හිතේ සතුට ඇති කර දිළිඳුකම පිටුදැකීම | සිළුමිණ

හිතේ සතුට ඇති කර දිළිඳුකම පිටුදැකීම

 දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය, 2017 ලෙස නම් කිරීමෙන් අනතුරු ව ඊට ප්‍රායෝගික විසඳුම් සොයන මාර්ගයක් හැටියට ‘ග්‍රාම ශක්ති ජනතා සමාගම්’ ජාතික වැඩසටහන හඳුන්වා දී තිබේ. තමන්ට අනාගතයක් ඇතැ යි සිතෙන සන්තුෂ්ටියට හා යැපුම් ආර්ථිකය වෙනුවට උපයන ආර්ථිකයට ජන සමාජය පෙලඹවීම මේ වැඩසටහනේ ඉලක්කය බව ප්‍රකාශිත යි. ග්‍රාම ශක්ති ජනතා සමාගම් 5000 මඟින් ගමේ හැකියාව හා සම්පත් පෙරට ගෙන වෙළෙඳපොළ සඳහා ගැමි ප්‍රජාව නිෂ්පාදනයට යොමු කරවීම මඟින් දිළිඳුකම පිටුදැකීම ප්‍රායෝගික කෙරේ. එහිදී කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ තැනක් හිමි වේ.

පිටුදකින්නට අවශ්‍ය දිළිඳුකම මැන ගන්නේ කෙසේ ද?, යන්න මෙහි දී පළමුව අවබෝධයට ගත යුතු වේ. ග්‍රාම ශක්ති ජනතා සමාගම් ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාවේ දී උතුරේ ජනතාව කළ ඉල්ලීමක් ගැන සඳහන් කළේ ය. යුද භීෂණයෙන් අත්මිදුණු ඔවුන්ගේ දැන් ඉල්ලීම වී ඇත්තේ බැංකුවලින් තමන් නිදහස් කර දෙන ලෙස යි. අඩු-ආදායම් ලබන ප්‍රජාව රටේ ජනගහනයෙන් සියයට 7ක් නමුත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පහළ ශ්‍රේණිවල සේවකයන්ගේ මෙන් ම සමෘද්ධිලාභීන් වැනි සහනාධාරලාභීන්ගේ ආර්ථික පසුබිම ගැන සතුටු විය නොහැකි බව ද ඒ කථාවේ දී අවධාරණය කෙරිණි.

මේ කථා කරන ජනතා පදාසයේ දිළිඳුකම බඩගින්න පමණක් ම නො වේ. තමන් ලැබූ අධ්‍යාපනයට වඩා හොඳ අධ්‍යාපනයක් තම දරුවාට ලබා දිය හැකි ද? තම අනාගතය ඉදිරි වසර කිහිපය තුළ දැනට වඩා සාර කර ගත හැකි ද? කියන ඉලක්කයට පැහැදිළි පිළිතුරක් නොතිබීම ද - එනම්: අනාගතය ගැන ඉච්ඡාභංගත්වයට පත් වීම ද - දිළිඳු බව කියවන මිම්මකි. තවත් ආකාරයකින් පවසනවා නම් හිතේ සතුට හෙවත් සන්තුෂ්ටිය නැති වීම ද දිළිඳුකම යි. තම අනාගතය පිණිස රටින් යා යුතු යැ යි තරුණ ප්‍රජාව කල්පනා කිරීමත්, අනවශ්‍ය ම දේට පවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාරේ උද්ඝෝෂණයට පෙළගැසීමත් එකී සන්තුෂ්ටිය නැති වීමේ ප්‍රතිඵල ය.

ලෝකයට විවෘත ආර්ථිකයක, විශේෂඥයන් ගණන් බලන පරිදි සන්තුෂ්ටිය රඳා ගැනීම වෙනුවෙන් දෛනික ඒක පුද්ගල ආදායම ඩොලර් 4ට වඩා වැඩි විය යුතුය. එක් පුද්ගලයකු රුපියල් 40,000ක පමණ මාසික ආදායමක් ලබන පවුලක අඩුම තරමින් 4 දෙනකු ජීවත් වනවා යැ යි ගණන් බැලූ විට, ඒක පුද්ගල ආදායම ඩොලර් 4ට අඩු වේ. එහි ප්‍රතිශතය රටේ මුළු ජනගහනයෙන් 52% ඉක්මවන බව වාර්තා වේ. එතරම් ජන පදාසයකට තම අනාගතය ගැන හිතේ සතුටක් නැති බව ඉන් කියවෙයි. දිළිඳුකම පිටුදැකීම පිණිස ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් එතරම් පළල් ජන පදාසයකට ඉලක්ක කළ යුතු ව ඇති බව අවබෝධයට ගත යුතු යි.

ආධාර හෝ සහනාධාර හෝ සපයන යැපුම් ආර්ථිකයකින් දිළඳුකම පිටුදැකීමට නොහැකි බව අත්දැකීම් ඇසුරෙන් තහවුරු ව ඇත. එමෙන් ම විදේශ ආයෝජන මත හෝ ලිබරල් ආර්ථික සැලසුම් මත පමණක් පහළ ස්ථරයට ධනය කාන්දු නොවන බව ද පිළිගන්නට සිදු වේ. අභියෝගය ජය ගැනීම පිණිස නිෂ්පාදන ආර්ථිකයක් ද අවශ්‍ය වෙයි. ග්‍රාම ශක්ති ජනතා සමාගම් ජාතික වැඩසටහන ඉල්ක්ක වී ඇත්තේ එතැනට යි.

තමන් පොළොවේ පය ගසා සිටින තැනින් ම නැඟිටින්නට දිළිඳු ගැමි සමාජයට අත්වැලක් ලැබෙයි නම් හෝ තමන්ට දැනෙන තැනකින් ඔවුන්ට ආරම්භයක් ගත හැකි නම් හෝ එමෙන් ම එකී පියවර හිතේ සතුට රඳන මඟක් වේ නම් රටේ අනාගත ශුභසිද්ධියට අදාළ ව එය කිහිප අතකින් ම වැදගත් ය. අවස්ථාවාදි හා අන්තවාදි දේශපාලන කල්ලි තම බලය පෙන්වීම පිණිස මේ දිළිඳු සමාජයේ ඉච්ඡාභංගත්වය ගොදුරු බිමක් කර ගැනීම එවිට වැළකෙනු ඇත. එමෙන් ම හිතේ සතුට රැඳෙනවා යනු තම හිතේ සංහිඳියාව ඇති වීම වන නිසා ජාතීන් අතර සංහිඳියාවට ද මේ වෙනස හොඳ පිටිහවලක් වනු ඇත.

ග්‍රාම ශක්ති ජනතා සමාගම් පන්දහසෙන් පළමු දහස සඳහා 2018 අයවැයෙන් රජය වෙන් කරන මුදල රුපියල් කෝටි 600කි. මෙය සහනාධාරයක් නො ව, නිෂ්පාදන ආර්ථිකයක් සඳහා කෙරෙන ආයෝජනයකි.

හිතේ සතුට ඇති කර දිළිඳුකම පිටුදකින මෙවැනි මාවත් තව-තවත් විවෘත කළ යුතු ව ඇත. 

Comments