වර්ජන තර්ජන | සිළුමිණ

වර්ජන තර්ජන

 දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය දින හතකට පසු නිම කෙරෙන්නේ මඟී ජනතාව දැඩි දුෂ්කරතාවකට පමුණුවමිනි. විශේෂයෙන් ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පෙනි පෙනී වැඩවර්ජනය ආරම්භ කිරීම මඟින්, වගකීම පසෙක ලා අයිතිවාසිකම් පමණක් පෙරට ගන්නා මෙරට වෘත්තීය සමිති භූමිකාව නැවතත් හෙළිදරවු විණි. වැඩවර්ජනයකට යා යුතු වන්නේ සාකච්ඡා මාර්ගය අහෝසි වීමෙන් පසුව වුව ද වෘත්තීය සමිති පුරුදුව සිටින්නේ වර්ජනයෙන් අනතුරුව සාකච්ඡා ඇරඹීම යි. මෙය නීති විරෝධි ය. එම නීති විරෝධි ප්‍රවණතාව සම්ප්‍රදායක් බවට හැරවීමට ශක්තිය හා ආදර්ශය ලබා දුන්නේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය බව මෙහි දී සිහිපත් කර ගැනීම වටී.

මෙරට රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට නැඟෙන චෝදනාව එක විට බැහැර කරන්නට නොහැකි යි. වගකීමෙන් තොරව ක්‍රියාවට නැංවෙන මෙවැනි වැඩවර්ජන මඟින් ද ඒ අකාර්යක්ෂම බව ම තහවුරු කෙරේ. තමන් නිරත රාජකාරිය මහජන වගකීමක් බව අමතක කොට අයිතිවාසිකම් පමණක් පෙරට ගන්නා ප්‍රවණතාව ශක්තිමත් කරන ප්‍රධාන හේතුව වන්නේ වෘත්තීය සමිති දේශපාලනීකරණය වීම වේ.

එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රාජ්‍ය නිලධාරීන් බලයේ සිටින දේශපාලකයාගේ වුවමනාවට යටත් සේවකයකු බවට පත් වීම යි.

ක්‍රමානුකූලව වර්ධනය වූ මේ ‘යටහත් බව‘ පසුගිය රාජ්‍ය පාලන සමයේ උච්චස්ථානයකට පැමිණුණි. දේශපාලකයා තම දේශපාලන වුවමනාව පමණක් සලකා ගන්නා තීන්දු මහජන සුභසිද්ධියට අනුව නොගැළපෙන බව පෙන්වා දෙන්නට සිටින ආසන්න ම නිලධාරියා ‘එහෙයි‘ කීම ඇතැම් වෘත්තීය ප්‍රශ්න අර්බුද දක්වා වැඩී යෑමට බලපාන බව රහසක් නො වේ. එපමණක් නො ව; විසඳුම් සඳහා වැඩවර්ජන දියත් කරන විටත් එයින් දේශපාලන වාසි ලැබීමට ඒ අවස්ථාවේ ආණ්ඩු විරෝධි දේශපාලකයා කටයුතු කරයි.

දුම්රිය සේවය ගත් කල දියුණු සමාජයකට සරි ලන සේ සැකසීම යනු මේ අනුව සිහිනයක් මෙන් පෙනේ. පවතින දුම්රිය ධාවනය වුව ද ජපානය වැනි දියුණු දුම්රිය සේවයක් සමඟ සසඳන විට ‘අහසට පොළොව‘ මෙනි.

වැඩවර්ජන සිදු වන්නේ පවතින දුම්රිය සේවය ගැන මහජන ප්‍රසාදය දිනා ගත් වාතාවරණයක නොවන බැවින් වෘත්තීය අයිතිවාසිකම් ගැන වුව ද මහජන අනුකම්පාවක් හිමි වන්නේ නැත.

විශේෂයෙන් දුම්රියෙන් ගමන්බිමන් යන මගීන් වැඩි දෙනා ලෝකයේ සිදු වන දේ ගැන අවදියෙන් සිටින පිරිසක් වීම ද එකී අප්‍රසාදය ඉහළ යෑමට හේතු වෙයි. නීති විරෝධී වර්ජනයකට පෙර හැම විට ම තම වගකීම ගැන කල්පනා කළ යුතු වන්නේ එවැනි වර්ජන මහජනතාවට තර්ජනයක් වන බැවිනි.

බලයේ සිටින දේශපාලකයන්ට එරෙහිව වෘත්තීය සමිති උසිගන්වන විපක්ෂයේ දේශපාලකයන් බලය ලද විට ඒ මඟ නොගන්නා බව ද වර්ජකයන් මෙහි දී කල්පනාවට ගත යුතු ය.

නිවසේ කුණු එළියට දමන අවස්ථාවේ සිට මහජනයා අපහසුවට පත් කරන වැඩවර්ජන දක්වා ම තම අයිතිවාසිකම් ගැන හිතනවා විනා, වගකීම් ගැන කල්පනාවක් නොකරන සමාජයක වර්ජනය ද තර්ජනයක් වෙයි. ඒ තර්ජනය හොඳින් මුවහත් කර දුන්නේ හෝ සමාජය ඊට යටත් කර දුන්නේ අධ්‍යාපනයේ ඉහළ ම ප්‍රතිඵලය වූ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෘත්තීය සමිතියකි. එවැනි ආදර්ශ මඟින් තහවුරු කෙරෙන පසුගාමි ගමන රටේ අනාගතයට මරු පහරක් වී ඇත. ඒ වැරදි ගමන නිවැරදි දිශාවකට හැරවීම පිණිස දේශපාලකයා මෙන්ම රාජ්‍ය සේවකයා ද තම වගකීම ගැන වහා කල්පනාවට ගත යුතුව තිබේ.

එවිට සාමාන්‍ය ජනතාවට තම වගකීම පැහැර හරින්නට නොහැකි වනු ඇත. 

Comments