
නව ආදායම් බදු පනත අද සිට ක්‍රියාත්මක වෙයි.
මේ පනත ගෙන ආ පසුබිම සලකන විට මූලිකව කරුණු තුනක් ඉලක්ක කරන බව පෙනී යයි.
බදු ගෙවිය හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින් නැති බැරි දුප්පත් අයට විඳින්නට සිදු වන බදු පීඩනය අවම කිරීම පළමු වන කරුණ වේ. ඍජු බදු 80%ක් හා වක්‍ර බදු 20%ක් යන අගය 60% හා 40% ලෙස වෙනස් කොට ක්‍රියාත්මක කිරීම මඟින් ඒ වෙනස ඇති කෙරේ. පෙර පැවති බදු ප්‍රතිශතය එදිනෙදා ජන ජීවිතයට, ජීවන වියදමට අහිතකර ලෙස බලපාන බව සනාථ වී තිබිණි.
දෙවැනි කරුණ එක් එක් ආයතනගත ව, විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වූ බදු අයකිරීම් හා බදු සහන ලබා දීම් එක ම තැනකින් පැහැදිලි ව, සරල ව ක්‍රියාත්මක කිරීමයි. දේශපාලන හිතවත්කම් හා වෙනත් පෞද්ගලික බලපෑම් මත බදු අය කිරීම් හා සහන ලබා දීම් නිසා ඇති වන අක්‍රමිකතා වැළැක්වීම ද මෙමගින් අරමුණු කෙරේ. නීතිය කාටත් එක සමානව හා සැමට සමාන අවස්ථා තිබීම තහවුරු කිරීමට ද මේ වෙනස ඉවහල් වේ.
රටේ පවතින අණ පනත් නූතන ලෝකයේ ගනුදෙනු සමඟ ද ගැළපෙන ලෙස යොදා ගැනීම ඉලක්කගත තෙවැනි කරුණ වේ. ආදායම් බදු පනත ඒ අනුව ගැළපීම මඟින් මහජනයාගේ එදිනෙදා ජන ජීවිතය පහසු කරන ගමන් වේගවත් ආර්ථික සංවර්ධනයකට ද මඟ පාදයි. රටක් ලෙස ඉදිරියට යෑමට බදු ආදායම ද ඊට ගළපා ගත යුතු ය.
අවසන් වශයෙන් ගත් කල රජයේ බදු ආදායම 11% පමණ සිට 15% ක් වත් ඉලක්ක කිරීම හෙවත් රජයේ බදු ආදායම ඉහළ නැංවීම නව බදු පනත මඟින් ඉලක්ක කරයි. පවතින බදු වැඩි කිරීමෙන් නොව අක්‍රමිකතා වළක්වා බදු අය කිරීම ක්‍රමවත් කිරීම මඟින් බදු ආදායම ඉහළ අගයකට ගැනීමට කටයුතු කිරීමට නියමිත ය.
කාටත් සමාන අවස්ථා සැලසෙන විනිවිදභාවයකින් යුතු බදු ක්‍රමයක් ඒකපාර්ශ්වීයව සාර්ථක කර ගත නොහැකි යි. බදු ගෙවන්නා මෙන් ම බදු වියදම් කරන රජය ද ඒ විනිවිදභාවයට දායක විය යුතු ය. ඒ අනුව විවිධ තැන්වලින් බදු සහන දීමට තිබුණු හැකියාව නැති කිරීම හා එයින් සිදු වෙතැයි පැවසෙන බදු අක්‍රමිකතා නතර කිරීමට ගත් පියවර දෙපාර්ශ්වයේ විනිවිදභාවයට රුකුලකි. අවසන් වශයෙන් වැදගත් වන්නේ රටට දැනෙන, පැහැදිලි ආර්ථික සංවර්ධනයකි. රජය තම බදු ආදායම සේවා හෝ සුබසාධන හෝ කටයුතු සඳහා වියදම් කරන අයුරු පැහැදිලිව පවත්වා ගැනීමත් බදු ගෙවන්නාටත් සාමාන්‍ය ජනතාවටත් දැනෙන ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය වෙයි. බදු ගෙවන්නාට ඒ වෙනුවෙන් ආඩම්බරයක් ඇති තැනට පසුබිම වෙනස් කරන්නට මේ නව පනත මඟින් බලාපොරොත්තු වීම රටට දැනෙන ආර්ථික සංවර්ධනයට අනුබලයකි. විශේෂයෙන් ම නව ආයෝජනවලට පිවිසෙන අලුත් පරපුරට ඒ විනිවිදභාවය අතිශයින් වැදගත් වන්නේ ඔවුන් අද තොරතුරු තාක්ෂණය සමඟ සමබන්ධ වී නව ලෝකය සමඟ නිරන්තර ගනුදෙනුවක නිරත ව සිටීම ද සැලකිල්ලට ගන්නා විට දී ය. පැහැදිලි සරල බදු ක්‍රමය දේශීය මෙන් ම විදේශ ආයෝජකයන්ට ද විචිකිච්ඡාවකින් තොරව තම ව්‍යාපාරය මෙහි ආරම්භ කිරීම ගැන තීන්දු කරන්නට මඟ පෑදීමක් වනු ඇත.
විශේෂයෙන් ම ඍජු බදු ප්‍රතිශතය අඩු කිරීම මඟින් එදිනෙදා ජන ජීවිතයට බලපාන බදු බර ලිහිල් කිරීමට ගත් පියවර දුප්පත් ලෝකයටත් සහනය දනවන්නට මගකි. එනම් මේ නව බදු පනත යටතේ බදු ගෙවන්නට හැකියාව ඇති අයට ආඩම්බරයෙන් බදු ගෙවන්නට පෙලඹවීමකුත් රටේ ආර්ථිකය දැන් හොඳයි යන හැඟීම සාමාන්‍ය ජනතාව අතර ඇති කිරීමටත් හේතු වනු ඇත.
පොහොසත් මිනිසුන් සිටින දුප්පත් ආණ්ඩුවක් වෙනුවට පොහොසත් ජනතාවක් සිටින පොහොසත් ආණ්ඩුවක් බිහි වීම තම ප්‍රාර්ථනාව බව මේ නව බදු පනත හඳුන්වා දෙමින් මුදල් හා ජනමාධය ඇමැති මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය ද මෙහිදී සිහිපත් කිරීම වටී.
ඇති තරම් මුදල් හම්බ කරන්නට හෝ හැකි තරම් ද්‍රව්‍ය රැස් කරන්නට පොලඹවන ලෝක ආර්ථික ප්‍රවණතාවක් හමුවේ, සතුටින් පොහොසත් සමාජයක් බිහි කරන්නට හෝ රටේ අනන්‍යතාව සමඟ ලෝකය සමඟ ඉදිරියට යන්නට හෝ කාටත් සාධරණ යි යන හඟීම ඇති වන බදු ක්‍රමයක් ද අත්‍යවශ්‍ය වේ.