සංක්‍රමණයේ දිළිඳුබව සහ ලෝක ආහාර දිනය | සිළුමිණ

සංක්‍රමණයේ දිළිඳුබව සහ ලෝක ආහාර දිනය

 සරණාගතයන් ලෙස සංක්‍රමණය වන ජනගහනය ඉහළ යෑම ලෝකයට මුහුණ දෙන්නට සිදු වී ඇති බරපතළ ගැටලුවකි. රටවල් අතර යුද ගැටුම් හෝ රටවල් තුළ සිවිල් ගැටුම් සංක්‍රමණිකයන්ගේ මේ ඉහළ යෑම කෙරෙහි බලපාන ප්‍රධාන හේතු ය. සංක්‍රමණිකයන් සම්බන්ධව මතුපිටින් පෙනෙන්නට ඇති කතාව එය වුව ද, නොපෙනී තවත් සංක්‍රමණිකයෝ වර්ගයක් ලොව පුරා විසිර යමින් සිටිති. ඊට බලපාන හේතුව ලෙස සැලකෙන්නේ දුප්පත්කම යි. තමන්ට දුෂ්කර ප්‍රදේශයක, තමන් දුප්පත් යැ යි හැඟෙන භූමියක සිට සශ්‍රීක යැ යි සිතන ආගන්තුක භූමි කරා සංක්‍රමණය වීම නොපෙනෙන ජන ගඟකි. 'මානව සංක්‍රමණයේ අනාගතය වෙනස් කරමු' යන අදහස සහිත තේමාවකින් හෙටට යෙදෙන ලෝක ආහාර දිනය නම් වී ඇත්තේ දිළිඳුකම නිසා තැනින් තැනට සංක්‍රමණය වන මේ ජනගහනය ගැන ලොවේ අවධානය යොමු කරන්නට යි.

ලෝක ආහාර දින තේමාව ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වන්නකි. 'දිළිඳුකම' තමන්ට දැනෙන පමණින් අර්ථකථනය කර ගෙන ඇති මෙරට විශාල ජන පදාසයක්, විසඳුම ලෙස තෝරා ගෙන ඇත්තේ සංක්‍රමණය යි. ඔවුන් දකින, ඔවුන්ට දැනෙන සශ්‍රීක පොහොසත් ජන සමාජ වෙතට සංක්‍රමණය වීම විසඳුමක් ලෙස කල්පනා කරන බහුතරය රටේ තරුණ පරපුර වීම මෙහි ඇති බරපතළ ම ගැටලුව යි.

දිළිඳුකම නිසා සංක්‍රමණය වීමට පෙලඹීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ඇති නැති පරතරය යි. ධනවාදි රටවල මෙන් ම එතැන හඹා යන සෙසු දුප්පපත් රටවල ද ඇති නැති පරතය ඉහළ යෑම ශීඝ්‍රගාමිව සිදු වන බව පැවසේ. මේ ඇති නැති පරතරය යනු රටක ආහාර හිඟතාව නො වේ; සම්පත්වල හිඟතාව ද නො වේ; ආහාර හෝ සම්පත් හෝ රටේ ජනසමාජය අතර බෙදී යෑමේ විෂමතාව යි. විෂමතාවට ගොදුරු වන ආහාර හෝ සම්පත් හෝ හිඟ සමාජ පදාසය විසි වැනි සියවසේ දී කල්පනා කළේ දේශපාලන විප්ලව මඟින් ප්‍රශ්නය විසඳා ගන්නට යි. එයින් සිදු වූ යහපත් ප්‍රතිඵල ද නැතුවා නො වේ. එහෙත් රට ඇතුළේ දේශපාලන විසඳුම් තව දුරටත් දියුණු කර ගැනීම වෙනුවට ජනසමාජ රටින් පිටට ප්‍රශ්නය ගෙන යන තැනකට ගෝලීයකරණය හා ලිබරල් ආර්ථිකය විසින් ම ලෝක ජනගහනය පොලඹවනු ලැබ ඇත. දිළඳුකම නිසා සංක්‍රමණය වීම විසිඑක් වැනි සියවසට දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඒ අනුව ගෝලීයකරණය හා ලිබරල් ආර්ථිකය යි.

තාක්ෂණික ලෝකයක ගෝලීයකරණය නිර්මාණය කරන ගැටලුවලින් පලා යා නොහැකි යි. ලිබරල් ආර්ථිකයෙන් අද රටකට හුදෙකලා වීම ලෙහෙසි නැත. එහෙත් හමන සුළඟට දෙරවල් විවෘත කරන අතර ම සුළඟේ ගසා ගෙන යෑමට ඉඩ නොතැබීම තමන්ට හෝ රටට හෝ ඇති වගකීම යි. ලෝක ප්‍රවණතා වුව ද රටේ අනන්‍යතාවට, සංස්කෘතික පදනමට අනුව සලකා බැලීම වැදගත් වන්නේ මෙතන දී යි.

ගෝලීයකරණය හෝ ලිබරල් ආර්ථිකය හෝ විසින් පොලඹවනු ලබන අධිපරිභෝජනය මඟින් මුලින් ම නිර්මාණය කරන්නේ තමන් දිළිඳු ය යන සිතිවිල්ල යි. එවිට තමා සතුව, තමා ළඟ ම ඇති සම්පත් අමතක වී වෙළෙඳපොළ විසින් ඉදිරිපත් කරනු ලබන භාණ්ඩය හෝ සේවාව හෝ විසඳුම ලෙස දකී. සරල අවස්ථාවකින් මෙය පැහැදිලි කරන්නේ නම් ආහාර හිඟයට ළඟ ම විසඳුමක් සපයන ගෙවත්ත අමතක වීම දැක්විය හැකි යි. ගෙවත්තේ එකතු වන කුණු ගෙවත්තට ම පොහොරක් කර ගන්නවා වෙනුවට එය පාරට දමා හෝ අනුන් මත පටවා හෝ ගෙවත්තේ ලෙහෙසියෙන් සාදා ගත හැකි බෝග පවා වෙළෙඳපොළෙන් මිල දී ගන්නට සමාජය පෙලඹී සිටින අතර, ඊට අතේ මුදල් නැති වීම දුප්පත්කම ලෙස සිතයි. ගෙවත්තෙන් එළියට ගිය විට, වෙළඳපොළට ආහාර සපයන ගොවියා ද එනම් ගොවි ව්‍යවසායකයා ද වෙළෙඳපොළේ උගුලට හසු වී, විෂ රසායන යොදවන ගොවිතැනට හුරු වී, ණය බරින් පීඩිත ගොවියකු පමණක් නො ව, වස-විස සහිත ආහාර සපයමින් මුළු මහත් සමාජයක් ලෙඩ කරන්නට දායක වන අයකු බවට ද පත් වී සිටී.

ඇති - නැති පරතරය නිසා සංක්‍රමණය වීම තවත් ආකාරයක නිදසුනකින් පවසනවා නම්, තමන් දිළිඳු යැ යි කල්පනාවට ගෙන, විසඳුමක් ලෙස හෙවත් පොහොසත් වීම පිණිස, කාන්තාව මැදපෙරදිග ගෘහ සේවයට යෑම දැක්විය හැකි යි. රටේ විදේශ වත්කම තර වීමට එයින් පිටුබලයක් ලැබුණු නමුත්, පවුලක් වශයෙන් දිළිඳුකම තුරන් කර ගත් අවස්ථා විරල ය. එපමණක් නො ව, පවුල් ඒකකය විසිර යෑමට කාන්තාව රටින් පිටට යෑම තීරණාත්මකව බල පෑ අතර, වත්මන් තරුණ පරපුර සියල්ලට විසඳුම ලෙස රට හැර යෑම ගැන කරන කල්පනාව, අම්මාගේ ඇල්ම බැල්ම ආදරය පෙරදැරිව දරුවන් වෙත දක්වන්නට අවස්ථාව මඟහැරීම ද බලනොපෑවා යැ යි කිව නොහැකි ය.

ඇති - නැති පරතරය නැති කිරීමත්, තමන් දිළිඳු ය යන හැඟීමෙන් සමාජය වෙනස් කරවීමත් ආහාර භාවිතය සඳහා පුළුල් ආකල්පමය වෙනසකට රට පෙළ ගැස්වීමත් තවත් ප්‍රමාද කළ යුතු නො වේ.

රජය මඟින් පෙරට ගෙන ඇති තුන් අවුරුදු වගා සංග්‍රාමය වැනි ප්‍රායෝගික ව්‍යාපෘති ඒ වෙනුවෙන් තව තවත් අවශ්‍ය වෙයි. 

Comments