
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සඳුදා එක ම රථයකින් ගමන් කොට, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික උත්සවයකට සහභාගි වූ හ. 'V -2025: පොහොසත් රටක්' යන තේමාවෙන් රටේ ඉදිරි දැක්ම එළිදැක්වීම වෙනුවෙන් ඒ ජාතික උත්සවය සංවිධානය කර තිබිණි. සංකේතාත්මකව ගත් කල ජනපති හා අගමැති එසේ එකට ගමන් ගැනීම වටිනා ආදර්ශයකි. වෙන මොන දේ තිබුණත් රටේ ඉදිරි ගමනට නැතිව ම බැරි 'එක්ව ගමනක්' හෙවත් එක් අරමුණකට ගමන් කිරීම ජනසමාජයෙන් විද්‍යමාන නොවන බැවිනි. රට පෙරට ගන්නා අරමුණකට ශ්‍රී ලාංකික ජන සමාජය ගොනු නොවීම කෙරෙහි පක්ෂ දේශපාලනයේ බෙදීම විශාල දායකත්වයක් දරන බැවින්, ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා මෙවැනි ආදර්ශයක් සැපයීම යනු බෙදීම් - බිඳීම් යා කරන්නට දෙන අනුබලයකි.
ආසියාවේ පළමු වතාවට, පක්ෂ දේශපාලනය පවතින රටක, ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව සම්මුතිවාදි ආණ්ඩුවක් පවත්වා ගෙන යමින් සිටින මේ අවස්ථාවේ ඒ ආදර්ශයට ලැබෙන්නේ අමිල වටිනාකමකි. සම්මුතිවාදි දේශපාලනය එක්ව ගමනකි. එහි අරමුණ රට හමුවේ ඇති අභියෝග ජය ගෙන අනාගත පරපුරට පොහොසත් රටක් තනා දීම යි. අභියෝග මොනවා දැ යි අසන අයට රට පැටලී ඇති ණය උගුල ගැන සිහිපත් කර ගැනීම වුව ද සෑහේ. සම්මුතිවාදය කුමට දැ යි යනුවෙන් ප්‍රශ්න නඟන අයත්, තනි පක්ෂයකින් ආණ්ඩු හදන්නට සිහින දකින අයත් මේ කරන්නේ ණය උගුල වැනි නූල් බෝල පැටලීම විවිධ පැතිවලට ඇද ගැටලුව තව තවත් සංකීර්ණ කිරීම යි. 'වොයිස් කට්' මාධ්‍ය පිනවීම සඳහා තම පෞද්ගලික න්‍යායපත්‍ර මත ප්‍රකාශ නිකුත් කරන මැති ඇමැතිවරුන් ද ආණ්ඩු ඇතුළේ ආණ්ඩු හදා පුරුදු, රටේ ඉදිරි ගමනට බාධා වූ කල්ලි කණ්ඩායම් ද කරන්නේ විවිධ පැතිවලින් අදිමින් අභියෝගය හෝ ගැටලුව හෝ තව තවත් පැටලැවීම යි. රටේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා රට පෙරට ගත් අරමුණින් එකට ගමන් කිරීම ආදර්ශයක් හෝ අමිල වටිනාකමක් හෝ වන්නේ ජන සමාජය බෙදීමට දක්වන නැඹුරුවක් සහිත රටේ පවතින මේ ස්වභාවය ද නිසා ය.
පුද්ගල කල්ලි - කණ්ඩායම්වල හෝ පක්ෂයක හෝ න්‍යායපත්‍රය පෙරට ගත් විට රට දෙවැනි තැනට වැටෙයි. එවිට රට හමුවේ එන අභියෝග නොපෙනී යනවා පමණක් නො ව, ඊට සමාන්තරව ගැටලු අර්බුද ද මෝරා යයි. එබැවින් පෞද්ගලික වත්, සමාජයක් ලෙසත් පළමුව කල්පනා කළ යුත්තේ රට ගැනයි. 'වෙන්ව ගමන් කරමු - එක්ව පහර දෙමු' යන සුප්‍රකට දේශපාලන න්‍යාය අනුව ගත් කල දේශපාලන පක්ෂවල අනන්‍යතාව හෝ ජාතීන් අතර සංස්කෘතික විවිධත්වය හෝ වෙන්ව ගමන් කිරීමට එකඟ විය හැකි යි. ණය උගුලෙන් බේරීම, සහජීවනයෙන් ජීවත් වීම, වැනි රට හමුවේ ඇති පොදු අභියෝග ජය ගැනීම පොදු සතුරා නො ව, පොදු අරමුණ බවට පත් කර ගත යුතු යි. විවිධත්වය භුක්ති විඳින අතරේ ම රටක් ලෙස පොදු අරමුණින් ද බැහැර නොවිය යුතු යි. එබැවින් දැන් ඇත්තේ එක්ව පහර දීමක් නො ව, පොදු අරමුණක් වෙනුවෙන් එක්ව ගමනක් යෑම යි. සම්මුතිවාදි ආණ්ඩුවෙන් රටට ලැබෙන යහපත දකින්නට මේ ගමන තවත් ඉදිරියට යා යුතු යැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටට යහපතක් වන, ආනාගතය ආරක්ෂා වන, දේශපාලන ප්‍රතිඵලය අත් පත් කර ගන්නට සිදු වන්නේ ලෙහෙසි මාර්ගයක නොවන බව එයින් සිහිපත් කරයි.
පුද්ගලයකුගේ ගමනක් ගත්තත් ඉදිරියට යෑම පිණිස බලාපොරොත්තුවක් අවශ්‍ය වෙයි; සිහිනයක් තිබිය යුතු යි. පුද්ගලයන් එකතුවකින් සෑදෙන රටේ සමාජයටත් ඉදිරියට යෑම පිණිස එවැනි බලාපොරොත්තුවක්, සිහිනයක්, දර්ශනයක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. 2015 තෙක් රට පාලනය කළ ආණ්ඩු මේ දැක්ම සදා ගත්තේ මූලික වශයෙන් තම පක්ෂයේ ප්‍රමාණයට යි. එසේත් නැති නම් රටේ නායකයාගේ හෝ නායකයා වටා කල්ලි ගැහෙන කණ්ඩායමේ හෝ සිහිනයකට අනුව යි. 2015ට පෙර දේශපාලනය ඉහළ දායකත්වයක් සපයා දී තිබුණේ ඒ පටු දැක්ම රටේ ම දැක්ම බවට පත් කරන්නට යි. සම්මුති ආණ්ඩුවක අවශ්‍යතාව පහළ වන්නේ එයින් හෙම්බත් වූ සමාජයට යි. රට වෙනුවට පටු පක්ෂ දේශපාලනය පෙරට ගනිමින්, ආණ්ඩු ඇතුළේ ආණ්ඩු හදමින්, පොදු අරමුණ කෙලෙසා රජකම් කළ යුගය 2015 ජනවාරි 8 දා අවසන් කෙරිණි. දැන් ඇත්තේ එක්ව ගමනකි.