සම්මුතියේ දෙවසර | සිළුමිණ

සම්මුතියේ දෙවසර

 ඇමෙරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා විසින් තබන ලද ට්විටර් පණිවිඩයක් වැඩි ම කැමැත්ත පළ වූවක් ලෙස පසුගියදා වාර්තා විණි. ඔහු එහි දී සටහන් කළේ දකුණු අප්‍රිකාව නව ලෝකය වෙත ගෙනා නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයංචරිතාපදානයේ ඉපිටුමකි. 'සමේ වර්ණය හෝ පසුබිම හෝ ආගම හෝ කෙනකු තවත් කෙනකුට වෛර කිරීමට හේතු නො වේ' යනුවෙන් ඒ උපුටා ගැනීමෙහි විය. එමඟින් සිහිපත් කෙරෙන්නේ සම්මුතිවාදයේ පදනම වන තමන් ළඟ ම අනෙකාට ගෞරව කිරීම ගැන මිස, වෙනත් දෙයක් නො වේ. කළු - සුදු ලෙස දක්වා දරුණු බෙදීමකට ගිය ජාතීන් දෙකක් අතර සම්මුතිවාදය හෝ සංහිඳියාව හෝ ඇති කරන්නට හෝ මුල් වූ නායකයා ලෙස මුළු ලොවේ ම නම තබා ජීවිතයෙන් සමු ගත් නෙල්සන් මැන්ඩෙලා ඒ මඟ පාදා ගත්තේ තමාට උරුම සාම්ප්‍රදායික වටිනාකම් ගැන ස්වයං අධ්‍යයනයකින් බව ද සිය ස්වයංචරිතාපදානයේ සඳහන් කරයි.

සම්මුතිවාදි ආණ්ඩුවක් පිහිටුවා දෙවසරක් සම්පූර්ණ කෙරෙන මෙකල නෙල්සන් මැන්ඩෙලා ගත් මඟ නැවත නැවතත් අවධාරණය කිරීම වැදගත් ය. සාම්ප්‍රදායික සංස්කෘතික වටිනාකම් අභියෝග ජය ගැනීමට ශක්තියක් වූ බවට ඇති ඔහුගේ පිළිගැනීම මෙහි දී අවධාරණය කිරීම වැදගත් වන්නේ ඓතිහාසික නැඹුරුව කැපී පෙනෙන දකුණු ආසියාවේ රටක් ලෙස ශ්‍රී ලංකාව මේ සම්මුතිවාදය වසර සිය ගණනකට පසු - එනම්: බුදුන් වහන්සේගේ කාලයට පසු - යළි අත්හදා බලන බැවිනි.

වර්ණභේදවාදය යනු ජාතීන් අතර දරුණු විරසකයක් ඇති කළ අමානුෂික දැක්මකි. කළු ජාතියට වඩා සුදු ජාතිය උසස් ය, උතුම් ය, යන සම්මතයේ සිට මේ බෙදීම ව්‍යාප්ත වන්නේ බටහිර අධිරාජ්‍යවාදයත් සමඟිනි. අධිරාජ්‍යවාදි පාලනයෙන් නිදහස ලද පසු, වර්ණ‍භේදවාදය නිසා කළු ජාතිකයන් එතෙක් විඳි අප්‍රමාණ වේදනා වෙනුවෙන් සුදු ජාතිකයන්ගෙන් නෙල්සන් මැන්ඩෙලා පළි ගනු ඇතැ යි ලෝකය ම වාගේ සිතා සිටියේ ය. එහෙත් ඔහු ඒ වෙනුවට ගත්තේ 'වෛරයෙන් වෛරය නොසන්සිඳේ' යන මාර්ගය යි; කළු - සුදු ජාතීන් එක ම රටක, එක අරමුණකට බැඳෙන සම්මුතිවාදි මාර්ගය යි. ඒ මඟ ගැනීමට පෙලඹවූ ඓතිහාසික සාධකයක් ලෙස, කුඩා කල යහළුවන් සමඟ කඳු මිටියාවත්වල, තණබිම්වල දුවපැන ගිය සාමූහික බැඳීම ගැන ද වියපත් නෙල්සන් මැන්ඩෙලා ලියා තැබුවේ ය.

'වෛරයෙන් වෛරය නොසන්සිඳේ' යන සම්මුතිවාදි මාර්ගය මෙරට සමාජයට සාම්ප්‍රදායික හුරුවක් සිහිපත් කරන්නක් මිස ආගන්තුක නො වේ. තම ජාතියෙන් ම එල්ල වූ බාධක හමුවේ නෙල්සන් මැන්ඩෙලා ගත් සම්මුතිවාදි මඟ අතිදුෂ්කර වූ නමුත් මෙරට සංස්කෘතියට අනුව එය එතරම් දුෂ්කර විය නොහැකි යි. එහෙත් වසර දෙකක සම්මුතිවාදි ආණ්ඩුකරණය මඟින් පෙන්වන්නේ බලාපොරොත්තු නොවූ තරම් වෙහෙසක්, ආ මඟ වෙනුවෙන් දරන්නට සිදු වූ බව යි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්මුතිවාදයකට යමින් මීට වසර දෙකකට පෙර ගත් මඟ එතරම් වෙහෙසකර වීමෙන් එක් අතකින් පෙන්වන්නේ පක්ෂ දේශපාලනයට මෙරට සමාජය ඇබ්බැහි වී ඇති තරම යි.

නරක යනු නරක දේ ලෙස සම්මත වී ඇති දේ නො ව, සම්මතයට අනුව හොඳ දේට හෝ නරක දේට ඇබ්බැහි වීම බව ද මෙහි දී සිහිපත් කළ යුතු යි. අනෙක් අතට සම්මුතිවාදයට මහා බාධාවක් වී, ඒ මඟ වෙහෙස තව තවත් වැඩි කරන්නේ මාධ්‍ය භාවිතය යි. 'වොයිස් කට්' මාධ්‍ය භාවිතය සිදු කරන්නේ දේශපාලනව බෙදීමේ ඇබ්බැහිය තවදුරටත් පෝෂණය කිරීම යි; එමඟින් විවිධ බෙදීම් ඇති කිරීම යි; තමා ළඟ ම අනෙකා නොරුස්සන, හෙළාදකින තැනකට ජන සමාජය පෙලඹවීම යි. මේ බාධක ඉවසමින් දෙපැත්ත එක් අරමුණකට යොමු කරමින් පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා, ජනාධිපති හා අගමැති හැටියට රටට දෙන නායකත්වය මෙරට දේශපාලන ඉතිහාසයට එක් වන්නේ ස්වර්ණමය සන්ධිස්ථානයක් ලෙස යි.

ජාතියක් ලෙස, රටක් ලෙස ලෝකයත් සමඟ ඉදිරියට යන්නට නම් කවුරුත් එකට, එක අරමුණකට නැඟී සිටිය යුතු වේ. ඒ ගමනට පක්ෂ දේශපාලනය අත්වැලක් නොවන බව දැන් ඉතා පැහැදිලි යි. පක්ෂ දේශපාලනය වෙනුවෙන් බෙදීම මෙතරම් කාලයකට රටට අත් කර දුන් යහපතක් නැතුවා සේ ම, එය යල්පැනගිය බැඳීමක් ද වන බවට ඕනෑවටත් වඩා නිදසුන් රටට ඇත.

ඉතිහාසයෙන්, සම්ප්‍රදායෙන් ඉදිරි ගමනට ගත යුතු වටිනා-කියන උරුමයන් පක්ෂ දේශපාලනයට ඇබ්බැහි වීම නිසා මඟහැරී ඇත. 'වෛරයෙන් වෛරය නොසන්සිඳේ' යන සංස්කෘතික මඟපෙන්වීම ලොව පවතින තාක් කල් යල්පනින්නේ නැති, එහෙත් රටට මඟහැරී ඇති එවැනි ධර්මතාවකි.

ඒ මත ගොඩනඟන සම්මුතිවාදි ආණ්ඩුකරණය රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඇති, සම්ප්‍රදායෙන් ද උරුම කර දුන් වටිනා ම දේශපාලන මාර්ගය යි. මේ මඟ ආගන්තුක තැනකට දමන, එකිනෙකා බෙදන අභියෝගයට රටක් ලෙස ම මුහුණ දිය යුතු වේ. සංස්කෘතික විවිධත්වය එක් ඉලක්කගත ගමනකට යොමු කරන සම්මුතිවාදි ආණ්ඩුකරණය මෙතැනින් ඉදිරියටත් ශක්තිමත් කළ යුතු ම වේ. 

Comments