දෙවි­යන් අප සොයා වඩින අසි­රිමත් මංග­ල්‍යය | Page 4 | සිළුමිණ

දෙවි­යන් අප සොයා වඩින අසි­රිමත් මංග­ල්‍යය

සියො­තු­න්ටත් කලින් අවදි වූ මම ළහිරු කැන් ඉඟි-බිඟි පාන්න­ටත් ප්‍රථම නිවෙ­සින් පිටත් වූයෙමි. අඳුර බිඳ ආලෝ­කයේ දෙවි­ඳුන් ටිකින් ටික සිය දෑස් විවර කර­න්නට පට­න්ගත්තේ ඒ මොහො­තේය. ගණ­පති දෙවි­යන් නැමැද අරු­ලිමු සිව­සු­බ්‍ර­ම­නියා ස්වාමි කෝවි­ලෙහි වාර්ෂික දේවෝ­ත්සව‍ය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරා­වක් පමණි. මම හනික බස්ර­ථ­ය­කට ගොඩ වුණෙමි. මගේ ගම­නා­න්තය වූයේ කොම්පඤ්ඤවීදි­යයි.

කුම­රන් රත්නම් මාවත ඔස්සේ මද දුරක් ගමන් කර මුරු­ගන් වීදි­යෙන් වමට හැරුණු විට දිස් වන්නෙ අරු­ලිමු සිව­සු­බ්‍රම­නියා ස්වාමි කෝවිල ය. විදුලි බල්බ­ය­න්ගෙන් ආ‍ලෝක­වත් වී දේවා­ලෝ­කය පැතිර ගියා මෙන් බබ­ලන කෝවිල දේව පුරා­ණ­යට සම්බන්ධ නොයෙක් සිද්ධී­න්ගෙන් සුසැදි විචි­ත්‍ර­වත් නිමැ­වු­මකි. විශාල හිටි පිළි­ම­යන් දරා සිටින්නා සේ ඉහළ නැඟී සිටින කෝවිල් ගොඩ­නැ­ගිල්ල මධ්‍ය­යයේ මුරු­ගන් හෙවත් කත­ර­ගම දෙවි­ෙයා් විරා­ජ­මා­නව වැඩ වෙසෙති. මෙම ගොඩ­නැ­ගිල්ල නිමවා ඇත්තේ කත­ර­ගම දෙවි­යන් හා සම්බන්ධ දේව කතා ආශ්‍ර­යෙනි. දෙපස තේවානි අම්මා සහ වල්ලි අම්මාගේ විවාහ ගිවිස ගැනීම දැක්වෙන පිළිරූ ය.

දහස් ගණ­නක් දේව භක්ති­ක­යන් මේ ලහි­ල­හියේ සූදා­නම් වන්නේ කොඩි­ගස එස­වී­මට ප්‍රථම සිදු කරන ගණ­දෙවි පූජාව පැවැත්වීමට ය. මේ පූජාවේ අර­මුණ වන්නේ උත්සව සමය අව­සා­නය වන­තෙක් කිසිදු අව­හි­ර­ය­කින්, කර­ද­ර­ය­කින් තොරව දේවෝ­ත්ස­වය පැවැ­ත්වී­මට අවශ්‍ය ආර­ක්ෂාව රැක­ව­ර­ණය ගණ දෙවි­යන් වෙත භාර කිරී­මය. දෙමළ හින්දු ජන­තාව විසින් කුමන කාර්ය­යක් ආර­ම්භයේ වුව මෙලෙස ගණ­දෙ­වි­යන් සිහි කර ආශි­ර්වාද ලබා ගැනීම සිරි­තකි. මේ ජන­තාව මෙලෙස එක් රැස් වී සිටින්නේ තමන් වෙත පැමි­ණෙන අතො­රක් නැති දුක් කර­දර, ව්‍යාධි­ව­ලින් පිහිට ආර­ක්ෂාව සලසා ගැනී­ම­ටය. එප­ම­ණක් නොව ඔවුන්ගේ බාර­හාර ඔප්පු කිරී­මද මෙහිදී සිදු වේ. අයෙක් පළ­තුරු වට්ටි පිදී­මෙන් හා කිරි කළ­ව­ලින් දෙවි­යන් නැහැ­වී­මෙන් ඒවා ඉෂ්ට කරන අතර, තව­කෙක් ලේව­ලින් තම භාර ඔප්පු කරති. ඒ කොකු­ව­ලින් එල්ලී දෙවි­යන් නැම­දී­මෙනි. තවත් සම­හ­රෙක් බිම දිගාවී පෙර‍ෙළමින් සිය භාර­යන් ඔප්පු කරයි. මේ අතර දරු­වන් නොලැබූ කාන්තාවෝ “ ඔබ වහන්සේ මට දරු­වන් නොදෙන්නේ මම පව්කා­රි­යක් නිසානෙ. එහෙම නම් මම ඔබ පය තැබූ භූමි­යෙහි වැලි සමඟ ආහාර ගන්නවා. එත­කො­ට­වත් මට දරු­වෙක් ලැබේවි” යන සිතු­වි­ල්ලෙන් කෝවිල් පිය­ගැට පෙලෙහි ඇතිරූ වැලි සහිත ආහාර අනු­භව කරති. මෙඟින් දරු­වන් ලැබෙන බව ඔවුහු විශ්වාස කරති. මෙලෙස ඔවුන්ගේ දුක ඇසී­මට දෙවි­යෙක් හෝ නොසි­ටියේ වී නම් මේ අනන්ත දුක්ඛ දොම්න­ස්ස­යන් කවර තත්ව­ය­කට ඔවුන් පත් කරනු ඇතිද? මෙවන් කාන්තා­වන් දෙස බුද්ධි­යෙන් බලා ගැර­හීම කෙත­රම් සාධා­රණ ද? පන්සල්, පල්ලි නොති­බෙ­න්නට සිංහල, මුස්ලිම් හා කතෝ­ලික ජන­තාව පවා කුමක් කරනු ඇතිද? එසේ වීනම් ඔවුහු නැඟී සිටිති. එවිට ඔවුන් වෙත ද මර්ද­නයේ දෑත් දිගු වනු නිය­තය. නොඑසේ නම් මින් වැඩි­දෙ­නට මාන­සික රෝහ­ල්වල ප්‍රති­කාර ලබ­න්නට සිදු වේ. විවෘ­තව මේ දෙස බල­න්නේ­නම් අප සිය­ල්ලන්ම සමා­න­යින් නොවේද? අප මත හෙළා ඇති පිරි­පත එක හා සමාන නොවේද?. එසේ නම් මෙලෙස බෙදී වෙන් වී සොයන විමු­ක්තියේ ඵලය කුමක්ද? සිතු­විලි තොර­තෝං­චි­යක් නැතිව එක පිට එක නැඟී එයි. ආයා­ස­යෙන් එය මැඬ­ගත් මම පැමිණි කාර­ණය පිළි­බ­ඳව නිමග්න වීමි.

මේ කෝවිල ‍කුමන දෙවි­කෙ­නකු වෙනු­වෙන් කවර කාල­යක පට­න්ග­ත්තා­දැයි විමසා බැලී­මේදී පෙනී යන්නේ මෙය මුරුගා, ස්කන්ද කුමාර හෙවත් කත­ර­ගම දෙවි­යන් උදෙසා ඉදි­ක­රනු ලැබූ­වක් බව ය. කත­ර­ගම දෙවි­යන් යනු මහා බඹු විසින් ලොව ජනිත කළ ත්‍රී මූර්තිය වූ බ්‍රහ්ම, විෂ්ණු, ශිව තිදෙ­නා­ගෙන් තුන්වැන්නා වූ ශිවගෙ දෙටු පුතණු ය. ඔහුගේ වැඩි­ම­හල් දරුවා වූයේ ගණේශ ය (ගණ දෙවි­යන්). දකුණු ලක රුහුණු පුර­ව­රය ස්කන්ධ අධි­පති කම් කර­න­වාට ශිව දෙවියා කැමති විය. තම දෙටු පුත්‍රයා රූප­ශ්‍රී­යෙන් යුතු ස්ත්‍රීන්ට ඇලුම් කරන බව දත් ශිව රුහුණු පුර­ව­රයේ රූප­ශ්‍රී­යෙන් අනූන දේව දිය­ණි­යක පහළ කළේය. ඔහු ශිව බැති­ම­තකු වූ නාරද ඍෂි­ව­ර­යාට මුණ­ගස්වා දිය­ණි­යක ලෙස ඇති දැඩි කරවීය. ඇය වැඩි වියට පත් වූ පසු ඈ පිළි­බඳ කඳ­කු­ම­රුට පැවසූ ශිව දෙවියා ඈ සරණ කොට­ගෙන දකුණු ලක පාල­නය කරන මෙන් දැන් වීය. මෙලෙස දකුණු ලකට කඳ­කු­මරු සොයා ආ තරු­ණිය වල්ලී බව කියවේ. පසුව ඇය කඳ­කු­මරු සර­ණ­පාවා කර­ගෙන විසූ බව එක් කතා පුව­ත­කින් සැල වේ. මෙවැනි කතා බොහෝ­ම­යක් ජන­ප්‍ර­වාද ගතව පවතී. මේ පිළි­බ­ඳව මෙරට කීර්ති­මත් සමාජ විද්‍යා­ඥ­ය­කු­වන මහා­චා­ර්ය ගණ­නාථ ඔබේ­සේ­කර පෙන්වා දෙන්නේ ඇය වැදි පර­පු­රට අයත් ස්ත්‍රියක බවයි. එසේවුවත් ඇය සාස්තර කියන කොර­වන් කුලයේ ස්ත්‍රියක බව හින්දු බැති­මත්තු විශ්වාස කරති. ඒ අනුව මුරු­ගන් හා මෙරට සම්බ­න්ධය ඇති කරන පාලම වල්ලී කුම­රිය බව කිව හැකිය. පසුව කඳ කුමරු හින්දු, බෞද්ධ, වැදි හා සෙසු ජන­කො­ට­ස්ව­ලද දෙවි­යකු බවට පත්ව තිබේ.

ඒ ඇද­හීම අනුව යමින් අරු­ලිමු සිව­සු­බ්‍ර­ම­නියා ස්වාමි කෝවිල ආරම්භ වී ඇත්තේ 1867දීය. ඩෑම් වීදි­යෙහි කච්චේ­රිය ආස­න්න­යෙහි කුඩා භූමි­යක ආරම්භ වූ මෙම කෝවිල වැඩි­දෙ­නාගේ පහ­සුව සඳහා පසුව කොම්ප­ඤ්ඤ­වී­දියේ ස්ථාපිත කළේය. ඒ 1887දීය. පොන්න­ම්බ­ලම් මුඩ්ලි­යර් ඊට මුල්වී කට­යුතු කළේය. නමුත් අද පව­තින තත්ත්ව­යට මේ කෝවිල් පරි­ශ්‍රය ගොඩ නැගී ඇත්තේ එහි ආගිය බැති­ම­තුන්ගේ දාය­ක­ත්ව­යෙනි. අරු­ලිමු සිව­සු­බ්‍ර­ම­නියා ස්වාමි කෝවි­ලෙහි වාර්ෂික මංග­ල්‍යය ජූලි 26 වැනි­දා­යින් ආරම්භ වී අගෝස්තු මස 05 වැනිදා වේල් පෙර­හැර පව­ත්ව­මින් වීදි සංචා­රය කර 07 වැනි­දා­යින් අව­සන් වේ. මෙම උත්ස­වයේ අර­මුණ පිළි­බ­ඳව කෝවි­ලට ඉතාම සමී­පව කට­යුතු බැති­ම­තකු වන නන්ද­කු­මාර් මහ­තා­ගෙන් විමසා සිටි­යෙමු.

“මේ උත්ස­වය පැවැත්වීමේ අර­මුණ මොකක්ද”

අපි හැම­දාම දෙවි­යන් ළඟට අවිත් දෙවි­යන්ට ස්තෝත්‍ර, මන්ත්‍ර ගායනා කරලා සතුටු කරලා දෙවි­ය­න්ගෙන් පිහිට ආර­ක්ෂාව ඉල්ල­නවා. ඒවගේ දෙවි­යොත් අපි ළඟට අවිත් අපට ආශි­ර්වාද කර­නවා. මේ උත්ස­වය පවත් වන්නේ ඒකට. පෙර­හැ­රෙන් දෙවියො වඩිද්දි අපි ඕන කෙනෙක්ට පුළු­වන් අයි­යර්ල(ප්‍රධාන පූජ­ක­ව­රයා) නැතුව දෙවි­යන් ළඟට යන්න. කෝවි­ලෙදි එහෙම බැහැ. අපි වෙනු­වෙන් අයි­ය­ර්ත­මයි ඔක්කොම කරන්නේ. මුරුගා දෙවි­යන් හිතන්නෙ,‘’ ඔයාල ඔක්කොම මං ළඟට ආවනේ. මමත් ඔයාල බලන්න ඔයාල ළඟට එනවා.’ කියන අද­හස ඇතිව තමයි මේ උත්ස­වය පව­ත්වන්නේ. මීට අම­ත­රව නපුරේ සංකේ­ත­යක් වන අසු­ර­යින් අව­සන් කර ජය­ගත් මුරුගා දෙවි­යන්ට ගෞරව දැක්වීම සඳහා දින හයක් උප­වාස කර­නවා.”

අරු­ලිමු සිව­සු­බ්‍ර­ම­නියා ස්වාමි කෝවි­ලෙහි වාර්ෂික මංග­ල්‍ය­යෙහි අව­සා­නය සිදු වන ආකා­රය හරි අපූ­රුය. එය සිදු කරන්නේ කොළ­පාට ඇඳුම් ආයි­ත්තම් හා මල් වලින් දෙවි­යන් සැර­සී­මෙනි. ඉන්දි­යා­වෙන් ගෙන්වන තුලසි මල් හා කොහොඹ කොළ මේ සඳහා යොදා ගනී. ඉන් දෙවි­යන් සතු­ටට පත­වන බව ඔවුන්ගේ විශ්වා­ස­යයි. උත්සව අව­සා­නයේ ප්‍රධාන පූජක තැන විසින් කොඩි­ගස බිමට බස්සවා මුරුගා දෙවි­යන් හා වල්ලි අම්මා දෙව­ඟ­නගේ දේව ප්‍රතිමා දේවා­ලයේ තැම්පත් කිරීමේ කාර්ය සිදු කෙරේ. මෙය අපූරු කතා ප්‍රවෘ­ත්ති­යක් හා බැඳී පවතී. ඒ මෙසේය,

“තම බැති­ම­තුන් බැහැ දැක මුරුගා දෙවි­යන් තම ප්‍රිය භාර්යාව වූ වල්ලි අම්මා (ශ්‍රී ලාංකික සම්භ­ව­යක් ඇති ස්ත්‍රියකි.) සමඟ තම මාළි­ගය කරා පැමිණේ. එවිට ඔහුගේ ප්‍රථම භාර්යාව වූ තේවානි අම්මා (ඉන්දීය සම්භ­ව­යක් ඇති ස්ත්‍රියකි) මාලි­ගා­වෙහි දොර අරින්නේ නැත. එවිට දොර විවර කරන ලෙස ආයා­චනා කර­මින් මුරුගා දෙවි­යන් ස්තෝත්‍ර ගායනා කරයි. ඉන් සතු­ටට පත්වන තේවානි අම්මා දොර විවිර කර ඔවුන් පිළි­ගනී. අන­තු­රුව මුරුගා ප්‍රිය භාර්යා­වන් දෙදෙ­නාම දෙපස තබා­ගෙන ඔන්චි­ල්ලාව පදි­මින් සතුටු ෙවති. උත්ස­වයේ කට­යුතු අව­සන් වන්නේ මෙම සිදු වීම සංකේ­තා­ත්ම­කව සිදු කිරී­මෙන් අන­තු­රුව ය.

 

Comments