ක්‍රිකට් ලොවේ සිංහයන් වඳ වෙයිද? | සිළුමිණ

ක්‍රිකට් ලොවේ සිංහයන් වඳ වෙයිද?

මෑත කාලයේ ලෝක ක්‍රිකට් අඹර දිදුලවූ දීප්තිමත්ම තාරකාව ලෙස ලෝකයම සලකන්නේ එංගලන්තයේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔහු 1979 දී - එනම්: මීට දශක හතරකට පමණ කලියෙන් තම ඕස්ට්‍රේලියානු සගයකුට අත් අකුරින් ලියූ ලිපියක සඳහන් කර ඇත්තේ තමාට ඇති එකම බිය අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම එහි අනාගත උරුමකරුවන්ගේ පමණක් නොව අපේද ගෞරවය නැති වන ආකාරයට එහි වටිනාකම් විනාශ වී යාවිද යන්න බවයි. ඒ තරම්ම මේ ක්‍රීඩාවේ ගුණාත්මක බව වෙනසකට ලක් වෙමින් පවතින බව ඔහුට දැනෙන්නට ඇත්තේ අධික වේගයෙන් එන පන්දුවක් පිළිබඳව ඇසිල්ලකින් නිශ්චය කරගැනීමට ක්‍රිකට් ක්‍රීඩාව විසින් ඔහුගේ මොළය දියුණු කරනු ලැබූ නිසා විය හැකිය.

මහත්වරුවන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන මේ ක්‍රීඩාව ලෝකයේ රටවල් ගණනාවකම ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත් වන්නේ කාලයකත් සමඟය. 1830 දශකයේදී ශ්‍රිමත් බ්‍රැඩ්මන්ගේ පරම්පරාවේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද මේ විශිෂ්ට ක්‍රීඩාවේ ටෙස්ට් වරම දක්වා ගිය ගමන කෙටි එකක් වූයේ නැත. 1926 දී මුලින්ම අන්තර්ජාතික ක්‍රිකට් තරගයන්ට සහභාගි වන ශ්‍රී ලංකාව ටෙස්ට් වරමට ළඟා වන්නේ 1982 දීය. ඒ සඳහා එවකට ක්‍රිකට්පාලක මණ්ඩල‍ෙය් සභාපතිවරයාව සිටි හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක, වෛද්‍ය ගාමිණි විජේසේකර ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයන, හිටපු ක්‍රීඩකයන් විසින් දරන ලද වෙහෙස මහන්සිය අතිමහත්ය.

එකල ලෝකයේ ටෙස්ට් වරම් ලද ක්‍රිකට් කණ්ඩායම් අතරට අට වැනියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 1985 දී ඉන්දියාවට එරෙහිව පළමු ටෙස්ට් ජයග්‍රහණය විඳීම එකල ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇගයීමට ලක් කළේ සැමරුම් නිවාඩුවක්ද ලබා දෙමිනි. එයින් පසුව 1996 දී ශ්‍රී ලංකාව ලද ලෝක ක්‍රිකට් කිරුළ අපේ ක්‍රිකට් තවත් මානයකට ගෙන ගියේය. කෙසේ වුවද ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1979 දී දුටු ඒ වෙනසට මුල පුරන්නට වූයේ ක්‍රිකට් පිටියට සල්ලි වැටෙන්නට පටන් ගත් කාලයේ සිටය. මේ ක්‍රීඩාවට පවතින ඉහළ ඉල්ලුම තුළ එය මහා පරිමාණ ව්‍යාපාරවලට ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් වන්නේය. එය වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම තුළ දිවෙන දෙයකි. එහිදී මුලින්ම වැඩිපුරම කැපී පෙනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙළෙඳ ප්‍රචාරණ මෙවලමක් බවට පත් වීමය. ලෝකයේ හෝ තම රටවල ජනප්‍රියත්වයට පත් වන ක්‍රීඩකයන් නිතැතිතන්ම එක් එක් වෙළෙඳ සන්නාමවල නියෝජිතයන් බවට පත් වූයේ ඩොලර් ගණන්වල ගිවිසුම් සමඟය. එක් අතකින් ක්‍රිඩකයන් එවැනි වෙළෙඳපොළ අවස්ථාවක් එද්දී ක්‍රිකට් බලධාරීන්ට මෙය ඉල්ලමක් බවට පත් වන්නේ මේ ක්‍රිකට් තරග නැරඹීමට ඇති ඉල්ලුම සැපයී‍ෙම්දීය. එහිදී ක්‍රිකට් තරග විකාශයේදී ඒ මැදට එන වෙළෙඳ දැන්වීම් සහ අදාළ විකාශ අනුග්‍රහයන් ලොකු ලොකු මුදල් කුට්ටි මත ඉහළ ලංසුවලට ගිය ව්‍යාපාරයක් බවට පත් විය. එය මෙහි එක් වෙළෙඳ වේදිකාවක් පමණි. ඊළඟට එන්නේ ප්‍රිමියර් ලීග් තරාවලි වේශයෙන් පැමිණි ව්‍යාපාරයයි. එය තනිකරම වෙළෙඳ ප්‍රචාරය සදහ මුදල් මත දුවන තරගාවලියක් බවට පත් විය. විශේෂයෙන් ඉන්දියාව මුල් කරගෙන ව්‍යාප්ත වූ මෙම ප්‍රිමියර් ලීග් තරගාවලී ක්‍රීඩකයන් තුරඟ තරග දුවන අශ්වයන්ගේ මට්ටමට පත් විය. ලංසු දැමීමෙන් ඉහළම ලංසුවට ක්‍රීඩකයන් බිළී බාන තත්ත්වයට මේ තරගාවලි පත් විය. මේ තත්ත්වය හුදෙක් ක්‍රිකට්වලට පමණක් සීමා වූවක් නොවන අතර, ලෝකයේ සෙසු ජනප්‍රිය ක්‍රීඩාවලදීත් දැකිය හැකි තත්ත්වයක් විය. මේ දේවල් ප්‍රසිද්ධියේ සිදු වෙද්දී ක්‍රිකට් පිටිය පසුපස ඉතා තිරශ්චීන ක්‍රීඩාවක්ද පසුගිය දශක කිහිපය ඔස්සේම කෙමෙන් මෝරමිවන් පැමිණියේය. එය ක්‍රිකට්වලට ඔට්ටු දැමීමයි. මේ ඔට්ටු මිලියන ගණන් වූ අතර, එහිදී ඇතැම් ක්‍රිකට් තරග හිතාමතා පරාජය කිරීමේ අතිප්‍රබල සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. මේ තිරශ්චීන ක්‍රියාව හමුවේ වරදකරුවන් වූ ක්‍රිකට් ලොව බැබළවූ තරුද රාශියකි. මේ දැවැන්ත ක්‍රිකට් පාවාදීම් සහ ක්‍රිකට් පසුපස ඇති දූෂිත ගනුදෙනු සියල්ල එකි‍ෙනක යා නොවුණද, මේ සියල්ල පසුපස ඇති එකම දේ මුදල් තණ්හාවයි. ක්‍රිකට් බලධාරීන් සේම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේම අද ඇති එකම අභිප්‍රාය තමන් නියෝජනය කරන රට දිනවීමට වඩා, ලැබෙන අවස්ථාවෙන් සිටු මැඳුරු, සැප වාහන ලබාගෙන පැත්තකට වීමය. එයට ජාතික ක්‍රිකට් කණ්ඩායම හිණිමඟක් කරගන්නට දඟලන බව පෙනෙන්නේ තවමත් හරි හැටි කීර්ති නාමයක් ගොඩ නඟාගෙන නැති ළාබාල ක්‍රීඩකයන් පවා මේ තිරශ්චීන ක්‍රියාවේ නියැළෙන බවට හෙළිදරවු වීමය.

පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය බවට නම් කළා පමණක් නොව, අප රටක් ලෙස අමාරුවෙන් අත් කරගත් ටෙස්ට් වරම ඇතුළු සියලු කීර්තිනාමයන් අහිමි කරගැනීමේ අවදානමක සිටින බවට කරුණු අනාවරණය කළේය. මෙය උපන් බිමට ආදරයක් ඇති අපේ ක්‍රිකට් පිල සිංහයන් සේ සලකන ඔවුන් වෙනුවෙන් දිවි පුදන තරමේ භක්තියක් ආදරයක් ඇති ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ හද ගැස්ම කොතරම් දුරට වැඩි කරවන වේදනාත්මක පුවතක් වන්නේද? අද ශ්‍රී ලාංකිකයන් ලෙස පිට රටකට ගිය විට අපට තැනක් පිළිගැනීමක් හිමි වන ලොකුම සාධකයට මේ වන්නේ කුමක්ද?

අද අප සිතිය යුත්තේ මේ ගැනය. කෙසේ වුවද අද මේ ඊනියා ක්‍රිකට් බලධාරීන් හෝ මුදල් ලෝභයෙන් පිස්සු වැටුණු ක්‍රිකට් ක්‍රීඩකයන් නොව, ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතය කැප කළ අපේ කීර්තිමත් ක්‍රීඩකයන් සේම ක්‍රිකට්වලට ආදරය කරන සැම එකට එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රැකගැනීමට එක් විය යුතු කාලයක් එළඹ ඇත. එහිදී අපට ඇති අස්වැසිල්ලක් වන්නේ රටේ ජනාධිපතිවරයාත්, අග්‍ර­ාමාත්‍යවරයාත් මෙන්ම වත්මන් ක්‍රීඩා අමාත­්‍යවරයාත් ඉතා අපක්ෂපාතීව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඍජුවම කැප වීමය. ඔවුන්ගේද අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මේ දූෂිතයන්ගෙන් බේරාගෙන, සැබෑ සිංහයන් ලෝකයේ බැබළවීමය. මේ අරමුණේදී ඉතා කල්පනාකාරීව මේ අභියෝගය ජය ගැන්මට කඩිනම් වැඩපිළිවෙළක් නොවුණ හොත් අපට සිදු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගණ සියල්ල වසා මේ මුදල් මත දුවන අශ්වයන් දෙස ‘බකං නිලා‘ සිටින්නටය.

Comments