මතට තිත තැබීම මට අභියෝගයක් නෙවෙයි | Page 3 | සිළුමිණ

මතට තිත තැබීම මට අභියෝගයක් නෙවෙයි

නව සුරා බදු කොමසාරිස් ජනරාල් කේ. හෙලන් ඒ. මීගස්මුල්ල

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වූ කේ.එච්.ඒ. මීගස්මුල්ල මහත්මිය පසුගිය සතියේ සිට මෙරට ප්‍රථම සුරා බදු කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්ව සිටී. ඒ මහත්මිය සිළුමිණට පැවසූ අදහස් මෙසේ ඉදිරිපත් කරමු. සුරාවට විරුද්ධ වනිතා පරපුරක් සිටින අපේ රටේ ප්‍රථම සුරා බදු කොමසාරිස් ජනරාල්වරිය කෙසේ කටයුතු කරයිද? සැමගේ බලාපොරොත්තුව පිරිමියකුට බැරි වුණත් කාන්තාවක් ලෙස රටේ ඇති හොර නීති විරෝධී මත්පැන් ව්‍යාපාර මුලිනුපුටා දමා කාන්තා පරපුර ඇතුළු සැමට සහනයක් ලබාදී රටේ ඉදිරි ගමනට උදව් කිරීමට ඇයට හැකිවනු ඇති බවයි. අපි දැන් ඇය සමඟ කථා කරමු.

* හොර සුරා අල්ලන්න මමත් එළියට බහිනවා
* සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතුයි
* අලුත් සැලසුමක් අනුව රටේ ම මත් හොරු අල්ලනවා
* ගෙදරදීම වගකීම් දැරීමට ගැහැනු දරුවන් යොමු කළොත් අනාගතය දීප්තිමත් වේවි

ඔබගේ සම්පූර්ණ නම?

කාමරංගා හැන්හැදිගේ හෙලන් ඇනස්ටා මීගස්මුල්ල.

ඉපදුණේ කොහෙද?

මම ඉපදුණේ කොළඹ. මහගෙවල් බළන්ගොඩ අලුත්නුවර.

ඔබතුමියගේ ස්වාමි පුරුෂයාත් මේ රටේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් නේද?

මගේ මහත්තයා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල.

කොහොමද ඔබ දෙදෙන විවාහ වුණේ?

මම ඉගෙන ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ. මහත්තයා ඉගෙන ගත්තේ පේරාදෙණිය සරසවියේ.

1984 තිබුණු පරිපාලන සේවය විවෘත තරග විභගයට අපි දෙන්නා ඉදිරිපත් වුණා. එකට අපි ලිව්වේ. නමුත් අපි දැන හැඳින ගෙන විවාහය දක්වා ගමන යෑමට අඩිතාලම වැටුණේ පත්වීම් දීමට පෙර තිබූ වසරක පුහුණු කාලෙදි. මම 1985 මාර්තු 19 වැනිදා රාජ්‍ය පරිපාලන සේවයට පත්වුණා. අපේ විවාහය සිදුවුණේ 1986 දි.

මුල්ම පත්වීම කොහාටද ලැබුණේ?

මුල්ම පත්වීම ලැබුණේ කොළඹ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයට. ඊට පස්සේ මොනරාගල පේෂකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස. මහත්තයා එතකොට මොනරාගල ප්‍රාදේශීය ලේකම් 1990 සිට ඌව පළාතේ පේෂකර්ම අධ්‍යක්ෂ. ඊට පස්සේ මහනුවර පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ. මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්, මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය කොමසාරිස්, මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය කොමසාරිස් ලෙස කටයුතු කළා. 2002 සිට 2005 අතර අකුරණ ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙසත් 2005 සිට 2007 වනතුරු මහනුවර මහ නගර නාගරික කොමසාරිස් ලෙසත් කටයුතු කළා. 2007 සිට 2010 මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළා.

ඔබතුමිය දිසාපති තනතුරුවලටත් පත්වුණා. ඊට පසුව?

ඔව්. මම 2010 සිට 2015 දක්වා මාතලේ මහ දිසාපතිනිය ලෙස හා 2015 සිට 2017 සැප්තැම්බර් 18 තෙක් නුවරඑළිය දිසාපතිනිය ලෙස කටයුතු කළා.

මම මේ අනුව වසර 32 ක් පරිපාලන සේවයේ ඉඳල ඉහළ තනතුරු දරලා ලොකු අභියෝග රැසකට මුහුණ දීලා තිබෙනවා. මම දිගටම කටයුතු කළේ ජනතාව සමඟ ගැටෙමින් ජනතාවගේ ගැටලුවලට පිළිතුරු සොයමින්. මේ කාලෙදි මම අවුරුදු 31ක්ම හිටියේ ප්‍රධාන ක්ෂේත්‍ර 3ක. ප්‍රාදේශීය පාලනය, දිස්ත්‍රික්ක පාලනය හා පළාත් සභා පාලනය. ඊට අමතරව මම පළාත් පාලන ආයතනවලත් හිටියා.

ඔබ අතීතයේ කළ වැඩ පිළිබඳව ස්මරණය කළොත්?

ඔව් මම දිස්ත්‍රික්ක පහක හුඟක් වැඩ කරල තිබෙනවා. මොනරාගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල.

මෙයින් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ කරන විට මාතලේ මිනිස්සු දියුණු වෙන්න ආස කරන අය බව පෙනුණා. නුවරඑළියේ අයත් එහෙමයි. මේ දෙකේ ම දිස්ත්‍රික් දෙකේම අයට හුඟක් ජීවනෝපාය සංවර්ධනයට වැඩ කළා. මාතලේ ලොකු ලූනු වගාවන් හොඳින් ක්‍රියාත්මක කිරීමට අලුත් වගා වැඩපිළිවෙළක් මම හඳුන්වා දුන්නා

නුවරඑළියේ ඉන්නෙ වැඩිපුර වතු ජනතාව. ඒ අයගෙ ප්‍රශ්න ගොඩයි. මම නුවරඑළියේ සමෘද්ධි බැංකු 35 දියුණු කිරීමට ඒවා ළඟටම ගිහිල්ලා බලලා අලුත් දිරිමත් කිරීම් කළා. එහි ප්‍රධාන පරමාර්ථය වුණේ දිස්ත්‍රික්කයේ පොදු ජීවනෝපාය සංවර්ධනයයි. එයින් අපි ප්‍රතිඵල ලැබුවා.

ඔබතුමිය නුවරඑළියේ වැඩ කරන විට මතට තිත වැඩසටහන හොඳින් ක්‍රියාවට නැංවූවා කියලා දැනගන්නට තිබෙනවා?

ඔව්. නුවරඑළිය ජනතාවට සිංහල, දෙමළ කියල භේද නැතිව මම උදව් කළා. විශේෂයෙන් වතු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මං කටයුතු කළා. මාව හමුවීමට එන වතු ජනතාවට මම පෙන්වා දුන්නු දෙයක් තමයි මතට වියදම් කරන මුදල අඩු කළොත් ඒ අයට හොඳ ජීවන ගමනක් මුල්‍ය කළමනාකරණයක් ඇතිව ගෙන යන්න පුළුවන් කියලා.

කොත්මලේ තිබෙනවා විශාල තැබෑරුමක්. ඒකේ ටෙන්ඩර් එක කෝටි ගණනකට යන්නේ. ඒ කියන්නේ ඒක ඒ මුදලාලිලා ඒ මුදලට ගන්නේ අපේ ජනතාව ඒ මතට ඇබ්බැහි වීම නිසාත් ඉන් ලාභ ගන්න නිසාත්නේ.

මේ අනුව සොයා බලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල මතේ ආදීනව පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා පෝෂණ වැඩසටහන් ද මම ක්‍රියාවට නැංවූවා. ග්‍රාම නිලධාරි සංවර්ධන නිලධාරි මඟින් මත්ද්‍රව්‍ය නිසා පවුලට වන හානිය සමාජයට, දූ දරුවන්ට වන හානිය පිළිබඳවත පණිවුඩය හා දැනුම්වත් කිරීම් ඒ පවුල්වලටම ගෙන ගියා. මතට ඇබ්බැහිවීම තරමක් අඩු කරන්න අපිට මේ වැඩසටහන් වලින් පුළුවන් වුණා.

මෙවැනි වසර 31 ක් ජනතාවට විවිධ ක්ෂේත්‍රවල වැඩ කළ ඔබට අලුත් තනතුර අභියෝගයක් ද?

මට මේක ලොකු අභියෝගයක් නෙමෙයි. මම අවුරුදු 31 ක් රාජ්‍ය සේවයේ පන්නරය ලබලා ඉන්නේ.

කෙසේ වුවත් මේ තනතුර අභියෝගාත්මක තනතුරක්. කාන්තාවක් ලෙස මම තමයි මේ තනතුරට මුලින් ම පත්වුණේ. මෙතන තිබෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ගත සේවාවක්. ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන බොහොම බලගතු පනත් මඟින් බලතල පැවරුණු ආයතනයක් මේක. 1800 කින් යුත් දක්ෂ කාර්ය මණ්ඩලයක් අපට ඉන්නවා. අපි නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනය කිරීම ඒවා කරන අයට දඬුවම් හා දඩ නියම කිරීම, උසාවියේ නඩු පැවරීම කරන අතරම සුරා බද්ද මඟින් රජයට ලොකු ආදායමක් ලබා දෙනවා. නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදනාගාරවලින් මත්පැන් හල්වලින් මත්පැන් විකුණන තැන්වලින් අපි බදු ගන්නවා. අපේ යුතුකම ඒ බද්ද හරියට නිවැරැදිව හරි වෙලාවට හරි විධියට සමාන ලෙස අරගෙන මහා භාණ්ඩාගාරයට ලබාදීමයි‍. ඒ ආදායම වෙන වෙන අයගේ අත්වලට යෑම වළක්වන්න ඕන. ඒ ආදායම අපි හරියට ගණනය කර අය කර ගත යුතුයි.

ශරීර සෞඛ්‍යයට හිතකර නොවන මත්පැන් මත්ද්‍රව්‍ය, සෞඛ්‍යයට අහිතකර මත්ද්‍රව්‍ය අපි වැටලීම් කළ යුතුයි. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට ද අපි යා යුතුයි‍. ඒකයි මගේ අරමුණ. අපි මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩසටහනකටත් දිගටම යා යුතුයි. ඒ මඟින් අපේ රටේ ජනතාව නීති විරෝධී වස විස සහිත මත්පැන් බීලා මත්ද්‍රව්‍ය අරන් ලෙඩ හදාගත්තම ඒවා සුව කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට යන වියදම අඩු කර රජයේ වියදම අඩු කරන්න පුළුවන්.

අපි ස්ප්‍රීතු ගෙන්වීම, මත්ද්‍රව්‍ය නිපදවීම, බෙදා හැරීම සහ වෙළෙඳාම පාලනය කරනවා. අපි ‍මේවා තවදුරටත් නියාමනය කළ යුතුයි. අපේ දෙපාර්තමේන්තුවේ 1800 ක් විතර නිලධාරීන් ඉන්නවා. නමුත් ඉහත නියාමනය නිසි පරිදි සිදුවෙනවාද කියා සොයා බැලිය යුතුයි. ඒ සඳහා මම මේ ආයතනයේ කටයුතු තවදුරටත් අධ්‍යයනය කරලා අලුත් සැලසුම් සකස් කරනවා. ඒකට මෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගන්නවා.

මේ ඔබ කියන්නේ මේ අලුත් තනතුරේ කටයුතු කිරීමට දැන්ම සැලසුම් සකස් කර තිබෙන බවද?

මම තවම වැඩ බාරගෙන දවස් 3 යි. ඒත් මම යම් යම් සැලසුම් දැනටමත් හදලා තිබෙනවා, අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු කාර්යක්ෂම ලෙස ඉෂ්ට සිද්ධ කිරීමට හා අපේ රටේ ජනතාව විස මත්පැන් මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමට. මේ වැඩකටයුතු කිරීම බොහෝ අභියෝගාත්මක එකක් නමුත් අවුරුදු 32 ක් ජනතාව එක්ක ඉඳලා ලබා තිබෙන දැනුමත් එක්ක මේ අලුත් වැඩ ගැටලුවක් වෙන්නේ නැහැ. විශේෂයෙන් මම හිතන්නේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය මණ්ඩලය මට මේ පත්වීම දුන්නේ මා ගැන විශ්වාසයක් තියලයි. විශේෂයෙන් ගරු ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතායි මේ පත්වීමට මා නිර්දේශ කළේ. එතුමා තමයි මාව පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැම්මේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමා මේ සියලු ආදායම් එකතු කිරීමේ වගකීම් දරනවා. අපි අයිති මුදල් අමාත්‍යාංශයට. ඒ අය මා ගැන යම් බලාපොරොත්තුවක් විශ්වාසයක් තියාගෙන තමයිනේ මාව දැම්මේ. ඒ නිසා මම මේක හරියට කරනවා. මට මේ වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙන්නෙත් නැහැ. ඒ නිසා මට දීලා තිබෙන තනතුර උපරිම මට්ටමින් සිදු කිරීමට මම කටයුතු කරනවා.

ඔබතුමියගේ දෙපාර්තමේන්තුවේ බලතල අනුව මොන නීති රීති අනුව ද වැටලීම් ආදිය සිදු කිරීමට කටයුතු කරන්නේ?

අපිට සුරාබදු ආඥා පනත අනුව හා වස විස අබිං ආඥා පනත අනුව සියලු කටයුතු කරන්න පුළුවන්. නීති වි‍රෝධී මත්පැන්, ගංජා, අබිං කංසා මත්කුඩු ආදී සියල්ල මැඩලීමට වැටලීමට අපිට කටයුතු කරන්න පූර්ණ බලතල තිබෙනවා. ඒ විතරක් නෙමේ අපි යටතේ තිබෙන නිත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනාගාරවලින් ඇත්තටම අපිට නියම බදු ලැබෙනවාද කියලා අපි සොයා බැලිය යුතුයි.

රටේ එක එක ආයතන අපෙන් ස්ප්‍රීතු ප්‍රවාහනයට බලපත්‍ර ඉල්ලනවා. අරිෂ්ඨ හැදීමට හා අත්‍යවශ්‍ය නිෂ්පාදන කටයුතුවලට බැරිම විට ඒකට අපි අවසර දෙනවා. ඒත් අපි අවසර දෙන බෝතල් ගණන පමණක් ද ප්‍රවාහනය කරන්නේ කියා පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ඕනෑ. ඒ වගේ සිදුරුවලින් සුරාබදු හොරු පනින්න පුළුවන්. රජයේ ආයතනවලත් කාලයක් ඒ වංචා කරන අය ඉන්න පුළුවන්. ඒ අනුව මේ නිත්‍යනුකූල යැයි කියන බලපත්‍ර සහිත මත්පැන් ප්‍රවාහනය පිළිබඳවත් අපි මීට වඩා විමර්ශනය කළ යුතුයි. බලපත්‍ර අනුමත කරන විට මම නියම කරනවා, ඒ අය ගේන ප්‍රමාණය පරීක්ෂා කරන ලෙසට...

දෙපාර්තමේන්තුව නවීකරණයට අලුත් වැඩපිළිවෙළක් ඔබතුමිය යෝජනා කරනවද?

අලුත් වැඩපිළි‍ෙවළ රැසක් තිබෙනවා. මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් 20 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතර දෙපාර්තමේන්තුගත අය ඉන්නවා‍. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අය ඉන්නවා. මේ අයට අපේ ප්‍රධාන අරමුණ ඉටු කර ගැනීම සඳහා වූ අපේ රාජකාරිය නිසි පරිදි වගකීමක් ඇතිව ඒ අයට බෙදා වෙන් කිරීමට මම කටයුතු කරනවා. දැන් තිබෙන විධියට සමහර ඉහළ නිලධාරීන් දෙන්නෙක් ම එකම විෂය අනුව කටයුතු කරනවා. සමහර වැඩ කිරීමට එක් කෙනෙක්වත් නැහැ. ඒ නිසා සංවිධාන ව්‍යුහය හා ඒ අයට රාජකාරි පැවරීම විධිමත් කිරීම මම දැන්ම පටන් අරන් තිබෙනවා.

ඒ අනුව දැනට තිබෙන තත්ත්වය අධ්‍යයනය කරලා ඉතා ඉක්මනින් අපේ අරමුණු ඉටු කරගැනීමට කටයුතු කරනවා. මෙහිදී නිවැරැදි ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනවලින් බදු අය කිරීම, නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය වැටලීම සුරා බදු හොරු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම මත්ද්‍රව්‍ය නිවාරණය නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ඊට සම්බන්ධ කටයුතු පිළිබඳව ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලයට හා ජනතාව එවන මහජන පැමිණිලි සඳහා සුදුසු පියවර ගැනීම හා ඊට අදාළ වැටලීම් කිරීම ආදිය කාර්යක්ෂම හා විධිමත් කිරීමටයි මගේ අදහස.

ඔබට මේ සඳහා හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවාද?

ඔව්. මගේ මුළු කාර්ය මණ්ඩලය 1800 යි. ඒ අතර අපට තිබෙනවා විශේෂ වැටලීම් ඒකකයක්. ඒකේ 31 ක් ඉන්නවා. ඒ අයට ලංකාවේ ඕනෑම තැනක වැටලීම් කරන්න පුළුවන්. මම ඒ ඒකකයේ ප්‍රධානියා වන චන්න ජේ.ජේ. වීරක්කොඩි සුරාබදු අධිකාරිවරයාට එන්න කියලා ඔවුන්ව ධෛර්යවත් කළා. වැටලීම් තව තව කිරීමට ඔවුන්ට සියලු උදව් මම ලබා දෙනවා.

මට කාමරේම ඉඳලා පුරුදු නැහැ. මට අවුරුදු 31 ක් වැඩ කළේ ජනතාව එක්ක. ජනතාවගේ ගැටලු විසදමින්. මේ තනතුර කාමරයකට සීමා වුණත් මට කාමරයේම ඉන්න පමණක් අපේක්ෂා කරන්නේ නැහැ. මම එළියට බැහැලා අපේ දෙපාර්තමේන්තු අරමුණු ඉටු කිරීමට ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට මමත් එක්වෙනවා. නිලධාරීන් ධෛර්යවත් කරනවා.

මට පත්වීම් රජය දීලා තිබෙන්නේ. “ඔබ මේ තනතුර ජනතාව වෙනුවෙන් කරන භාරයක් හැටියට ඉටු කරන්න.” කියලා. ඒක මං කරනවා නැත්නම් මගෙන් වැඩක් නැහැනේ.

විශේෂයෙන් අද නීති විරෝධී මත්පැන් මත්කුඩු මත්ද්‍රව්‍ය නිසා වැඩිපුර හඬා වැටෙන්නේ, දුක් විදින්නේ කාන්තා පරපුරයි. මේ නිසා අම්මලා දුවලා භාර්යාවන් ගම්වල නගරවල අද බහුලව දුක් විඳිනවා. සමහර විට මේ නරක පුරුදු එක් පවුලක එක් කෙනෙක් කළාම පවුලම විනාශයි. මේ තත්ත්වය මුලුනුපුටා දැමීමට නීති වි‍රෝධී මතට තිත තැබීමට මම උපරිම ලෙස කාන්තාවක් වෙනුවෙන් වැඩ කරනවා.

අර ඔබ නුවරඑළියේ කටයුතු කළ අයුරින් ජනතාව මත්ද්‍රව්‍යවලට මුදා ගැනීමට දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අදහසක් නැද්ද?

අපි ඒක කරනවා මතට තිත වැඩසටහන අනුව අපේ ආයතනයෙන් දිගටම කටයුතු කරනවා ඒකට. මට උදව් දෙනවා‍. මේ සියලු කටයුතුවලින් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට තිත තැබීම මට අමාරු දෙයක් වෙන්නේ නැහැයි කියලා සිතනවා.

ලබන 25 වැනිදා පොලොන්නරුව, තමන්කඩුව ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් තියෙනවා. මම ඒකට සහභාගි වෙනවා. මතට තිත තියන්න කරන හැම වැඩ සටහනටම මම දිගටම උදව් දෙනවා. එක් වෙනවා.

ඔබතුමිය වසර 25 - 30 ක් මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරුවල කටයුතු කළා. විශේෂ‍යෙන් වසර 7 ක් දිස්ත්‍රික් ලේකම් වරියක ලෙසත් කටයුතු කළා. දැන් අලුතෙන් ඔබ මෙරට ප්‍රථම සුරාබදු කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වී තිබෙනවා. කාන්තාවක් ලෙස ඔබේ ජයග්‍රාහී ඉදිරි ගමන පිළිබඳව අපේ තරුණියන්ටත් කාන්තා පරපුරටත් ඔබ තුමිය දෙන පණිවිඩය කුමක්ද?

ඉහළ අධ්‍යාපනයක් ලැබීමත් අවංකව වැඩකිරීමට හැකියාවක්, වගකීම් දැරීමේ පුරුද්දක්, එඩිතර කමක් තිබෙනවා නම් අද අපේ තරුණියන්ට කාන්තා පරපුරට මේ රටේ ඉහළම තනතුරුවලට යන්න ඉඩකඩ තිබෙනවා. අපේ අම්මලා, තාත්තලා තම දියණිය ඉහළ නිලධාරිනියක් ඉහළ විද්වතියක් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට ගෙදරදීම වගකීම් බාරදී ඒවා දැරීමට අවබෝධය ලබාදිය යුතුයි. සමාජ හැසිරීම් රටා ආගමික දේශපාලන ගැටලු ජනතා අභිමතාර්ථ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අද කාන්තාවට අත්‍යවශ්‍ය දෙයක්. සමාජය සමඟ ගැටීම ජනතාව සමඟ වැඩ කිරීම අත්‍යවශ්‍යයි. රාජකාරි කරන කොට ලැබෙන අත්දැකීම් මඟින් දැනුම හා ඥානය දියුණු කරගෙන උපේක්ෂා ලෙස කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. අපටත් ගැටලු තිබුණා. ඉදිරියටත් එයි. ඒත් ආත්ම ශක්තිය ඇතිව අවංකව සත්‍ය ගවේෂණය කර කටයුතු කළොත් මේ ර‍ෙට් ඕනෑම ඉහළ තනතුරකට අපේ ලලනා පරපුරට එන්න අවස්ථාව තිබෙනවා.

ඡායාරූප - මහින්ද විතානච්චි

Comments