
දොළොස්වන ශතවර්ෂයේ පොළොන්නරුවේ සිට ලංකාව පාලනය කළ, බුදු දහමේ ආභාෂය ලැබූ කීර්ති නිශ්ශංක මල්ල රජතුමා විසින් රුවන්වැලි සෑ භුමියේ සිටවන ලද ගල් පූවරුවක මෙසේ ලියා ඇත. “මේ ස්ථානයේ වයන ලද බෙරයක ශබ්දය ඇසෙන දුර ඇතුළත භුමිය තුල සතකුගේ දිවි තොර කළ යුතු නැත”
ගෙවී ගියේ පොසොන් උත්සව සමය ය.
කූටදන්ත සුත්‍රය අනුව බුදු දහමෙන් පෙන්වා දෙන්නේ, ආණ්ඩුව හෝ රජයක් මඟින් ගස් වැල් සතුන් සහිත අනෙක් ජිව ගෝලය ආරක්ෂා කිරීමේ වැදගත්කම වේ යනුවෙනි.
පොසොන් වනාහී ශ්‍රී ලංකාව තුළ සිදු වූ අසිරිමත් ම විප්ලවයේ ප්‍රතිපලයයි.
එය සමරනු වස් රට පුරාත්, ප්රමුඛකොට අනුරාධපුරය පුරාත් උත්සවශ්‍රීයක් ගෙන තිබිණි. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අනුරපුර පොසොන් වන්දනාවට එක් වූහ.
සතියක් ඉක්ම ගිය කල්හි 'උත්සව සමය' නිමා විය.
දැන් එහි ශේෂ වූ දෑ බොහෝ ය.
පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් සහ බඳුන් සිද්ධස්ථාන අවට ද මඟ දෙපස ද කඳු ගැසී තිබේ. මිහින්තලේ සහ අනුරාධපුර ප්‍රදේශවල වන්දනා සමයෙන් පසුව වැව් පිටි පරිහරණය කළ නොහැකි මට්ටමට දූෂණය වී ඇති බවට ගම්මු සාක්ෂි දරති. පිට පළාත්වලින් පැමිණෙන ලක්ෂ ගණනක් වු ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම මේ තත්ත්වයට බලපෑ එක් හේතුවකි. එහෙත් දරා නොයන අපද්‍රව්‍ය දමා යෑම ශිෂ්ටත්වය පිළිබඳ ගැටලුවකි.
බුදු දහම යනු පරිසර සංවේදී දැක්මක් සහිත සාර දර්ශනයකි. බුදුන් වහන්සේ රුක් මුල වැඩ සිටීමට ඉමහත් කැමැත්තක් දැක්වූහ. වනාරෝප සූත්‍රයට අනුව වන උයන් වැවීම දිවා රාත්‍රී දෙකෙහිම පි වැඩෙන ක්‍රියාවකි. එසේ නම් බෞද්ධයන්ගේ යුතුකම හා වගකීම වන්නේ තිබෙන වන උයන්වත් ආරක්ෂා කිරීම ය.
'ආනන්දයෙනි, සුළඟින් සැලුණු ඒ තාල වෘක්ෂ පන්තීන්හී මිහිරි වූ ද, සිත් අලවන්නා වූ ද, සිත් මත් කරන්නා වූ ද හඬෙක් වෙයි'
බුදු හිමි වරක් ආනන්ද හිමිට දෙසූහ. යම් තැනෙක දිය බී ඊට මල පහ කරන්නේ නම් හෙතෙම සිවලෙකි' කියා පරිවාර පාලියෙහි වෙයි.
ගමන් බිමන් වලදී ගෙන යන නොදිරන බඳුන් සහ පොලිතීන් ආපසු රැගෙන යෑමේ පුරුද්ද ඇත්තේ සුළු පිරිසකට ය. ඇතැම්හු හිස්වූ වීදුරු බෝතල් විනෝදයට ගලේ ගසා විසුරුවා දමති. මේවා පයෙහි ඇනීමෙන් දුකට පත්වන්නේ ද තවත් මිනිසකු බව නොසිතති.
වන්දනා සමයෙන් පසුව කසළ කඳු ඉවත් කිරීම සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙයි. මෙයින් හැඟෙන්නේ එක් පිරිසක් කරන වරදකට සමස්ත ජනතාවගේ බදු මුදලින් වන්දි ගෙවීමට සිදුව ඇති බව ය. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි.
පසට එක්වී ඇති පොලිතින් ප්‍රමාණය අනුව බලන විට දශක කිහිපයක් යන තුරු ප්‍රකෘති තත්ත්වයට පැමිණීම වැලකෙනු නිසැක ය.
වන්දනාවේ යන වැඩිහිටියන්ගෙන් දරුවන්ට ලැබෙන්නේ නරක ආදර්ශයකි. මෙය වැඩිහිටියන්ගේ චින්තන ක්‍රමයේ ඇති වරදකි. ආගම් භක්තිය තිබූ පමණින් චරිත හැඩගැසීමක් ඇති වේ යැයි නොසිතිය යුතුය.
බුදු සමය සහ ලාංකිකයාගේ ජීවිතය ගැන සුහඳ හා ගැඹුරු හැඟීමෙන් කරුණු දැක්වු හෙළයේ මහ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ මෙසේ ලිවීය.
"මෙකල දරුවන්ට උගන්වනු ලබන්නේ බුදුන් වහන්සේ උත්තර මනුෂ්‍යයකු ලෙස කරන ලද ආත්ම පරිත්‍යාගය, ආත්ම සංයමය, සතුරන්ටත් පාපීන්ටත් දිළින්දන්ටත් දක්වන ලද මහා කරුණාව, දයාව, ආදී අපිස් ගුණ හා සාදු ගුණ ද දැක්වෙන චරිතාංග නොවේ. බුද්ධ චරිතයෙහි ඒ උත්තමාංග කියවන අප තුළ ඇති වන්නේ දැඩි සිත් වේදනාවකි; කුමක් නිසාද? ඒ චරිතාංගයන්ගෙන් දැක්වෙන අපිස් ගුණ හා සාධු ගුණ මෙකල අප නොසලකන, නුපුරන බැවිනි."(ආගම කවචයක් නොවේ_බුදු සමය හා සමාජ දර්ශනය)
බුද්ධ චරිතයෙහි උත්තම ගුණාංග පිළිබඳ දරුවන්ට ආදර්ශයක් ලැබීමට නම් වැඩිහිටියන්ට ඒ ගැන හැඟීමක් තිබිය යුතුය. පින්රැස් කිරීම හා පහන් සංවේගය පිණිස වන්දනා ගමන් යන වැඩිහිටියන් පුද බිම් අවට වෙසෙන ජනතාවට හා ඔවුන් ජීවත් වන පරිසරයට විශාල හානියක් කරන්නේ නම් ඒ ආදර්ශය ලබන දරුවන් අනාගතයෙහි පරිසර නාශකයන් වීම වැලැක්විය නොහැකිය. එහෙයින් මේ පොසොන් සමයෙහි වන්දනා ගමන් යන්නෝ සම්‍යක් දෘෂ්ටිය ලබත්වා!
ලොව සාගරයට අපද්‍රව්‍ය හෙළා සයුර දූෂණය කරන රටවල් අතරින් අපේ රට පස් වැනි තැනට පත්ව තිබේ. ශ්‍රී ලාංකිකයන් හැටියට අප ඒ ගැන ලැජ්ජා විය යුතුය. සීයට හැත්තෑවක ප්‍රතිශතයක් බෞද්ධයන් ජීවත් වන රටක අන් අයට හිරිහැර වන පරිදි ආගමික චාරිත්‍රවල යෙදීම සම්බන්ධයෙන් අප ඊටත් වඩා ලැජ්ජා විය යුතුය. බෞද්ධයාගේ වටිනාකම ඇත්තේ වත්පිළිවෙත්වල නොව ආධ්‍යාත්මික වටිනාකම්වල ය. මේ ගැන සිතා බලන්නට පොසොන් සමය වැදගත් කාලයකි.
ගසක් යට ඉපිද, ගසක් යට විමුක්තිය අවබෝධ කරගත්, ගසක් යට අවසානය සිදු වූ ශ්‍රාස්තෘවරයෙක් වේද, ඒ බුදුන් වහන්සේ මිසක අන් කවරෙක් හෝ නොවේ. එහෙවු ශිෂ්ටතමයකුගේ දහමින් පෝෂණය වූ මිනිස්සු 'මේ සා බිහිසුණු ලෙස පරිසර සංහාරය කරනවා නම් එහෙව් මිනිසුන් කවරෙක්ද?