
සියොතුන්ටත් කලින් අවදි වූ මම ළහිරු කැන් ඉඟි-බිඟි පාන්නටත් ප්‍රථම නිවෙසින් පිටත් වූයෙමි. අඳුර බිඳ ආලෝකයේ දෙවිඳුන් ටිකින් ටික සිය දෑස් විවර කරන්නට පටන්ගත්තේ ඒ මොහොතේය. ගණපති දෙවියන් නැමැද අරුලිමු සිවසුබ්රමනියා ස්වාමි කෝවිලෙහි වාර්ෂික දේවෝත්සවය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරාවක් පමණි. මම හනික බස්රථයකට ගොඩ වුණෙමි. මගේ ගමනාන්තය වූයේ කොම්පඤ්ඤවීදියයි.
කුමරන් රත්නම් මාවත ඔස්සේ මද දුරක් ගමන් කර මුරුගන් වීදියෙන් වමට හැරුණු විට දිස් වන්නෙ අරුලිමු සිවසුබ්රමනියා ස්වාමි කෝවිල ය. විදුලි බල්බයන්ගෙන් ආලෝකවත් වී දේවාලෝකය පැතිර ගියා මෙන් බබලන කෝවිල දේව පුරාණයට සම්බන්ධ නොයෙක් සිද්ධීන්ගෙන් සුසැදි විචිත්‍රවත් නිමැවුමකි. විශාල හිටි පිළිමයන් දරා සිටින්නා සේ ඉහළ නැඟී සිටින කෝවිල් ගොඩනැගිල්ල මධ්‍යයයේ මුරුගන් හෙවත් කතරගම දෙවිෙයා් විරාජමානව වැඩ වෙසෙති. මෙම ගොඩනැගිල්ල නිමවා ඇත්තේ කතරගම දෙවියන් හා සම්බන්ධ දේව කතා ආශ්රයෙනි. දෙපස තේවානි අම්මා සහ වල්ලි අම්මාගේ විවාහ ගිවිස ගැනීම දැක්වෙන පිළිරූ ය.
දහස් ගණනක් දේව භක්තිකයන් මේ ලහිලහියේ සූදානම් වන්නේ කොඩිගස එසවීමට ප්‍රථම සිදු කරන ගණදෙවි පූජාව පැවැත්වීමට ය. මේ පූජාවේ අරමුණ වන්නේ උත්සව සමය අවසානය වනතෙක් කිසිදු අවහිරයකින්, කරදරයකින් තොරව දේවෝත්සවය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය ගණ දෙවියන් වෙත භාර කිරීමය. දෙමළ හින්දු ජනතාව විසින් කුමන කාර්යයක් ආරම්භයේ වුව මෙලෙස ගණදෙවියන් සිහි කර ආශිර්වාද ලබා ගැනීම සිරිතකි. මේ ජනතාව මෙලෙස එක් රැස් වී සිටින්නේ තමන් වෙත පැමිණෙන අතොරක් නැති දුක් කරදර, ව්‍යාධිවලින් පිහිට ආරක්ෂාව සලසා ගැනීමටය. එපමණක් නොව ඔවුන්ගේ බාරහාර ඔප්පු කිරීමද මෙහිදී සිදු වේ. අයෙක් පළතුරු වට්ටි පිදීමෙන් හා කිරි කළවලින් දෙවියන් නැහැවීමෙන් ඒවා ඉෂ්ට කරන අතර, තවකෙක් ලේවලින් තම භාර ඔප්පු කරති. ඒ කොකුවලින් එල්ලී දෙවියන් නැමදීමෙනි. තවත් සමහරෙක් බිම දිගාවී පෙරෙළමින් සිය භාරයන් ඔප්පු කරයි. මේ අතර දරුවන් නොලැබූ කාන්තාවෝ “ ඔබ වහන්සේ මට දරුවන් නොදෙන්නේ මම පව්කාරියක් නිසානෙ. එහෙම නම් මම ඔබ පය තැබූ භූමියෙහි වැලි සමඟ ආහාර ගන්නවා. එතකොටවත් මට දරුවෙක් ලැබේවි” යන සිතුවිල්ලෙන් කෝවිල් පියගැට පෙලෙහි ඇතිරූ වැලි සහිත ආහාර අනුභව කරති. මෙඟින් දරුවන් ලැබෙන බව ඔවුහු විශ්වාස කරති. මෙලෙස ඔවුන්ගේ දුක ඇසීමට දෙවියෙක් හෝ නොසිටියේ වී නම් මේ අනන්ත දුක්ඛ දොම්නස්සයන් කවර තත්වයකට ඔවුන් පත් කරනු ඇතිද? මෙවන් කාන්තාවන් දෙස බුද්ධියෙන් බලා ගැරහීම කෙතරම් සාධාරණ ද? පන්සල්, පල්ලි නොතිබෙන්නට සිංහල, මුස්ලිම් හා කතෝලික ජනතාව පවා කුමක් කරනු ඇතිද? එසේ වීනම් ඔවුහු නැඟී සිටිති. එවිට ඔවුන් වෙත ද මර්දනයේ දෑත් දිගු වනු නියතය. නොඑසේ නම් මින් වැඩිදෙනට මානසික රෝහල්වල ප්‍රතිකාර ලබන්නට සිදු වේ. විවෘතව මේ දෙස බලන්නේනම් අප සියල්ලන්ම සමානයින් නොවේද? අප මත හෙළා ඇති පිරිපත එක හා සමාන නොවේද?. එසේ නම් මෙලෙස බෙදී වෙන් වී සොයන විමුක්තියේ ඵලය කුමක්ද? සිතුවිලි තොරතෝංචියක් නැතිව එක පිට එක නැඟී එයි. ආයාසයෙන් එය මැඬගත් මම පැමිණි කාරණය පිළිබඳව නිමග්න වීමි.
මේ කෝවිල කුමන දෙවිකෙනකු වෙනුවෙන් කවර කාලයක පටන්ගත්තාදැයි විමසා බැලීමේදී පෙනී යන්නේ මෙය මුරුගා, ස්කන්ද කුමාර හෙවත් කතරගම දෙවියන් උදෙසා ඉදිකරනු ලැබූවක් බව ය. කතරගම දෙවියන් යනු මහා බඹු විසින් ලොව ජනිත කළ ත්‍රී මූර්තිය වූ බ්‍රහ්ම, විෂ්ණු, ශිව තිදෙනාගෙන් තුන්වැන්නා වූ ශිවගෙ දෙටු පුතණු ය. ඔහුගේ වැඩිමහල් දරුවා වූයේ ගණේශ ය (ගණ දෙවියන්). දකුණු ලක රුහුණු පුරවරය ස්කන්ධ අධිපති කම් කරනවාට ශිව දෙවියා කැමති විය. තම දෙටු පුත්‍රයා රූපශ්‍රීයෙන් යුතු ස්ත්‍රීන්ට ඇලුම් කරන බව දත් ශිව රුහුණු පුරවරයේ රූපශ්‍රීයෙන් අනූන දේව දියණියක පහළ කළේය. ඔහු ශිව බැතිමතකු වූ නාරද ඍෂිවරයාට මුණගස්වා දියණියක ලෙස ඇති දැඩි කරවීය. ඇය වැඩි වියට පත් වූ පසු ඈ පිළිබඳ කඳකුමරුට පැවසූ ශිව දෙවියා ඈ සරණ කොටගෙන දකුණු ලක පාලනය කරන මෙන් දැන් වීය. මෙලෙස දකුණු ලකට කඳකුමරු සොයා ආ තරුණිය වල්ලී බව කියවේ. පසුව ඇය කඳකුමරු සරණපාවා කරගෙන විසූ බව එක් කතා පුවතකින් සැල වේ. මෙවැනි කතා බොහෝමයක් ජනප්‍රවාද ගතව පවතී. මේ පිළිබඳව මෙරට කීර්තිමත් සමාජ විද්‍යාඥයකුවන මහාචාර්ය ගණනාථ ඔබේසේකර පෙන්වා දෙන්නේ ඇය වැදි පරපුරට අයත් ස්ත්‍රියක බවයි. එසේවුවත් ඇය සාස්තර කියන කොරවන් කුලයේ ස්ත්‍රියක බව හින්දු බැතිමත්තු විශ්වාස කරති. ඒ අනුව මුරුගන් හා මෙරට සම්බන්ධය ඇති කරන පාලම වල්ලී කුමරිය බව කිව හැකිය. පසුව කඳ කුමරු හින්දු, බෞද්ධ, වැදි හා සෙසු ජනකොටස්වලද දෙවියකු බවට පත්ව තිබේ.
ඒ ඇදහීම අනුව යමින් අරුලිමු සිවසුබ්රමනියා ස්වාමි කෝවිල ආරම්භ වී ඇත්තේ 1867දීය. ඩෑම් වීදියෙහි කච්චේරිය ආසන්නයෙහි කුඩා භූමියක ආරම්භ වූ මෙම කෝවිල වැඩිදෙනාගේ පහසුව සඳහා පසුව කොම්පඤ්ඤවීදියේ ස්ථාපිත කළේය. ඒ 1887දීය. පොන්නම්බලම් මුඩ්ලියර් ඊට මුල්වී කටයුතු කළේය. නමුත් අද පවතින තත්ත්වයට මේ කෝවිල් පරිශ්‍රය ගොඩ නැගී ඇත්තේ එහි ආගිය බැතිමතුන්ගේ දායකත්වයෙනි. අරුලිමු සිවසුබ්රමනියා ස්වාමි කෝවිලෙහි වාර්ෂික මංගල්‍යය ජූලි 26 වැනිදායින් ආරම්භ වී අගෝස්තු මස 05 වැනිදා වේල් පෙරහැර පවත්වමින් වීදි සංචාරය කර 07 වැනිදායින් අවසන් වේ. මෙම උත්සවයේ අරමුණ පිළිබඳව කෝවිලට ඉතාම සමීපව කටයුතු බැතිමතකු වන නන්දකුමාර් මහතාගෙන් විමසා සිටියෙමු.
“මේ උත්සවය පැවැත්වීමේ අරමුණ මොකක්ද”
අපි හැමදාම දෙවියන් ළඟට අවිත් දෙවියන්ට ස්තෝත්‍ර, මන්ත්‍ර ගායනා කරලා සතුටු කරලා දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ඉල්ලනවා. ඒවගේ දෙවියොත් අපි ළඟට අවිත් අපට ආශිර්වාද කරනවා. මේ උත්සවය පවත් වන්නේ ඒකට. පෙරහැරෙන් දෙවියො වඩිද්දි අපි ඕන කෙනෙක්ට පුළුවන් අයියර්ල(ප්‍රධාන පූජකවරයා) නැතුව දෙවියන් ළඟට යන්න. කෝවිලෙදි එහෙම බැහැ. අපි වෙනුවෙන් අයියර්තමයි ඔක්කොම කරන්නේ. මුරුගා දෙවියන් හිතන්නෙ,‘’ ඔයාල ඔක්කොම මං ළඟට ආවනේ. මමත් ඔයාල බලන්න ඔයාල ළඟට එනවා.’ කියන අදහස ඇතිව තමයි මේ උත්සවය පවත්වන්නේ. මීට අමතරව නපුරේ සංකේතයක් වන අසුරයින් අවසන් කර ජයගත් මුරුගා දෙවියන්ට ගෞරව දැක්වීම සඳහා දින හයක් උපවාස කරනවා.”
අරුලිමු සිවසුබ්රමනියා ස්වාමි කෝවිලෙහි වාර්ෂික මංගල්‍යයෙහි අවසානය සිදු වන ආකාරය හරි අපූරුය. එය සිදු කරන්නේ කොළපාට ඇඳුම් ආයිත්තම් හා මල් වලින් දෙවියන් සැරසීමෙනි. ඉන්දියාවෙන් ගෙන්වන තුලසි මල් හා කොහොඹ කොළ මේ සඳහා යොදා ගනී. ඉන් දෙවියන් සතුටට පතවන බව ඔවුන්ගේ විශ්වාසයයි. උත්සව අවසානයේ ප්‍රධාන පූජක තැන විසින් කොඩිගස බිමට බස්සවා මුරුගා දෙවියන් හා වල්ලි අම්මා දෙවඟනගේ දේව ප්‍රතිමා දේවාලයේ තැම්පත් කිරීමේ කාර්ය සිදු කෙරේ. මෙය අපූරු කතා ප්‍රවෘත්තියක් හා බැඳී පවතී. ඒ මෙසේය,
“තම බැතිමතුන් බැහැ දැක මුරුගා දෙවියන් තම ප්‍රිය භාර්යාව වූ වල්ලි අම්මා (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ස්ත්‍රියකි.) සමඟ තම මාළිගය කරා පැමිණේ. එවිට ඔහුගේ ප්‍රථම භාර්යාව වූ තේවානි අම්මා (ඉන්දීය සම්භවයක් ඇති ස්ත්‍රියකි) මාලිගාවෙහි දොර අරින්නේ නැත. එවිට දොර විවර කරන ලෙස ආයාචනා කරමින් මුරුගා දෙවියන් ස්තෝත්‍ර ගායනා කරයි. ඉන් සතුටට පත්වන තේවානි අම්මා දොර විවිර කර ඔවුන් පිළිගනී. අනතුරුව මුරුගා ප්‍රිය භාර්යාවන් දෙදෙනාම දෙපස තබාගෙන ඔන්චිල්ලාව පදිමින් සතුටු ෙවති. උත්සවයේ කටයුතු අවසන් වන්නේ මෙම සිදු වීම සංකේතාත්මකව සිදු කිරීමෙන් අනතුරුව ය.