දූෂණයෙන් රැස් කරන මුදල් රටේ පොහොසත්කම නොවේ | සිළුමිණ

දූෂණයෙන් රැස් කරන මුදල් රටේ පොහොසත්කම නොවේ

 ශ්‍රී ලංකාවේ දිනක දී සිදු වන වාහන ගනු-දෙනු රුපියල් මිලියන 9000ට ආසන්න බව පසුගිය ‘සිළුමිණ‘ මුල් පුවතින් කියවිණි. රට ඇතුළේ ම වාහන අලෙවියට හා රටට අලුතින් වාහන ගෙන්වීමට මේ මුදල් හුවමාරු වේ. එකී ප්‍රවෘත්තිය එක් අතකින් මෙරට ආර්ථිකයේ ස්වභාවය ගැන හෙළිදරවුවකි. මිලියන විසිදෙකක පමණ ජනගහනයක් වෙසෙන, ඒකපුද්ගල ආදායම ඩොලර් 4000ක් වන රටේ මෙවැනි මුදල් සංසරණයක් සිදු වීම පුදුමයට කරුණක් ද නොවිය හැකි ය. එහෙත් වැදගත් වන්නේ මේ මුදල් සංසරණය සිදු වන්නේ පැහැදිලි ව ම පාරිභෝජනයට මිස ආර්ථික සංවර්ධනයකට නොවීම යි. මේ මුදල් යෙදවෙන්නේ ඉතිරි කිරීමට හෝ ආයෝජනයට හෝ නො වේ. විශේෂයෙන් ම කොළඹ හා ජනාකීර්ණ නගරවල ඉදි කෙරෙන සුපිරි නිවාස සංකීර්ණයක නිවෙසක් රුපියල් මිලියන හැට-හැත්තෑව වුව ද ඊට ඇති ඉල්ලුම දෙස බලන විට ද පෙනී යන්නේ පරිභෝජනය වෙනුවෙන් ඉහළ මුදල් සංසරණයක් සිදු වන ආකාරය යි. රටේ ආර්ථික සංවර්ධනය ගැන දිගුකාලීන ව සලකන කල මෙය සුබ නිමිත්තක් විය නොහැකි ය.

රැකියා උත්පාදනයට ආයෝජන අවශ්‍ය වන අතර ආයෝජනය සඳහා මුදල් යෙදවීම සැලසුම්සහගත ක්‍රියාවලියකි. වාහන හෝ නිවාස යන දේපළ මිල දී ගැනීම යනු පරිභෝජනයට ගැනෙන ගනු-දෙනු මිස ඉතිරි කිරීම් හෝ ආයෝජන හෝ නො වේ. නිෂ්පාදන ආර්ථිකයට හෝ කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කරන්නට නොදන්නාකම මෙන් ම රටේ ආර්ථික ප්‍රතිපත්ති මඟින් ඊට යොමු නොකිරීම ද මේ කෙරෙහි බලපා ඇතැ යි විශේෂඥ මතය යි. එමෙන් ම ආර්ථික වටිනාකමකින් තොර ව - එනම්: මහන්සියක් නැති ව - කොමිස් හෝ වංචා ක්‍රම හෝ මඟින් මුදල් ඉපයීම ද ආයෝජන සඳහා යොමු නොවීම කෙරෙහි බලපා ඇතැ යි ප්‍රකාශ වේ. ආර්ථික ව ශක්තිමත් වීම, රටක් ලෙස නැඟීටීම යන පදනමේ සිට බලන විට මෙය මඟහැරිය නොහැකි, අවධානයට ගත යුතු ප්‍රවණතාවකි.

දිනකට රුපියල් මිලියන 9000ක ගනුදෙනුවක් වාහන සඳහා සිදු වුව ද එම වාහන ධාවනය කරන්නට ප්‍රමාණවත් මාර්ග නැති වීම මඟින් ද පෙන්වන්නේ - එනම්: නාගරික වාහන තදබදය වෙතින් ද පැහැදිලි කෙරෙන්නේ - අනවශ්‍ය පරිභෝජනයක ‘උස්මුරුත්තාව‘ යි. ඒ මිස රට ගැන හිතන ඉස්පාසුවක්, අනාගතයට ඉතිරි කරන හෝ ආයෝජනය කරන හෝ ඉවසීමක්, මෙරට සමාජයේ දකින්නට නැත. සාමාන්‍යපෙළ හා උසස්පෙළ යන විභාග කොතරම් ඉහළ අන්තර්ජාතික මට්මේ විභාග වුව ද ඉන් අසමත් වන අයට පමණක් නොව සමත් වන අයට ද පැහැදිලි ධනාත්මක බලාපොරොත්තු නැති වීම හා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂක සංඛ්‍යාව ලෝක වාර්තාවක් වුව ද සාමාන්‍යපෙළ හෝ සමත් අය සිටින්නේ කීයෙන් කී දෙනා ද යන දේශපාලන කාරණා නිදසුනකට ගැනීම මඟිනුත් පාරිභෝජනය මුලට ගෙන රටක් ලෙස පල්ලම් බසින විදිය දකින්නට හැකි යි.

බහුතරයකගේ අනාගත සිහිනය තමන්ට ම කියා වාහනයක් අත්පත් කර ගැනීම වන පරිදි කලක පටන් මෙරට සමාජයේ බහුතරයකගේ කතාබහට ලක් වන තවත් තේමාවක් වන්නේ වංචාව හෝ දූෂණය හෝ වේ. ආර්ථිකයට වටිනාකමක් එකතු නොකරන වංචාවෙන්, දූෂණයෙන් මුදල් ඉපයීම ද ආයෝජනට යොමු නොවීම කෙරෙහි බලපාන බව ප්‍රකාශ වන නිසා මෙය තව අතකින් එක ම කතාවක දෙපෙත්තක් ලෙස ද ගත හැකි යි. එනම්: පාරිභෝජනයට මුල් තැන දීම සමඟ වංචාව හෝ දූෂණය හෝ සම්බන්ධ වීමට ඉඩකඩ තිබීම යි.

ලෝක මට්ටමින් බැලුවත් වංචාව දූෂණය නැති තැනක් සොයා ගැනීම අපහසු යැ යි පැවසෙන බැවින් ද, මෙරට ද වංචාවට දූෂණයට දශක ගණනක ඉතිහාසයක උරුමකම් කියන බැවින් ද, ඒ ගැන කතා කිරීම පලක් නැතැ යි කීම රට තව තවත් පසුගාමි තැනකට තල්ලු කිරීමකි. ‘එයා කරනවා නම් මම කළා ම මොක ද?‘ යන වගකීම් විරහිත ප්‍රකාශ මඟින් මේ ප්‍රවණතාව මඟ-හැර යා නොහැකි යි. අර පක්ෂය හෝ මේ කණ්ඩායම හෝ එදා වංචාව දූෂණය කළ නිසා මෙකල සිදු වන එවැනි දෑ ගැන නිහඬ ව සිටිය යුතු ද නො වේ. දේශපාලන ව බෙදී දූෂණයට වංචාවට රැකවරණ සැලසීමේ විපාකයක් ලෙස රටේ ආර්ථික අනාගතය විශාල පසුබෑමකට ගොදුරු කර ඇති බව අද මතුපිටට ගත යුතු කතිකාවකි. සාධාරණ සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් සිදු කළ ‘ජනවාරි 8 විප්ලවය‘ සමරන මේ අවස්ථාවේ රට ගැන හිතන-පතන අය තනි තනි ව හෝ මේ ගැන කල්පනාවට ගත යුතු වේ. 

Comments