බොරවෙන දියේ මාළු බෑම | සිළුමිණ

බොරවෙන දියේ මාළු බෑම

මහ බැංකුවේ සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාව සමස්ත දේශපාලනය ම තල්ලු කර ඇත්තේ අර්බූදයකට ය. මහ දවල් මහ බැංකුව මංකොල්ල කෑම යැයි බර හඩින් ඇතැමුන් එය විවේචනය කළත් පොදුවේ ගත්විට එම සිදුවීම සමස්ත දේශපාලන අවකාශය ම තල්ලු කර ඇත්තේ අර්බූදයකට ය.

මේ පිළිබඳ දිනෙන් දින නිර්මාණය වන ප්‍රවෘත්ති නිසලව ගලාගිය රටේ දේශපාලනය ගිනියම් කිරීමට සමත්වී තිබේ. එම තත්ත්වය තුළ නැඟෙන එම චෝදනා සියල්ල සත්‍යයදැයි සෙවීම පවා අවුල් ජාලාවක් වී තිබේ. කෙසේවෙතත් මහ බැංකුවේ සිදුවී ඇතැයි චෝදනා එල්ල වූ මහා වංචාව වීසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවා තල්ලු වී ඇත්තේ කනගාටුදායක තත්ත්වයකට ය.

මහ බැංකු බැදුම්කර අළෙවියේ දී මූල්‍ය වංචා සිදුවීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූවකි. එහෙත් එවැන්නක් මහජන අවකාශයේ සාකච්ඡාවට ලක්වන්නට තරම් එළියට ආවේ අර්ජුන් ඇලෝසියස් සිද්ධියෙනි. මීට පෙර බැදුම්කර අළෙවි කර ඇත්තේ ප්‍රසිද්ධ වෙන්දේසියේ නොවේ. තම හිතවතුන්ට මෙවැන්නක් සිදුවන බව පවසා බැදුම්කර වලට මිලක් ලබා ගැනීම කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ ක්‍රියාවකි. එවිට මූල්‍ය අක්‍රමිකතා කොහොමත් සිදුවේ. නමුත් එවැන්නක් සිදුවන බව හදුනා ගැනීමට පවා හැකිවූයේ වත්මන් සම්මුතික ආණ්ඩුව ආ පසු මහ බැංකුවේ බැදුම්කර ප්‍රසිද්ධ වෙන්දේසියේ අළෙවි කරන්නට ආරම්භ කළ නිසා ය.

අදුරේ පවතින කාමරයක සිදුවන රතී කෙලියක් පිටත නරඹන්නන්ට බලාගත හැක්කේ කාමරයට එළියට ලැබුණහොත් පමණි. අදුරේ පවතින තාක් කාමරයේ සිදුවන කිසිවක් බැහැරට නොපෙනේ. එහෙත් කාමරයට ආලෝකය ලැබුණ වහා ඇතුළත සිදුවන සියල්ල පිටතට දෘෂ්‍යමාන වේ. එමඟින් කියැවෙන්නේ කාමරය අදුරේ පැවැති තාක් එතුළ කිසිවක් නොසිදුවූ බව නොවේ. නරඹන්නෝ කාමරයට ආලෝකය ලැබුණ වහා මජර හා අශ්ලීල ලෙසින් කාමරය තුළ සිදුවන දෑ දැක විග්‍රහ කරනවා මිස මෙතෙක් සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට මහන්සි නොවේ. අදුරේ වේවා ආලෝකයේ වේවා පවතින කාමරයක සිදුවන අතිශය පෞද්ගලික හැසිරීම් දෙස බැලීම කෙතරම් නම් අශ්ලීල ද ඒ පරිදිම දේශපාලන අවකාශයක අතීතයේ සිදුවූ දෑ අමතක කිරීමත් අශ්ලීල ය. ඒ අර්ථයෙන් ප්‍රසිද්ධ වෙන්දේසියේ බැදුම්කර නොවිකුණූ කාලයේ අනිවාර්යෙන් සිදුවූ බැදුම්කර වංචා හෙළි නොකිරීම අශ්ලීල ය.

මූල්‍ය වංචා සිදුවීමල සිදුවූ අන්දම, ඒවා වැළැක්වීම අත්‍යවශ්‍යයෙන් ම සොයා බැලිය යුතුය. එසේම ඒවාට වගකිවයුත්තන්ට දඩුවම් කළ යුතුය. එසේම අනාගතයේ දී මෙවැන්නක් සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතුය. එය රාජ්‍යයක සුජාතභාවය සදහාත් යුක්ත යුක්තිභාවය සදහාත් අවශ්‍ය ම සාධකයකි. ඒ සඳහා මහන්සි වී අපරාධ මර්දනය කරන ක්‍රමවේදයත් යුක්තිය පසිදලීමේ ක්‍රමවේදයත් ශක්තිමත් කළ යුතුය. එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් උනන්දුවෙන් කතා කරන කිසිවකුට හෝ එවැනි පරමාදර්ශී ආකල්පයක් ඇතැයි පෙනෙන්නට නැත.

ඊටත් වඩා බරපතල වන්නේ රටේ දේශපාලන අවකාශයත් පාර්ලිමේන්තුවත් අර්බූදයකට තල්ලු කිරීමට තරම් එක් මූල්‍ය අපරාධයක් ශක්තිමත්වීම ය. එය තනි සිද්ධියක ප්‍රතිඵලයක් ම නොව දීර්ඝ කාලයක් තිස්සේ පරමාදර්ශී ආයතනවල කඩා වැටීමේ ප්‍රතිඵලයකි. උදාහරණයක් වශයෙන් සැලකුවහොත් එදා මහජන පරමාධිපත්‍යය නියෝජනය කරන උත්තරීතර ව්‍යවස්ථාදායකය සකස් වී තිබුණේ ගරු කටයුතු අන්දමිනි. ඊට තේරී පත්වූ නියෝජිතයන්ගේ අරමුණ වූයේ ලාබ ඉපයීම නොව සමාජයට සේවයක් කර කීර්තියක් අත් පත් කර ගැනීමයි. එහෙත් 1978 දී ප්‍රාග්ධනය මෙරටට ගලා එන්නට පටන් ගැනීමත් සමඟ උත්තරීතර ව්‍යවස්ථාදායකයේ මහජන ගරුත්වය ද බිද වැටීම ආරම්භ විය.

ඉන් පසුව මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වූයේ ලාබ ඉපයීම තම එකම අරමුණ කර ගත් පුද්ගලයන් ය. ඔවුන් නිර්ලජ්ජිතව සමාජ වටිනාකම් අහිමි කර ගනිමින් මහන්සි වූයේ ලාබ ඉපයීමට මිස සමාජ කීර්තිය දිනා ගැනීමට නොවේ. තවත් එක් උදාහරණයක් කිවහොත් එකල මහා මැතිවරණයක දී අපේක්ෂකයකුට නිදහසේ හැසිරිය නොහැකි ය. ඔවුන් යම් ආචාර ධර්මීය කොන්දේසි මාලාවකින් බැදී තිබුණි. එනිසා මැතිවරණ ව්‍යාපාරයක මුදල් වියදම් කිරීම හා අනෙකා විවේචනය කිරීම පවා පසු සලකා බැලීමකට ලක්වියග එහෙත් අද දේශපාලකයන් පවසන්නේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලැබුණ ආකාරය තමන් නොදන්නා බව ය. පිරිහීම කෙතරම් නම් අති විශාල ලෙස සිදුවී තිබේද?

අර්ජුන් ඇලෝසියස් සිද්ධියට පමණක් යුක්තිය ඉටු කිරීම ඊළග ආණ්ඩු කාලයක වෙනත් නමකින් වූ චෞරයකුට මහජන මුදල් වංචා කිරීමට අවස්ථාව ලබාදීමකි. එනිසා මූල්‍ය වංචාවට අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා අතරම කළ යුතුව ඇත්තේ මහජන නියෝජිතයන් පත් කර ගන්නා ආකෘතිය හා ක්‍රමවේදය වෙනස් කර ගැනීමයි. ව්‍යාපාරිකයන්ට තම ලාබ ලැබීමේ අරමුණෙන් දේශපාලනයට පැමිණ ව්‍යාපාරයන් කිරීමට පවතින අවස්ථාව අහෝසි කළ යුතුය. මහජන නියෝජනය මුදල් හම්බු කිරීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීමට පවතින අවස්ථා අහිමි කළ යුතුය. ඒ සදහා මහජන නියෝජන ක්‍රමය යළි කියවා බලා අලුතින් සකස් කරගත යුතුය.

දිය බොරවෙන ක්‍රමයක් අප විසින්ම නිර්මාණය කර දී තිබේ. එහෙත් මතු පිට සිට දිය බොරවෙනවා යැයි බොරුවට විලාප දෙන්නේ ද අප ම ය. කළ යුත්තේ අප ම අප රවටා ගැනීම වහා අත්හිටුවීම ය. සමාජය පතුලක් නොපෙනෙන අර්බූදයකට තල්ලුවීමෙන් වළක්වා ගත හැක්කේ එවිට ය.‍

Comments