ්‍රී ලංකාවේ දැඩි නීති නොවීම, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ඔවුන්ගේ ඒජන්තවරුන්ට මුදල් සඳහා ඇති ගිජුකම වැනි කාරණා හේතුවෙන් මෙම ඉන්දීය බුකිකරුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැළ එලන්නට උත්සුක වන බව වාර්තාවේ.
මේ අතර ක්‍රිකට් නිලවරණය සඳහා පැවරුණු නඩුවක් හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය තවමත් ඇත්තේ අරාජික තත්ත්වයකය. ක්‍රිකට් වැනි සංකීර්ණ හා විශාල වශයෙන් මුදල් සංසරණය වන ක්‍රීඩාවක පරිපාලනය ක්‍රීඩා ඇමැතිවරයා තම ලේකම්වරයා ලවා පූර්ණ අධීක්ෂණයෙන් දීර්ඝ කාලයක් පවත්වාගෙන යා හැකි බව සිතන්නේ නම් එය විශාල අත්වැරැද්දකි.
ජගත් ක්‍රිකට් සම්මේලනය මීට සති ගණනකට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාටම දැනුම් දුන් පරිදි නඩුව සමථයකට පත්ව ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් කළමනාකරණ කමිටුවක් පත් කළ යුතු බවට කරන ලද දැනුම්දීමට ද ක්‍රීඩා ඇමැතිවරයා මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත. මෙවන් තත්ත්වයක් යටතේ මෙහි ප්‍රයෝජනය ගනු ලබන්නේ ක්‍රිකට් පරිපාලනයේ ඉහළ මට්ටමේ සිටින වැටුප් ලබන නිලධාරීන් ය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් තම හිතවතුන් සඳහා දීමනා, රැකියා අවස්ථා ලබාදීමට ද ඔවුහු උත්සුක වෙති. එනිසා ක්‍රීඩාව හා පරිපාලනය ගැන අවබෝධයක් හා අත්දැකීම් ඇති කිහිප දෙනකු නිලවරණය පවත්වන තෙක් පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට තිබෙන බලතල අනුව වහාම සිදු කළ යුතුව ඇත. නොඑසේ නම් වනුයේ අර්බුදයට ලක්ව ඇති අපේ ක්‍රීඩාව තව තවත් ඇද වැටීමය.
ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ද තිබුණු මෙවැනිම ගැටලු රැසක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින්ම විසඳනු ලැබීය. වත්මන් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය පත් කරන ලද්දේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම වීම විශේෂ සිද්ධියකි. ලොව විශාලතම හා ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය නිලවරණයක් හෝ නොමැතිව දැනට වසර දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ පාලනය කරනු ලබන්නේ එසේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පත් කරන ලද කමිටුවකිනි. එයට අයි.සී.සී. යෙන් ද බාධාවක් නොමැත.
අප රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිතුමන්ට හා අගමැතිතුමන්ට මැදිහත්වීමට මේ හොඳම කාලයයි.
රංජන් පරණවිතාන