සීමාන්තික නිදහස | සිළුමිණ

සීමාන්තික නිදහස

 ඖෂධ යනු රෝගී බව නසා, ගත සිත සුවපත් කරන්නට අවශ්‍ය ම ද්‍රව්‍යයකි. එනම් ඖෂධ යහපත් දෙයක් ලෙස පිළිගනු ලැබේ. එහෙත් එය වර්තමානයේ දී ඉහළ වෙළෙඳපොළක් සහිත භාණ්ඩයකි. සියයට සියයකින් ම විවෘත යැ යි පැවසෙන වෙළෙඳපොළක් වුව ද අද නිදහස් නොවන අතර, අදෘශ්‍යමානව හෝ එය‍ පාලනයකට යටත් බව රහසක් නො වේ. ‘ඖෂධ මාෆියාව‘ ලෙස ඇතැම් අවස්ථාවක දී අසන්නට ලැබෙන්නේ ඖෂධ වෙළෙඳපොළේ ක්‍රියාත්මක වනඑකී අදෘශ්‍යමාන පාලනය ගැන යි. එනම් විවෘත වෙළෙඳපොළේ දී පවා පාරිභෝගිකයාගේ නිදහස; තමාට ඇතැයි කියා පාරිභෝගිකයා විශ්වාස කරන නිදහස; තමා දන්නේ නැතිව ම කිසියම් පාලනයකට යටත් වෙයි. එනම්: යහපත් දෙයක් සම්බන්ධයෙන් වුව ද අයහපත් දෑ ක්‍රියාත්මක විය හැකි යි. ඖෂධ ගැනීමෙන් අතුරු ආබාධ ඇති වීමට හැකි අයුරිනි. ඖෂධ යහපත් දෙයක් යැ යි සිතා කිසිදු වගවිභාගයකින් තොරව ඒ ගැන විශ්වාසය තබන්නට නොහැකි බව වටහා ගෙන, අවබෝධයෙන් යුතුව පරිහරණය කළ යුතු වන්නේ එබැවිනි. නැති නම් වෙළෙඳපොළ වුවමනාව විසින් හෝ එහි අදෘශ්‍යමාන පාලනය විසින් හෝ නැති ලෙඩ හදා ඖෂධ මිල දී ගැනීමට පාරිභෝගිකයා පොලඹවනු ලබනු ඇත. එසේත් නැති නම් අතුරු ආබාධ විසින් තවතවත් ඖෂධ මිල දී ගැනීමට යොමු කරවනු ඇත.

යහපත් දේ ගැන වුව ද අඩු ම තරමින් ස්වයංපාලනයක් තිබීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. යහපත් දේ සම්බන්ධයෙන් වත් නිදහසක් නැති දැ යි අසන පැනයටත් ඒ ස්වයං විනය වැදගත් ය. තමා සම්බන්ධයෙන් තමාට පාලනයක් නැති, අසීමාන්තික නිදහස හෙවත් අන්තවාදය, ශිෂ්ටසම්පන්න සමාජයක ගති ලක්ෂණයක් නො වේ. ගොවියාට තමා කැමැති පොහොරක් යොදන ලෙස දන්වමින් පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දීමට ගත් පියවර ආසාර්ථක වී ඇතැයි පැවසෙන නිසා නැවත පොහොර ලබා දීමට රජය විසින් තීරණය කෙරිණි. අස්වැන්න වැඩි කර ගැනීම වෙනුවෙන් යහපත් ක්‍රියාවක් ලෙස පොහොර යෙදවීමට කලක් තිස්සේ පුරුදුව සිටින ගොවියා, තමාට නැවත පොහොර ලැබෙනවාට කැමැති වනු ඇත.

පොහොර යහපත් දෙයක් ලෙස පිළිගත්තා වුව ද, විශේෂයෙන් ම රසායනික පොහොර වගාවට යෙදවීමෙන් පොළොවට අයහපතක් සිදු වන බව ද සනාථ වී තිබේ. වගාවට කැමැති පොහොරක් යෙදවීම පිණිස මුදල් ලබා දීම සමඟ කාබනික ගොවිතැන ද ඉදිරියට ගත්තේ මෙබැවිනි. ‘වස විස නැති රටක් - ජාතික වැඩසටහන‘ මඟින් රසායනික යෙදවුම් නැතිව වී ඇතුළු අනෙකුත් බෝග වගා කරන්නට ගොවියා උනන්දු කෙරිණි. අස්වැන්න වැඩි කිරීමට පොහොර අවශ්‍ය ම ද්‍රව්‍යයක් වන නමුත් පොහොර යනු අන්තර්ජාතිකව ම වෙළෙඳපොළ සමග ගැටගැසී ඇති ඉහළ වෙළෙඳපොළක් සහිත භාණ්ඩයක් ද බැවින්, ගොවියාට තම වගාවට පොහොර යෙදවීමට ඇති කැමැත්තට හෝ නිදහසට මුවා වී, වෙළෙඳපොළ විසින් අදෘශ්‍යමානව හෝ පාලනය කරනු ලබන බව මේ සමඟ අවබෝධයට ගත යුතුව ඇත. එනම්: යහපත් දෙයක් ලෙස පිළිගන්නා පොහොර, සහනාධාරයක් ලෙස ම ලබන්නට අද නිදහස ඇතත්, එය අවබෝධයෙන් යෙදවීමට ගොවියාට වගකීමක් ඇත. රසායනික පොහොර නැතිව රටේ ගොවිතැන ඇනහිටිනවා ය කියන අයටත්, පොහොර සහනාධාරය ගැන සමාජය අවුස්සන හා එයින් ඇවිස්සෙන අයටත්, එකී වගකීමෙන් නිදහස් වන්නට නොහැකි ය.

සමාජ මාධ්‍ය භාවිතය හා එහි නිදහස පාලනය කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ එක් පැතිකඩක් නො වේ. ජන සමාජයේ එකිනෙකා භේදභින්න කරවන, එකිනෙකා අතර ගැටුම් ඇති කරවන, වෛරී අදහස් පැතිර යෑම වැළැක්වීම පිණිස සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පාලනයක් ඇති කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. මාධ්‍ය නිදහස යනු යහපත් දෙයකි. සමාජ මාධ්‍ය එවැනි පාලනයකට යටත් කිරීමේ දී විවෘත ලෝකයේ තමන් භුක්තිවිඳින මාධ්‍ය නිදහස ඇහිරීයෑම ගැන, යහපත් දේට වැට බැඳීම ගැන, පිරිසක් උරණ වෙති. සමාජ මාධ්‍ය ප්‍රධාන සාධකය කරගනිමින් මේ වන විට මාධ්‍ය ලෝකය අසීමිතව නිදහස් වී ඇතැයි ඊට ඇබ්බැහි වූ අයට හැඟී ගියත් ඇත්තට ම එවැනි නිදහසක් ලෝකයේ කොතනකවත් නැත. මේ මාධ්‍ය භාවිතය වෙළෙඳපොළේ අංගයක් වන නිසා, ඖෂධ හා පොහොරවලදී මෙන් එහිදී ද අදෘශ්‍යමාන පාලනයකට එමගින් සමාජය යටත් කරයි. එවැනි පාලනයක අරමුණු වටහා ගැනීමනොහැකි සමාජයකට, නිදහස දරා ගන්නට තරම් ශක්තියක්, ශිෂ්ට සම්පන්න බවක් නැති සමාජයකට, සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස පාරාවළල්ලක් වන්නේ ඖෂධවල අතුරු ආබාධ මෙන්, පොහොර මුළු සොබාදහමට ම අතුරු ආබාධ ඇති කරන අයුරින් විය හැකි ය. මානව නිදහස නාමයෙන් අන්තවාදයකට යෑම සංස්කෘතික පොළොවෙන් ගැලවී, අහසේ පා වෙන සමාජයක් බවට පත් වීමට හේතු වන අතර, අගක් මුලක් නැති එවැනි සමාජයක් රට - රටවල ඇති කර ගැනීම සමාජ මාධ්‍ය අයිතිකරුවන්ගේ ඉලක්කය විය හැකි ය.

අනෙක් අතට ජන සමාජයේ බෙදීම් වපුරන වෛරී ප්‍රකාශන පැතිරීම සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදු වුව ද ඒවා හට ගන්නේ මේ පොළොවේ දේශපාලන භාවිතය නිසා බව ද මෙහි දී අවබෝධයට ගත යුතු යි. මාධ්‍ය භාවිතයේ දී අතිශයෝක්තියට නැඟෙන්නේ දේශපාලකයන් විසින් පොළොවට අතහරිනු ලබන වෛරී ප්‍රකාශන ය. එබැවින් සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස ඉල්ලා සිටින අයත්, එහි පාලනයෙන් සියලු ප්‍රශ්න විසඳන්නට හැකි යැ යි කල්පනා කරන අයත්, තමාට දැනටමත් වගකීමක් මඟහැරී ඇති බව අවබෝධ කර ගැනීම වටී. නිවැරදි කර ගත යුතුව ඇත්තේ එතැන යි; තමන්ව යි.

Comments