
ශ්‍රී ලංකාව සෙසු ලෝකයෙන් හුදෙකලා වූ කාලයක් තිබිණි. පසුගිය වසර තුනේ දී ඒ කොන් වීම වෙනස් අතකට හැරිණි. මේ වසර ආරම්භයේ දී ම ආසියාවේ දියුණු රටවල් දෙකක රාජ්‍ය නායකයන්ගේ පැමිණීම මඟින් ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව දිනා ඇති ඒ පිළිගැනීම තවදුරටත් තහවුරු කෙරිණි. විශේෂයෙන් ම ආර්ථික ව දියුණු රටවල් දෙකක් වන සිංගප්පූරුවේ හා මැලේසියාවේ රාජ්‍ය නායකයන් මෙරටට සම්ප්‍රාප්ත වීම සෙසු ලෝකය මෙරට කෙරෙහි දක්වන අවධානය තවදුරටත් වැඩි කරන්නකි; ලෝකයෙන් හුදෙකලා වීම වෙනුවට ලෝකය සමඟ අත්වැල් බැඳගැනීම තවදුරටත් ශක්තිමත් වීමකි.
පුද්ගල නිදහසේ සිට රටේ නිදහස තෙක් ‘නිදහස’ ගැන ඉහළ අවධානයක් ලැබී ඇති මෙකල, සෙසු ලෝකය උනන්දු වන ආර්ථික නිදහස ද මඟහැර යා නොහැකි ය. මේ ලෝක ප්‍රවණතාව වටහා නොගන්නා විට ලෝකයෙන් හුදෙකලා වනවාට අමතර ව පුද්ගලයන් ලෙස ද තම නිදහස අවුරා ගනී; විශේෂයෙන් චින්තනයේ නිදහසට තමන් ම වැට බැඳ ගනී. දේශපාලන පක්ෂවලට හෝ දේශපාලන මතවාදවලට හෝ කොටු වීමෙන් ද සිදු වන්නේ චින්තනයේ නිදහස අවුරා ගැනීම බව සිංගප්පූරුව වැනි රටවල් ඉදිරියට ආ ආකාරය විමසන විට ද පෙනී යයි.
කෙසේ වෙතත් ලෝකයට විවෘත වීම ගැන, නැති නම් ලෝකයට ඉඩ දීම ගැන කතා කරන විට ම මතු කෙරෙන පැනයක් වන්නේ පුද්ගල නිදහසට හෝ රටේ නිදහසට හෝ එවිට කුමක් සිදු වේ ද යන්න යි. දසතින් හමන සුළඟට දොර-කවුළු හරහා නිදහසේ හමන්නට ඉඩ හැර නිවෙස ශක්තිමත් ව තබා ගැනීම ඊට විසඳුම වේ. එනම්: ආර්ථික නිදහසට දොරගුළු විවර කර දිය යුතු වන්නේ තම රටේ ආර්ථික පදනම ශක්තිමත් කර ගන්නා සැලසුම් මත පිහිටමිනි. ආර්ථික නිදහස හෝ විවෘත ආර්ථිකය හෝ පිළිබඳ කතා කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වුව ද, අද අනෙක් රටවල් සමඟ සසඳන විට අප පසුපසට වැටීමට හේතු වූ කාරණා ගැන පසුවිපරමක හෝ ස්වයං විවේචනයක හෝ යෙදීම ලජ්ජාවට හේතුවක් කර නොගත යුතු ය.
සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් පසුගිය අඩසියවසට අත්පත් කර ගත් ආර්ථික සංවර්ධනය ශ්‍රී ලංකාවට අහිමි වීම ගැන විවිධ හේතු කියවේ. පක්ෂ දේශපාලනය ප්‍රමුඛ වීම, එහි ම ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සමාජය එකිනෙකාට භේද වීම ඒ අතර ප්‍රධාන වේ. 1977 දී දේශපාලන ස්ථාවරභාවයක් ද සහිත ව ඇරඹුණු විවෘත ගමන එකිනෙකා අතර භේදය යුද ගැටුමක් දක්වා වර්ධනය වීම මඟින් අඩාළ කෙරිණි. කාර්මික අංශයට යොමු කළ දේශීය ව්‍යාපාරික පන්තියක් බිහි වීමට ඉඩක් නොවීමත් රටේ පසුබෑමට හේතුවක් බව ප්‍රකාශ වේ. මෑතක සිට වඩාත් ඉදිරියට ආ බාධක අතර පවුල්වාදය හා දූෂණ වංචා ඉහවහා යෑම ද වෙයි. රටක් ලෙස කල්පනා කරන ඉදිරිගාමි සැලසුම් පැත්තකට වීසි වීම හෝ හිඟ වීම හෝ සිදු වන්නේ මෙවැනි හේතු එකක් හෝ කිහිපයක් මුල් කර ගෙන ය.
සිංගප්පූරුව ආර්ථික නිදහස උපරිමයෙන් ඇති රටක් ලෙස හැඳින්වුව ද දැඩි නීති-රීති මෙන්ම මූල්‍ය විනයක් ද ක්‍රියාත්මක ව ඇති රටක් බවත් අප අමතක නොකළ යුතු ය. එවැනි වටපිටාවක් ගොඩනැඟීමට නොහැකි ලෙස ශ්‍රී ලංකාව අසමත් කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම දේශපාලනය විසිනි; විශේෂයෙන් ම වසර පහෙන් හයෙන් රටේ ප්‍රතිපත්ති හා සැලසුම් වෙනස් කරන පක්ෂ දේශපාලනයෙනි. මහා පරිමාණයේ වංචාව දූෂණය දේශපාලනයේ ආශීර්වාදය ඇති ව ම සිදු වීම ව්‍යසනය වේගවත් කළේ ය. මේ ඇත්ත තමන් විසින් අවස්ථාවාදි ව අමතක කරනු ලබන බව ඡන්දයකට හා හැත්තෑ වැනි නිදහසට සූදානම් වන මේ අවස්ථාවේ ඡන්ද දායකයා කල්පනා කළ යුතු ය. අනාගතය යහපත් කර ගැනීම වෙනුවෙන් අද දවස යොදා ගැනීම යනු රටට වරද්දන මේ දේශපාලනය ගැන ද අවදියෙන් සිටීම යි.
ධනවාදය හෝ මාක්ස්වාදය හෝ ලිබරල් ආර්ථිකය ගැන හෝ මතවාදි උද්දච්චභාවය එකිනෙකා පරයා ඉස්මතු කර ගැනීමට කල්පනා කිරීම හැර විශේෂඥයන් ද විවෘත මනසින් රටේ ඉදිරි අනාගතය ගොඩනැඟීමට කටයුතු කළා ද කියන පැනය ද මතු වේ. අධ්‍යාපන ක්‍රමය ද දායක වූයේ උද්ච්චභාවය, අනෙකා පරයන තරගයට මිස රටට ගැළපෙන ප්‍රායෝගික දැක්මක් රටවැසියාට කියා දීම පිණිස නො වේ. මනුස්සකමට වඩා උගත්කම පෙරට ගැනීමට විශෙෂඥයන් තරග කිරීම නිසා එකිනෙකා භේද-භින්න කරන හා වංචාවට, දූෂණයට අනුබල දෙන දේශපාලනයට ද වාසියක් විය. වැරදි දේශපාලනයට යට වන නිලධාරි තන්ත්‍රයක් පෙළ ගැසෙන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
නිදහස් ආර්ථික ගිවිසුම්වලට ලෝකය සමඟ බැඳෙන අතරේ මේ ගැන කල්පනා කළ යුතු වන්නේ ලෝකයට විවෘත වීමත් සමඟ රටක් ලෙස ද ආරක්ෂා විය යුතු බැවිනි.