
වෛද්‍යපීඨ අටක ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 8000ක් පමණ සයිටම් විරෝධය වෙනුවෙන් පන්ති වර්ජනයක නියැළී මේ වන විට මාස 9ක් ගත වී ඇතත් ආණ්ඩුව මෙය ගැටලුවක් ලෙස හඳුනා ගෙන නැති දැ?, යි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය. වෛද්‍යවරුන් බිහි වීම නතර වීම හා ප්‍රමාද වීම නිසා ජාතික වශයෙන් සිදු වන පාඩුවට වග කියන්නේ කවුරු ද?, ආණ්ඩුව මේ ගැටලුව විසඳන්නට පියවර නොගන්නේ මන්ද?, යනුවෙන් තවදුරටත් ඔහු තම ප්‍රශ්නය විස්තර කර තිබිණි.
ගැටලුවක්, ආරවුලක් කෘත්‍රිමව නිර්මාණය කොට 'කෝ විසඳුම්?' යැ යි විමසීම බොරුවට නිඳා ගත් අයකු 'පුළුවන් නම් ඇහැරවන්න!' යැ යි කීමකි. සයිටම් අර්බුදය පමණක් නො ව, සමස්ත උසස් අධ්‍යාපනය ම අර්බුදයක් බවට පත් වීම කෙරෙහි වගකිව යුතු වන්නේ විසඳුම් ඉල්ලන මේ අය ම මිස වෙන කවුරු ද? යනුවෙන් අනෙක් පසින් නැඟෙන පැනයෙන් මේ අයට ගැලවී යා හැකි ද?
හැටේ දශකයේ සිට මේ දක්වා ම තම දේශපාලන පැවත්ම වෙනුවෙන් සිද්ධි සොය-සොයා ඒවා අර්බුද ලෙස මවා, ශිෂ්‍ය, තරුණ ආවේගය අවුළුවා, ගෝත්‍රික විප්ලවයක් ගැන සිහින දකින්නෝ 1971 දී හා 1989 දී මහපොළොව නූහුලනා ඛේදවාචක දෙකක් නිර්මාණය කළහ. අනෙකා නොඉවසන, හැකිළුණු මනසකින් බලෙන් පටවන දේශපාලනය නොදියුණු නිසා එය ගෝත්‍රික වෙයි. සයිටම් සිද්ධිය පෙන්වා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මහපාරට කැඳවමින් අර්බුදය කෘත්‍රිමව සකසමින් මේ සැරසෙන්නේ ඊළඟ ගෝත්‍රික විප්ලවයකට හෙවත් තවත් ඛේදවාචකයට ද? ඒ මිස උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලුවක් විසඳීමට වත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට වත් නොවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. තම අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින් මාස නවයක් තිස්සේ මහ පාරේ රස්තියාදු වන ශිෂ්‍ය ප්‍රජාව ගෝත්‍රික විප්ලවයට අදාළ ඒ ඉතිහාසය ගැනත් අවධානයට ගත යුතු යි. තම අනාගතය, රටේ අනාගතය අඳුරු කර ගනිමින් තමුන් දැන හෝ නොදැන හෝ කඩේ යමින් සිටින්නේ ඒ ගෝත්‍රික විප්ලවයට යි.
හැටේ දශකයට පෙර ඉංග්‍රීසියෙන් කල්පනා කළ වාමාංශික ව්‍යාපාරයටත්, ඉංග්‍රීසි වෙනුවට මාක්ස්වාදය දන්නවා යැ යි උද්දච්ච වූ හැටේ දශකයෙන් මෙපිට වාමාංශිකයන්ටත් ජාතික පොළොවට ගැළපෙන ලෙස ප්‍රශ්න විසඳන දැක්මක් තිබුණේ නැත. අදටත් එවැනි පුළුල් දැක්මක් මේ ගෝත්‍රික දේශපාලන ව්‍යාපාරය සතුව නැත. එබැවින් තම දේශපාලන පැවත්ම වෙනුවෙන් සමාජීය අර්බුද මැවීමට අවශ්‍ය වෙයි. හැටේ දශකයට පෙර සිදු වුණේ ඒ වන විට ශ්‍රී ලාංකික සමාජයේ පැළපදියම්ව තිබුණු අනෙකා නුරුස්සන කුහකකමට දේශපාලන වටිනාකමක් දී ගෝත්‍රික සැනසුමකට මං පෑදීම යි. හැටේ දශකයට පසු ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඍජුව ම ඉලක්ක කර ගත් අතර, අදටත් අත්නොහරින ම්ලේච්ඡ නවකවධය ඒ බව පැහැදිලි කෙරෙන අවස්ථාවකි. ස්වාධීන යැ යි කියමින් ශිෂ්‍යයාගේ මූලික නිදහස පවා කඩ කරන, පෙරටුගාමි යැ යි කියමින් තරුණ පරම්පරාව රටට බාධකයක් ලෙස උසිගන්වන, විමුක්තිය යැ යි කියමින් අවට ලෝකයෙන් හැකිළෙන මේ දේශපාලනය ම අර්බුදය හෝ ප්‍රශ්නය හෝ මිස, විසඳුම නො වේ.
නිදහස් අධ්‍යාපනය යනු නව ලෝක ප්‍රවණතා සමඟ ගනු-දෙනු නොකළ යුතු, එක් සමාජ පදාසයක් වෙනුවෙන් ම කූඩුවක ගාල් කළ යුතු, ක්‍රමවේදයක් නො වේ. නැති-බැරි අය වෙනුවෙන් නොමිලේ අධ්‍යාපනය නො ව, අධ්‍යාපනයට නිදහස ලෙසට නිදහස් අධ්‍යාපනය වෙනස්ව තිබීම සමාජ යථාර්ථය යි. අධ්‍යාපනය මඟින් ලෝකය දිනා ගන්නට නම් ලෝක ප්‍රවණතා සමඟ විවෘත මනසකින් කටයුතු කළ යුතු ය. ඒ සඳහා සුදුසු ම බිම වන විශ්වවිද්‍යාලය ගෝත්‍රික දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම ඇත්ත ම අර්බුදය වන අතර, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන අර්බුදයට පළමුව වග කිව යුතු වන්නේ ද එකී ගෝත්‍රික දේශපාලනය ම යි.
මේ ගෝත්‍රික දේශපාලනය විසින් විනාශ කරනු ලබන්නේ රටේ අනාගතය පමණක් නො වේ; ලෝක ප්‍රවණතා හමුවේ නොසැලී ඔරොත්තු දෙන්නට ඇති රටට ආවේණික සම්ප්‍රදායන් හා සංස්කෘතීන් ද විනාශ කෙරේ. ආවේගි ශිෂ්‍ය මනස සන්සුන් කරන්නට ආදර්ශය දිය යුතු භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණ සඳහා මහපාරට ඇද ගැනීම නිදසුනකි. එම භික්ෂුවගෙන් අද ලැබෙන ආදර්ශය පිළියම් කළ නොහැකි ව්‍යසනයකට සමාජය ඇද හෙළන්නකි.
සිද්ධි අර්බුද ලෙස ගෙන තම ගෝත්‍රික දේශපාලනය වෙනුවෙන් රටේ අනාගතයත් රටේ සංස්කෘතික සම්ප්‍රදායත් විනාශයට යැවීම මහ පොළොව නූහුලන තවත් ඛේදවාචකයකින් කෙළවර නොවීමට ශිෂ්‍ය ප්‍රජාව වගබලා ගත යුතු ය.
ධනවාදි කඳවුරට එරෙහිව ගිය කොමියුනිස්ට් චීනය ලොව මහ බලවතකුගේ තැනට නැඟීම අරඹන්නේ, බාහිර බලවේගවල අතකොළුවක් වූ චීන ශිෂ්‍ය ව්‍යාපාරය, හුරතල් කිරීමෙන් නො ව දැඩි මර්දනයකට පසුව බව ලොව ම දනී.