පක්ෂ දේශපාලනය අබිබවන 70 වැනි නිදහස් සමරුවේ අරුත | සිළුමිණ

පක්ෂ දේශපාලනය අබිබවන 70 වැනි නිදහස් සමරුවේ අරුත

ශ්‍රී ලංකාව අද 70 වැනි නිදහස් දිනය සමරයි. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී දශක හතක් ගෙවී ඇති මේ අවස්ථාවේ අතීත මායිම්ගල ගැන අවධානයට ගැනීම අවශ්‍ය ම කාරණයකි. ඒ පසුපස ලක්ෂ්‍යය අනාගතය ලකුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන බැවිනි; දශක හතක් තිස්සේ පසු කළා වූ වැරදි-නිවැරදි මංසන්ධි, නිදහස් ලෝකයට ගමන් කිරීමේ දී ද අත්දැකීම් හෝ පාඩම් හෝ වනවා මිස, යල්පැන ගිය කතා පෙළක් නොවන බැවිනි. පෙරදිග සංස්කෘතියට අනුව ඉතිහාසය යනු හැමදාට ම වැදගත් වන අතීත සිදුවීම් වේ.

අනෙක් අතට ඉතිහාසය නැවත නැවත සිදු වෙයි නම් ඒ වැදගත් සිදුවීම් සැමරීම හෝ මෙනෙහි කිරීම හෝ ඉදිරිගාමි ගමනට වටිනාකමක් ලැබීමට හේතුවක් මිස, අතීතයට හැකිළීමක් ද නො වේ. ජාතික නිදහස ගැන කතා කරන විට 2018 වසර ශ්‍රී ලංකාව කිසි විටෙකත් අමතක නොකළ යුතු මංසන්ධියක් සිහිපත් කරයි. 1818දී සිදු වූ ‘උඩරට කැරැල්ල‘ හෙවත් ජාතික නිදහස් අරගලයට වසර 200ක් සපිරෙන්නේ මේ වසරේ දී වීම ඊට හේතු වෙයි. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නැඟුණා වූ එකී නිදහස් අරගලයට පාදක වූ හේතු-කාරණා 70 වැනි නිදහස සමරන අවස්ථාව වන විට මඟහැරී ඇති ද, නැති නම් ඒ හේතු කාරණා අදට වලංගු නැති ද, එසේ ම එය අනාගතයට ප්‍රයෝජනවත් විය හැකි ද, යන අවබෝධයට පැමිණීම පිණිස මේ අවස්ථාව සිහිපත් කිරීම වැදගත් ය.

ඒ ජාතික සටන මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනුගමනය කරන ලද ක්‍රෑර ක්‍රියා පිළිවෙත ලෝකයේ සිදු වූ දැවන්ත ම මානවහිමිකම් කඩ වීමක් හැටියට ද පිළිගැනේ. ලෝකයේ බොහෝ රටවල් ජාතික නිදහස දිනා ගැනීම ලෙස සලකන්නේ යුද්ධයකින් යටත් කර ගත් තම මවුබිම ආක්‍රමණිකයාගෙන් යළි නිදහස් කර ගැනීම යි. එහෙත් 1948 දී ලැබුණු නිදහස අරගලයකින් තොර වූවක් වන බවත් එක්තරා පන්තියක් අතට ලැබුණු දේශපාලන නිදහසක් පමණක් බවත් කියවේ.

එමෙන් ම සමකාලීන දේශපාලන අර්බුද හමුවේ ප්‍රායෝගික ව කළ යුතු ව තුබුණු දේ හැටියට, 1815 දී ආරක්ෂක ගිවිසුමකින් බ්‍රිතාන්‍ය පාලනයට රට පවරා දුන් බවත්, එකී ගිවිසුම කඩ කිරීම නිසා ජාතික නිදහස් අරගලය 1818 දී දියත් වූ බවත් කියැවේ. අරගලයකින් තොරව 1948 දී ලැබුණු දේශපාලන නිදහස සමකාලීන අර්බුද හමුවේ ස්වදේශික දේශපාලකයන් විසින් ගන්නා ලද ඥානාන්විත පියවරක් බවත්, එය 1818දී දියත් කෙරුණු ජාතික නිදහස් අරගලයේ ම තවත් අවස්ථාවක් හෝ මංසන්ධියක් හෝ ලෙස ගත හැකි බවත් පැවසෙන අදහස ඉදිරි ගමනට බාධා නොවන සුබවාදි දැක්මකි. වැදගත් ම කාරණය වන්නේ එක් එක් කණ්ඩායම්වලට හෝ දේශපාලන පක්ෂවලට හෝ බෙදා ඒ එකිනෙකා ගත් පියවර හා වෙනස් න්‍යායපත්‍ර අතැති ව වාද-විවාද කිරීම මගින් ගෙවුණු දශක හතේ දී රටක් ලෙස ලබා ගත් යහපත් ප්‍රතිඵලයක් නැති බව අවබෝධයට ගැනීම යි. ආර්ථිකව ගත් කල අධිරාජ්‍යවාදීන්ගේ වාසිය සඳහා ඇති කළා වූ ‘තේ-පොල්-රබර්‘ ආර්ථිකයෙන් වෙනස් ව, ජාතික ආර්ථිකයක් ගැන හිතන්නට තව මත් හැකි වී නැත.

වෙනස් වන ලෝක සිතියමේ තම අනන්‍යතාව ලකුණු කළ හැකි නිෂ්පාදන-කර්මාන්ත ගැන හිතන්නට හැකි අධ්‍යාපන ක්‍රමයක් සකසා ගන්නට තවමත් හැකි වී නැත. බ්‍රිතාන්‍ය පාලකයන් එදා අත්හදා බැලීමක් ලෙස හඳුන්වා දුන් දේශපාලන පක්ෂ ක්‍රමය හා ඡන්ද ක්‍රමය, ශ්‍රී ලාංකික ජන සමාජය එකිනෙකාට භේද-භින්න කිරීමටත් හොරකම, වංචාව හා දූෂණය පෝෂණය කිරීමටත් හේතු වූවා මිස, රටක් ලෙස ලෝකය සමඟ නැඟිට ගන්නට ශක්තියක් වී නැති බව ද මේ නිදහස් සමරුවේ දී අවධානයට ගත යුතු යි.

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව දේශීය ජන මනස ඒකරාශි කරනු පිණිස යොදා ගත් අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර වීම හෝ එයින් උද්ධච්ච වීම හෝ මිස, එමඟින් ඉදිරියට ගත් නිදහස් චින්තනයක් නැත; සංස්කෘතික විප්ලවයක් සිදු වී නැත. එබැවින් ජාතික අරගලයට වසර 200ක් සපිරෙන මේ අවස්ථාවේදී, එමෙන් ම 70 වැනි නිදහස් සමරුවේදී, එසේ මඟහැරුණු මංසන්ධි සිහිපත් කොට වැරදි නිවැරදි කර ගැනීම අනාගතයට වටී. පක්ෂ දේශපාලනය අබිබවන දේශපාලන අත්හදාබැලීමක් සිදු වන මෙකල, සම්මුතිවාදි එමඟ ගෙවා-දැමූ වසර තුනට, දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් අත් කරගත් සුබවාදි ප්‍රවණතා, ජාතික නිදහස තහවුරු කර ගැනීම පිණිස ශක්තියක් කර ගත හැකි යි. 70 වැනි නිදහස් සමරුව වෙතින් ඉදිරියට යෑම පිණිස එය හොඳ පියවරකි. 

Comments