
සැබෑ සතුරන් ක්‍රියාත්මක වන්නේ රහසිනි. සතුරා ඇතැම් විට බැලූ බැල්මට හඳුනා ගත නොහැකි යි. තවත් අවස්ථාවක මේ සතුරා අදෘශ්‍යමාන ව ම ක්‍රියාත්මක වෙයි. උණුසුම් ව ඇති පක්ෂ දේශපාලන පොරපිටිය මුරුගසන් වරුසාවට තෙමුණා සේ අනෙකා සතුරකු සේ පෙනී, ඒ ගැන ම අවධානය යොමු කරන මෙකල භයානක සතුරෝ දෙදෙනෙක් රට පුරා, ජන සමාජය බිලි ගැනීමට මාන බලමින් ක්‍රියාත්මක වෙති. කිසි විටෙක අවධානය අත්නොහළ යුතු මේ සතුරන් දෙදෙනා ගැන අඩු තක්සේරුවට දැමුව හොත් පවතින දේශපාලන උණුසුමට මුවා වී එකී සතුරන් තම අරමුණ ජය ගන්නවා ඇත. ඊට ගොදුරු වුව හොත් ජීවිතයෙන් ම වන්දි ගෙවන්නට සිදු වනවා මිස, නැවත ජීවිතය නිවැරදි කර ගන්නට කාලයක් නොලැබෙනු ඇත.
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත් කර ගන්නට අපේ අසල්වැසි රටවල ජාවාරම් කරුවන්ද සමඟ රටවල් කිහිපයක ජාවාරම්කරුවන් වෙහෙසෙන බව වාර්තා වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඒ රටවලින් මෙරටට 2017 දී ගෙනෙන ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන අනූව ඉක්මවන බව රේගු ආරංචි සඳහන් කරයි. 2016 වසරේ අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයක් 'අල්ලා ගන්නා මත්ද්‍රව්‍යවලට කුමක් සිදු වනවා ද?' යන කුකුස සමාජයේ පැතිරෙන්නට ඉඩ නොතබා, ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නිරීක්ෂණයෙන් යුතු ව පසුගිය සතියේ විනාශ කෙරිණි. මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කළ පළමු අවස්ථාව මෙය වන අතර, අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය පරිසරයට බලපෑමක් නැති අයුරින් මෙසේ ප්‍රසිද්ධියේ විනාශ කරන්නට ඉදිරියේ දී පියවර ගන්නා බව ද පැවසේ.
ජාවාරම්කරුවන්ගෙන් රටට ඇත්තේ මෙවැනි අනතුරක් නම්, මේ මත්ද්‍රව්‍ය සතුරා සමාජය පුරා පැතිරීම ද අතිශය භයානක ය. විශේෂයෙන් ම රටේ අනාගතය වන තරුණ පරපුරට එයින් එල්ල වී ඇති අවදානම සරල ව ගත යුතු නැත. අධ්‍යාපනයේ විභාග තරගය ඇතුළු ව පාසල් දරුවන්ගේ සිට මුළු මහත් තරුණ පරපුරත් වැඩිහිටි සමාජයත් අනෙකා අබිබවන විවිධාකාර තරගවලට පෙලඹීම නිසා මේ සතුරා ගැන අවධානය ගිලිහෙන්නට ඉඩ තිබේ. තරගවලින් හෙම්බත් වී ඇති විට මේ සතුරා තම ඉලක්කයට පහසුවෙන් ළඟා වීමට ද ඉඩ ඇත.
නීතියෙන් පමණක් එය වැළක්විය නොහැකි නිසා, ඇතැම් විට මේ සතුරා නීතියෙන් ද රිංගා යන නිසා, තම අවධානය අත් නොහැරීම ජීවිතය බේරා ගැනීම වැනි වේ; තමන්ගේ ද අනාගතයේ ද ඉරණම තීන්දු කිරීමක් වැනි වේ.
විශේෂයෙන් ම තම දරුවන් වෙත මේ මත්ද්‍රව්‍ය සතුරා ළඟා වීමට ඇති ඉඩ-කඩ හඳුනා ගන්නට හා අහුරා දමන්නට, දෙමවුපියන් හෝ වැඩිහිටියන් හෝ පෙරමුණ ගත යුතු ව ඇත.
රට පුරා පැතිර ඇති ඩෙංගු වසංගතය අනෙක් සතුරා වේ. ගෙවුණු සති දෙකට වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2000 ඉක්මවයි. මේ ඉදිරි සති තුන ගැන ඩෙංගු සතුරා ගැන වඩාත් අවධානයෙන් පසු විය යුතු බව පැවසේ.
මේ සතුරා ස්ථිර ව ම වැළැක්වීමට ඖෂධ නැත. මේ සතුරාගෙන් බේරීමට ඇති පැහැදිලි මඟ පරිස්සම යි; එනම්: මදුරුවා බෝ විය හැකි පරිසරය වළක්වා ලීම යි; අවට පිරිසුදු ව තබා ගැනීම යි.
මාරාන්තික සතුරකු වූ ඩෙංගු වසංගතය ද තරාතිරම බලන්නේ නැත. මත්ද්‍රව්‍ය බෙදාහරින ජවාරම්කරුවා සේ ඩෙංගු මදුරුවා ද ජන සමාජයේ අස්සක් මුල්ලක් නෑර ඩෙංගු වසංගතය පතුරුවා ලයි. එයින් ගැලවෙන්නට හැකි මඟ මදුරුවා බෝ වීම වැළැක්වීම යි. කවර දේශපාලන උණුසුමක් අතර වුව ද, කවර තරගයක් මැද වුව ද ඩෙංගු මදුරුවා ගැන තම අවධානය අත්නොළ යුතු වන්නේ ඩෙංගු වසංගතය මාරාන්තික බැවිනි.
තම අවධානය ගිලිහෙන තරමට මේ සතුරන් ජය ගන්නවා ඇත. එවිට එතෙක් ජීවිතයට ලබා දී තිබුණු ප්‍රමුඛතා සියල්ල එනම්: මේ සතුරන් ගැන අවධානය ගිලිහෙන්නට හේතු වූ අනෙක් කාරණා කිසිවක් - වටිනා දේ නොවනු ඇත.