ලොව දිගම මාර්ගයේ මරු කපොල්ල හරහා | Page 3 | සිළුමිණ

ලොව දිගම මාර්ගයේ මරු කපොල්ල හරහා

ඇලස්කාවේ ගත කළ දිනකදී එක් රාත්‍රියක කූඩාරමේ නින්දට සැරැසෙද්දී ඩිලන් සොයා පැමිණියේ හැඩි-දැඩි වලසෙකි. එම වලසාගේ ගොදුරක් වීමට ගිය ඩිලන් ගැලවුණේ අනූනවයෙනි.

“මං නිදාගන්න හැදුව විතරයි. නහය කඩා ගෙන යන මහා ගඳක් දැනුණා. අනිවාර්යයෙන්ම වලහෙක් ළඟ ළඟම කියලා මට තේරුණා. මං හුස්ම ගන්න ශබ්දයවත් පිට නොවෙන්න දත්මිටි කාගෙන හිටියා. මට දැනුණා ඌ ළඟ ළඟම තදින් හුස්ම පිටකරමින් මොනවාහරි සොයනවා වගේ. ඌයි මායි අතර තිබුණේ කූඩාරම් රෙද්දේ පරතරය පමණයි. ඒ තරමටම වලහා මගේ ළඟටම ආවා. එදා තරම් මගේ ජීවිතේ අනතුරුදායක මොහොතකට මම කවදාවත් මුහුණ දීලා තිබුණේ නෑ.”

කිසිවක් සිතා ගැනීමට නොහැකිව බිරාන්තව සිටියදී ඔහුට එක්වරම සිහියට නැඟුණේ වලසුන් එළවීමට භාවිත කරන මිරිස් වාෂ්ප ඉසිනයයි. එහෙත් එය ද එක්වර ක්‍රියාත්මක කිරීමට ඩිලන් මැළි වූයේ එයද අවදානම් ක්‍රියාවක් වන හෙයිනි.

“මම හුස්ම තද කරගෙන ටික වේලාවක් හිටියා. පස්සෙ මට දැනුණා වලහා බෲස් නතර කරලා තිබුණ තැනට ගිහින් පෙට්ටි පහුරු ගානවා වගේ. මොහොතක් ගියේ නෑ මේකා බෲස්වත් පෙරළලා දැම්මා මහ හඬක් නඟමින්. මට දැන් තවත් බයයි ඌට මොනවාහරි කෑමට සොයාගන්න බැරිවුණොත් ඇතිවන තරහත් එක්ක මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ කියලා. ඊට පස්සෙ ඉතින් මට වෙන දේත් හිතාගත හැකිනේ.”

ඒ අතරේ ඩිලන් නිශ්චය කළේ වලහා සිටිනුයේ බෲස් අසල බවටයි. ඒ අනුව බෲස් නතර කර තිබෙන තැන ගැන හොඳ අවධානයකින් සිටි ඩිලන් මිරිස් විදිනයත් අතැතිව සීරුමාරුවට එක්වරම ක්‍රියාත්මක වූයේ දැඩි අවදානමක් ගනිමිනි.

“ඇත්තටම කිව්වොත් මගේ අතපය වෙවුලුවා ඒ මොහොතේ. මොකද තවත් වලස්සු අවට ඉන්නවද කියලත් මම දන්නෙ නෑ. ඒත් මට ඒ වෙලාවේ කරන්න තිබුණ එකම දෙය උෟ බය කරලා පන්නන එක පමණයි. මං මිරිස් විදිනයත් අරගෙන හිමීන් සැරේ කූඩාරමේ දොර විවෘත කළා. මං දැක්කා ඌ බෲස් ගාව පහුරු ගගා ඉන්නවා. මං කෑගහගෙන අතපය විසි කරමින් කූඩාරමෙන් එළියට පැන්නා. වලහා එකපාරටම හැරුණා. තත්පර ගාණක් බලාගෙන හිටියා මා දිහා. මං හිතුවා ඉවර තමයි කියලා. දන්නවද ඌ මොකක්ද කළේ කියලා. මගේ වාසනාවට වගේ ඒකා අනෙක් පැත්තට හැරිලා කැලේ කඩාගෙන පැනලා දිව්වා. සතුට ඉහිලුම් නැතිව මං කළේ හුඟ වෙලාවක් කෑගසමින් සිටිය එකයි. මොකද නැත්නම් ඌ ආයිත් ආවොත්.” එදින නිදා ගැනීමද පසෙකලු ඩිලන් කූඩාරමද ගලවාගෙන විදුලි වේගයෙන් එම ඉසව්වෙන් නික්ම ගියේය.

එවැනි ත්‍රාසජනක අත්දැකීම් රාශියක් විඳිමින් ඇලස්කාවෙන් නික්මුණු ඩිලන් නැවතත් පා තැබුවේ කැනඩාවටයි. එහිදී ඔහුගේ මතකයට නැඟුණේ ඇලස්කාවට යන ගමනේදී කැනඩාවේදී මුණගැසුණු ග්‍රේග්ය. එදින ග්‍රේග් කළ ආරාධනාව අනුව ඩිලන් තීන්දු කළේ ග්‍රේග්ගේ නිවෙස සොයා යෑමටය.

“ග්‍රේග්ගේ ගේ හොයාගෙන ගියාම ඔහුට පුදුමයි මං ආව එක ගැන. මට රජ සැලැකිලි. කෑම-බීම, ඉඳුම්-හිටුම් ඉස්තරම්. මටත් ඉතින් හරිම සතුටුයි ඔහුගෙන් ලැබුණු සැලැකිලි ගැන. මොකද මං මාසයක පමණ කාලයක් ඇලස්කාවේ ශීතලත් එක්ක අමාරු කාලයක් ගෙව්වේ. ඒ හැටි කෑමක්-බීමක් වුණත් ඒ කාලෙදි ලැබුණේ නැහැ.”

ග්‍රේග්ගේ ආරාධනාව අනුව දින කිහිපයක් දෙදෙනා කැනඩාවේ වනාන්තර පීරමින් සයිකල් සවාරියක්ද ගියෝය. එ් අතරතුරදී ග්‍රේග් විමසුවේ ඩිලන්ගේ ගමනේ ඉදිරි ගමන්මඟ ගැනය. එහිදී ඔහුට ග්‍රේග් වෙතින් ෆෑන් ඇමෙරිකන් මාර්ගය ගැන දැන ගැනීමට ලැබිණි.

ඩිලන් නිශ්චිත ගමන් මාර්ගයක යන්නේ යැයි තීන්දු කර නැති නිසා ඔහුට මාර්ග හෝ රටවල් ගැන ඉදිරි සැලැසුම් නොතිබිණ. ෆෑන් ඇමෙරිකන් මාර්ගය ගැන කන වැකීමත් සමඟ ටිකෙන් ටික ඒ ගැන ඔහුගේ අවධානය යොමු විය.

ෆෑන් ඇමෙරිකන් අධිවේගී මාර්ගය යනු ලොව තිබෙන එක දිගට ගමන් කළ හැකි දිගම මාර්ගය වේ. ඇලස්කාවේ පෘදෝ බොක්කේ සිට දකුණු අාර්ජන්ටිනාවේ උෂුඅායා දක්වා දිවෙන එම මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 48000කි. ග්‍රේග් ද එම මාර්ගයේ කැනඩාවේ සිට අර්ජන්ටිනාව දක්වා සයිකල් සවාරියක් ගොස් තිබිණි. එම නිසා ඔහු එම මාර්ගය ගැන මනා දැනුමකින් යුතු විය.

“ඩිලන් ඔයා ඔය මාර්ගයේ පහළටම ගමන් කරන්න හිතනවානම් දැන්මම රුවල් බෝට්ටුවක් හොයාගෙන වෙන්කර ගන්න වෙයි.” යනුවෙන් ග්‍රේග් පවසද්දී අධිවේගී මාර්ගයක ගමනට රුවල් බෝට්ටුවක් කුමකටදැයි වටහා ගත නොවුණු ඩිලන් තුෂ්ණිම්භූත විය.

මධ්‍යම ඇමෙරිකාවේ පැනමාවත්, දකුණු ඇමෙරිකාවේ කොළොම්බියාවත් අතර කිලෝමීටර් එකසිය හැටක පමණ දුර මහ ගන වනාන්තරයකින් යුතු හෙයින් එහි ගොඩබිම් මාර්ගයක් නොමැත. එම බිම්කඩ හැඳින්වෙන්නේ දාරියන් කපොල්ල යනුවෙනි. ඒ හරහා ගමනාගමනය සිදු වනුයේ පැසිෆික් සාගරයෙන් හෝ අත්ලාන්තික් සාගරයෙනි. ගුවනින් ඒ හරහා නොයන හැමෝටම සාගරය තරණය කිරීමට හෝ ඇමේසන් ගංගාව තරණය කිරීමට සිදු වේ.

ලොව තිබෙන එවැනි ප්‍රධානම මාර්ගයක වනාන්තර කපොල්ලක් පිහිටා තිබීමට හේතුව ද ග්‍රේග් ඩිලන්ට පැවසීය.

ඒ රටවල් දෙක අතර ගොඩබිම් මාර්ගයක් ඉදිකරන්න කීප වරක්ම උත්සාහ කර තියෙනවා. ඒත් පරිසර පද්ධති විනාශ වීම, කැලේ ගෝත්‍රිකයන්ගේ වාසස්ථාන හෙළි වීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වගේම දකුණු ඇමෙරිකාවෙන් එන බෝවන රෝගීන් නිසා තමයි ඔය කපොල්ල එලෙසම තියෙන්නෙ.”

දාරියන් කපොල්ල ගැන කන වැකීමත් සමඟින් ඩිලන්ගේ සිත කැලඹුණේ යතුරුපැදියකුත් සමඟ තමා එම කපොල්ල තරණය කරමින් ලෝක සවාරියේ යන්නේ කෙසේද කියායි. එලෙස සිතමින් නින්දට වැටුණු ඩිලන් පසුදා අවදි වූයේ නවමු සිතුවිල්ලක් ද සමඟිනි. “මං පහුරක් හදාගෙන පැසිෆික් සාගරයෙන් ගොස් දාරියන් කපොල්ල පනිනවා.”

“ඔයානම් පිස්සෙක්... හොඳම පිස්සෙක්... ඔයා දන්නවද ඒක මහමුහුද... ඒ හරියේ මිනිස්සුත් එච්චර හොඳ අය නෙවේ.” ඩිලන්ගේ ‍කතාව ඇසූ ග්‍රේග් පැවසීය.

එසේ වුවද ඩිලන්ට අවශ්‍ය වූයේ ලෝක සංචාරයේදී වික්‍රමාන්විතයක් කරමින් ත්‍රාසජනක අත්දැකීමක් ලැබීමටයි.

අනතුරුව කැනඩාවෙන් ඇමෙරිකාවේ බටහිර දෙස කැලිෆෝනියාවෙන් මෙක්සිකෝවට සේන්දු වූ ඩිලන් ‍ග්වාතමාලාව, හොන්ඩුරාස්, නිකරගුවා, කොස්ටරිකා ආදි රටවල සංචාරය කරමින් මධ්‍යම ඇමෙරිකාවේ පැනමාවට පැමිණියේය. ඒ එන අතරතුරද ඩිලන්ගේ සිතේ රඟ දුන්නේ දාරියන් කපොල්ල තරණය කරන ක්‍රමයක් ගැනය.

“පස්සේ මම දැඩි තීන්දුවකට ආවා පහුරක් හදාගෙන මේක තරණය කරනවාමයි කියලා. මොකද බෝට්ටුවක් අරන් මේ ගමන යන්න තරම් මට වත්කමක් තිබුණෙත් නැහැ. ඒ වගේම මට හැම තිස්සෙම ඕනෑකමකුත් තිබුණා මේ ගමනේදී අමුතුම දෙයක් කරන්න. පස්සෙ මං දිගින් දිගටම හිතුවේ මේ පහුර හදන්නෙ කොහොමද කියලයි”

පසුව ඔහු පහුරක් හැදීමට රටවල් කීපයකදීම අවශ්‍ය කළමනා එක්රැස් කරගත්තේ අහම්බෙන් හමුවූ මිත්‍රයන්ගේ උදවු අතැතිවය.

“මං ඉතින් එක එක විදිහට හිතුවා පහුරක් හදන්නෙ කොහොමද කියලා. මූලිකවම මගේ අවධානය යොමු වෙලා තිබුණේ අඩු වියදමින් මේ දේ කරගන්නේ කොහොමද කියලා. පස්සෙ මං හිතුවා හිස් තෙල් බැරල් එකතු කරලා පහුරක් හදන්න. තෙල් බැරල් දහයක් අරගෙන දෙපැත්තට පහ ගානෙ තියලා පෑස්සුවා. ඒක උඩ මගේ බෲස් සයිකලේ සවි කළා. ඒකට අවර පෙත්තකුත් මමම හදාගෙන සවි කළා.”

මේ සියලු දේ කරගැනීමට ඩිලන්ට අහම්බෙන් මෙන් හමු වූ මිත්‍රයන් තිදෙනෙක් ගෙන් ලැබුණේ අපමණ සහායකි. ඔවුන් තිදෙනා නොවන්නට මේ පහුරු ගමන ඩිලන්ට සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි. ලාස්ලෝ, ශාක් හා ලයනල් යන ඔවුන් තිදෙනාගෙන් ලයනල් හා ශාක් ප්‍රංශ ජාතිකයෝය. ලාස්ලෝ හංගේරියන් ජාතිකයෙකි. ඔවුන් තිදෙනා ඩිලන්ගේ කුලුපග මිතුරන් වී සති ගණනාවක් පුරා පහුර හැදීමට උදවු කළත් ඔවුන් තිදෙනා අතීතයේදී අපූරු චරිත තුනකි.

Comments

apita karaganna beri pinak kauru hari karana kota anumodan wannase hegeemak kiyawanawita hagee.. liyana amilatat gihipu dilan tat pin.

පිටු