
ආණ්ඩුවේ රස්සාවක් ලබාගැනීම නූතනයේ පවා බොහෝ තරුණ-තරුණියන්ගේ ඒකායන පැතුමයි. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන උපාධිධාරී තරුණ-තරුණියන් පවා අදටත් විශ්වාස කරන්නේ කුමක් හෝ රජයේ රැකියාවකට ගිය හොත් තමන්ගේ අනාගතය කලඑළි වන බවය. මේ තරුණ-තරුණියන් රජයේ රැකියාවකට මෙතරම් ප්‍රිය කරන්නේ රටට සේවය කිරීමටද? එසේ නැති නම් තමන් කැමැති පළාතකට වී තමන්ගේ සේවාව ලබා දීමටද? එහෙත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වැනි තැන්වලදී පොදුවේ ඔවුන්ගෙන් මේ ගැන විමසද්දී ඔවුන් වැඩි දෙනකුගෙන් ලැබෙන පිළිතුර වන්නේ විශ්‍රාම ගිය පසුත් වැටුපක් හිමි වන නිසා මේ රස්සාවලට කැමැති බවයි.
වික්ටෝරියානු සංස්කෘතියේ මිශ්‍රණයකට ගොදුරු වූ අපගේ චින්තනමය වහල් බවද අපේ ජාන තුළම සැඟවී අැත්තේදැයි සිතෙන්නේ මෙලෙස රාජ්‍ය නිලධාරීන් ලෙස පත් වන බොහෝ දෙනකු තරුණ වියේදීම විශ්‍රාම දිවිය ගැන සිතා තමන්ගේ අනාගතය පිළිබඳ තීන්දු ගැනීමේ දුර්වල, පසුගාමි මානසිකත්වය නිසාය. විශ්‍රාම වැටුපක් ලැබීම රැකියාවක පවතින සුරක්ෂිත බව පිළිබඳ ඔවුන් තුළ ඇති එකම තක්සේරුවයි. එය නිදහසින් පසු ගෙවුණු සෑම දශකයක් හරහාම විත් 2010 දශකය දක්වාම ජානගතව දුවන ආකල්පයක්ව ඇත්තේ ඒ නිසාය. මෙලෙස රාජ්‍ය සේවාවට එළඹෙන බොහෝ පිරිසකකට අවශ්‍ය වන්නේ වැටුපක් ගෙන ඒ වැටුපට සරිලන ජීවිතයකට හැඩගැසීමය; ඒ අතර ලැබෙන රජයේ වරප්‍රසාද සියල්ල භුක්ති විඳීමය. රජයෙන් ලැබෙන සහන ණය, තීරුබදු රහිත වාහන, රක්ෂණ සහන ආදි මෙකී-නොකී සියලු වරප්‍රසාද ලබාගන්නා ඔවුන් අතුරින් රාජකාරිය දේවකාරියකැයි සලකා ජනතාවට අවංකව තම සේවාව ඉටු කරන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණකි. ඔවුන් වෙත අපගේ හෘදය ප්‍රණාමය පිදිය යුතුය. එහෙත් බහුතරයක් කරන්නේ තමන්ට පැවරෙන රාජකාරිය එහෙන්-මෙහෙන් ගසා-දමා විශ්‍රාම දිවිය තෙක් ‘ෂේප් න්‍යාය’ අනුගමනය කිරීමය. ඔවුන්ගෙන් බහුතරයක් යමක් හරියට කරනවා නම් ඒ ‘අකුරට වැඩ කිරීම’ හෝ ‘වැඩවර්ජනය’ කිරීමය.
රාජ්‍ය සේවාව පිළිබඳ අපට මේ සටහන තබන්නට සිදු වන්නේ අද මේ රාජ්‍ය සේවාවේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාවට විඳින්නට සිදුව ඇති දරුණු වධ-හිංසා පිළිබඳ සලකන විටය. එයට ආසන්නතම උදාහරණය දුම්රිය වර්ජනයයි. ඊට කලින් තැපැල් වර්ජනයත්, සෞඛ්‍ය සේවයේ එන විවිධ වර්ජනත් නිදසුන් සේ සැලකිය හැකිය. මේ සියලු වෘත්තීය ක්‍රියාකාරකම්වලදී ඔවුන් සදාචාර සම්පන්න බව පිළිබඳ තුට්ටුවකට වත් මායිම් කරන්නේ නැත.
රාජ්‍ය සේවාවට සංකල්පීය වශයෙන් හෝ ව්‍යූහාත්මක වශයෙන් හෝ විවිධ වෙනස්කම් එක් කරන්නට පසුගිය කාලය තුළ විවිධ උත්සාහයන් දරා තිබේ. විශේෂයෙන් රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා තොරතුරු තාක්ෂණය පුළුල් ලෙස භාවිතයට ගැනීමට මේ වන විට පියවර ගණනාවක් ගනු ලැබිණි. මේ තාක්ෂණික පහසුකම් නිසා මේ වන විටත් බොහෝ දෙනකුට ආණ්ඩුවෙන් කරගත යුතු වැඩ රැසක් ඉතා පහසුවෙන් කරගත හැකි මට්ටමකට පැමිණ තිබේ. උප්පැන්න සහතික පිටපතක්, විදෙස් ගමන් බලපතක්, රියැදුරු බලපතක් හෝ වාහන ආදායම් බලපතක් ලබාගැනීම වැනි සුලබ සේවාවලදී ජනතාවට පෙර නොවූ විරූ අසීමිත පහසුවක් ලැබී ඇත්තේ මෙකී තාක්ෂණික පරිවර්තන නිසාය. මේ තාක්ෂණික අභිවර්ධනයට සමානව හදවතින් එන හැඟීම්බර කැපවීමක්ද ඊට දායක වන මිනිස් දෑත්වලට ලැබෙන්නේ නම් මේ කාර්යය තවත් කොතරම් ජනතාවට හෘදයංගම වනු ඇතිද යන්න රාජ්‍ය සේවයකයන් මේ මොහොතේ මෙනෙහි කිරීම වටී.
අද රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගය මෙයයි. අපට තාක්ෂණය අතින් කොතරම් පොහොසත්ව සිටියද අපට කොතෙක් බුද්ධිමතුන් සිටියද රාජ්‍ය සේවාව පිළිබඳ සලකන කල්හි එහි යන්ත්‍රණයට සිදු කළ යුතු අලුත්වැඩියාවන් අප හඳුනාගත යුතුව ඇත. 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ‘පැරණි රාජ්‍ය පරිපාලනයේ සිට නව රාජ්‍ය සේවාවක් දක්වා’ නමින් සවිස්තරාත්මක වාර්තාවක් සකස් කළේය. එහි ගැබ්ව ඇති කරුණු සම්පිණ්ඩණය කරතොත් එයින් කියවෙන්නේ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල රාජ්‍ය සේවා ආකෘතිය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් විය යුතු ස්වභාවයයි. යටත්විජිතවාදි වික්ටෝරියානු ආභාසයෙන් අප ලද රාජ්‍ය පරිපාලනය වෙනුවට රජ්‍ය සේවාවක් - එනම් මහජන සේවාවක් - ලබා දෙන ආකාරයට වෙනස් කිරීමයි. මේ වාර්තාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළ ඇමෙරිකානු රාජ්‍ය සේවාව පිළිබඳ පර්යේෂකයකු සහ විද්වතකු වන මාක් රොබින්සන් පවසන්නේ ඕනෑම රටක යහපත් රාජ්‍ය පාලනයකදී එය හසුරුවන මහජන සේවකයා මහජනතාවට තම සේවාව උපරිමයෙන් සලසන්නකු බවට පත් කිරීම සැම පාලන ව්‍යූහයකම නිර්ණායකයක් විය යුතු බවයි. එය හරියට සෑම ආහාරයකදීම ඊට ආවේණික රසය මුසු වන ලෙසට එක් කරන ද්‍රව්‍යයක් මෙන් විය යුතු බවත්, මේ මුසුව නිසි ලෙස නොපෑහුණොත් ඒ ආහාරය නිරස වන්නා සේ, සෙසු කවර සාධක එක් වුවද අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවත් ඔහු පවසයි.
අපේ රටේ රාජ්‍ය යන්ත්‍රණය තුළ අද සිදු කෙරෙන ව්‍යූහාත්මක වෙනස්කම්වලදී මේ කරුණට ප්‍රමුඛත්වයක් හිමිව තිබේද? යන්න ප්‍රශ්නයක් වන්නේ රටේ සමස්ත ජනතාව අද මේ රාජ්‍ය සෙවාවේ නියැළෙන්නන්ගේ විවිධ ප්‍රශ්න නිසා විඳින දුක්-ගැහැට දකින විටය. අද කාට වත් මෙල්ල නොවන වෘත්තීය සමිති බිහි වන්නේත්, ඒවා පෝෂණය වන්නේත් ‘පෙන්ෂන් මානසිකත්වයේ’ සිර වුණු, ප්‍රගතියට නොකැමැති මිනිස් මොළ නිසාය. මේ මොළ සේදුමකට ලක් කරන, අපට ගැළපෙන සේදුම්කාරක බොහෝය. අප මේ කතා කරන්නේ රජය තවත් උපාධිධාරීන් විසිදහසක් අලුතින් රාජ්‍ය සේවාවට බඳවාගන්නට තීන්දුවක් ගෙන අැති මොහොතකය. එහෙයින් මේ පිරිස වත් ඉහත කී ‘පෙන්ෂන් මානසික්තවය’ සේදුම්කරණයට ලක් කොට රාජ්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කරගත හොත්, අඩුම තරමින් අනාගතයේ වත් මෙවැනි අභාග්‍යයකට අප ජාතියක් ලෙස මුහුණ නොදෙනු අැත.