
පිලිපීන ජනාධිපති ඇන්තෝනියෝ ඩුටර්ටේ ලෝකයේ පුවත් මවන්නකු බවට පත් වන්නේ රටක රාජ්‍ය නායකයකු වීම නිසාම නොවේ; ඔහු මෑත කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ස්ථාවරයක සිට මතට එරෙහිව ක්‍රියා කළ ප්‍රායෝගික නායකයකු වීම නිසාය. ඔහුගේ මේ මත්ද්‍රව්‍ය සටන දෙස ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය මුල සිටම බැලුවේ වපර ඇසකිනි. එහෙත් පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි ඇතැම් මාධ්‍ය විසින් ඔහු වෙත එල්ල කළ නිර්දය විවේචන තඹයකට මායිම් නොකොට තම ස්ථාවරයේ පිහිටා දිගටම කටයුතු කරගෙන ගියේය. ඒ නිසාම මේ වන විට පිලිපීනයට මත් උවදුරින් සෑහෙන දුරට බේරෙන්නට හැකිව තිබේ. අප ඩුටර්ටේ මෙවර කතුවැකියට පදනම් කරගත්තේ ඔහු පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කළ නිසාය. ඩුටර්ටේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ මතට එරෙහි වැඩපිළිවෙළ පසසා තිබූ අතර, ශ්‍රී ලංකාව පිලිපීනයේ ආදර්ශය ගත් රටක් ලෙස අගය කොට තිබිණි.
මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ තලයේ වඩාත් කතාබහට ලක් වන මාතෘකාව බවට පත්ව ඇත්තේ මත්කුඩු ජාවාරමයි. ඒ සම්බන්ධයෙන් මරණ දඬුවම යළි ගෙන ඒම පිළිබඳ කතිකාවද අද සෑම තලයකම පුළුල් කතාබහකට ලක්ව ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදු කෙරුණු විමර්ශනවලදී හෙළි වූයේ ශ්‍රී ලංකාව ලෝකයේ මත්කුඩු ජාවාරමේ තොටුපළක් ලෙස ක්‍රියාත්මක වන බවය. විශේෂයෙන් පසුගිය කාලයේ සීනි සමඟ හසු වූ කොකේන් විශාල තොග සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී මේ බව තහවුරු විය. මේ ජාවාරම තවත් අතුපතර විහිදෙන්නට මෙරට ක්‍රියාත්මක වන පාතාල ජාලයේ ක්‍රියාකාරිත්වයද බෙහෙවින්ම බලපා තිබේ. අන්තර්ජාතිකව පවත්නා මේ ජාලය ලොව මහා බලවතුන්ගේ සිට ගමේ තරුණ ගැටවු දක්වා පුළුල් පරාසයක අද විහිදී ඇත. මේ ජාලය ක්‍රියාත්මක වන්නේද අන්තර්ජාතික මට්ටමේ බුද්ධිමය ක්‍රමෝපායයන්ට නතුවය. ඔවුහු එකිනෙකා නොහඳුනති. ජාලයේ එක් පුරුකක් කවර හෝ හේතුවක් මත නීතියේ රැහැනට හසු වුවද මේ ජාවාරමට බිඳකුදු හෝ බාධාවක් නොවන ලෙස එය සම්පූර්ණ කරන්නට තරම් සංවිධිත ව්‍යූහයක් පවතී. ඩුබායි වැනි රටවල සිට මත්කුඩු ජාවාරමත් පාතාලයත් මෙහෙයවන ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ චක්ගෝලයන් පසුගිය කාලයේ පොලීසියට පවා වෙඩි තබන හෝ දුරකතනයෙන් තර්ජනය කරන හෝ මට්ටමට බලවන්ත ස්වභාවයකට ආරූඪ වී තිබිණි. මේ තත්ත්වය අපට සිහි ගැන්වූයේ කොලොම්බියාවේ කලක් පැවැති මත්කුඩු මාෆියාවට මුළු රටම හසු වන තැනකට පත් වනවා බඳු තත්ත්වයකි.
එහෙත් පසුගිය කාලය තුළ රජය මේ සම්බන්ධයෙන් කෙළින් සිටීම මේ රටේ ජනතාවට අස්වැසිල්ලක් වී තිබේ. පාතාලයට සහ මත්කුඩු ජාවාරමට එරෙහිව මේ වන විට දියත්ව ඇති මෙහෙයුම්වලින් ජාවාරම්කාරයන් හෙල්ලුම් කන තත්ත්වයකට පත්ව ඇත. ගෙවුණු දින කිහිපය තුළ මේ රටේ ජනතාව කිසි ලෙසකින් වත් නොසිතූ පළාත්වලින් පවා කුඩු කිලෝ සිය ගණන් හසුවීමම මේ මෙහෙයුම්වල සාර්ථකත්වය මොනවට පෙන්නුම් කොට ඇත. විශේෂයෙන් නැඟෙනහිර පළාතේ සාම්පූර්, සේරුනුවර, වාකරේ වැනි ප්‍රදේශ පවා මේ ජාවාරමේ ග්‍රහණයට හසුව ඇති බව හෙළි වන්නේ මේ සමඟය. මෙවැනි සැඟවුණු ප්‍රදේශ මෙන්ම අප නොසිතන ආකාරයේ මේ පසුපස සිටින ජාවාරමුන්ද එකිනෙකා දැන් මේ දැලෙහි පැටලෙන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.
ප්‍රශ්නය වන්නේ මේ ජාවාරම හුදෙක් මේ දූපතට පමණක් සීමාව ක්‍රියාත්මක වන්නක් නොවීමය. එය හුදෙක් මෙහෙයවෙන්නේ වැලිකඩ සිරගෙදර සිට පමණක් නොවේ. මේ සිරමැදිරිවල සිටිනුයේ මේ මහා ජාවාරමේ පසුපෙළේ සිටින්නෝය. මෙහි මෙහෙයුම් හස්තයන් බොහෝ විට යුරෝපයේ, මැදපෙරදිග හෝ ලෝකයේ වෙනත් රටක කේන්ද්‍රීය වන්නට ඉඩ ඇත; ලෝකයේ රාජ්‍ය තාන්තික ක්‍රියාවලීන්ට සමපාතව මේ ජාවාරම්ද නවීන තාක්ෂණය, නවීන බුද්ධි සේවා උපක්‍රම මෙන්ම ඇතැම් විට චන්ද්‍රිකා තාක්ෂණය පවා මනාව උපයෝගි කරගන්නවා වන්නට පුළුවන. අපේ මත්ද්‍රව්‍ය මෙහෙයුම දියත් කරන්නට වන්නේද එවැනි පසුබිමකය.
ශ්‍රී ලංකා භූමියේදී මේ අභියෝගය ජය ගන්නට සමත් යාවත්කාලීන වූ දක්ෂ ආරක්ෂක අංශයක් අපට සතු වීම එක්තරා අභිමානයකි. ඔවුන්ට එක් අතකින් පාතාල අපරාධ මට්ටු කරන ගමන් අනෙක් අතින් ඒ සමඟ ඈඳුණු මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ හෙට්ටු වන්නට සිදුව තිබේ. ඔවුන්ට මේ මොහොතේ ලැබෙන දේශපාලනික සවියද ඒ කාර්යයයේදී අතිශයින් වැදගත්ය. වෙසෙසින්ම ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද එකම වේදිකාවක සිට කටයුතු කරනු දැකිය හැකිය. මත්කුඩු ජාවාරම්කරුවන්ට යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ලද ප්‍රතිචාරයෙන් ඒ බව පැහැදිලිය. එසේම පාතාලයට සම්බන්ධ ඇතැම් අපරාධකරුවන් අමාත්‍යවරයකුගේ සමීපතමයන් බවට නැඟුණු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයද සමාජයට අලුත් බලාපොරොත්තුවක් දී ඇත. ඇතැම් කාලවකවානුවල ඇතැම් නායකයන්ගේ සහචරයන් පිළිබඳව මාධ්‍යවලින් මෙවැනි හෙළිදරවු කිරීම් පිට හෙළිදරව් කිරීම් සිදු වත්දීත් නෑසුණු කනින් සිනා මුසු මුහුණින් සිටි නායකයන් වෙනුවට, වත්මන් නායකයන් වෙතින් මෙවැනි ක්ෂණික ප්‍රතිචාර පළ වීමත්, ඒ සමඟ ප්‍රායෝගිකව සිදු වන ක්‍රියාදාමයනුත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නීතිය යුක්තිය පිළිබඳ අන්තර්ජාතික තලයේ විශ්වාසයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත.
දැන් කළ යුත්තේ මේ ආරම්භ කළ ගමන යම් නිමාවක් දක්වා ගෙන යෑමය. එය මේ රටේ සමස්ත ජනතාවගේම වර්තමාන පැතුම වී ඇත.