වැඩිම ආපදාව කුරුණෑගලට | Page 857 | සිළුමිණ

වැඩිම ආපදාව කුරුණෑගලට

 මේ දිනවල පවතින දැඩි නියඟය නිසා දිස්ත්‍රික්ක 18ක පවුල් 35000ක පුද්ගලයන් ලක්ෂ 12ක් පමණ පීඩාවට පත්වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව වැඩිම දෙනෙක් පීඩාවට පත්වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ ප්‍රමාණය පුද්ගලයන් 151000කි. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 140000ක් ද යාපනයේ පුද්ගලයන් 125000ක් ද නියඟය නිසා පීඩාවට පත්වී සිටිති.

කොළඹ, කළුතර, ගාල්ල, නුවරඑළිය හැර අන් සියලු දිස්ත්‍රික්කවල මේ නියඟ තත්ත්වය බල පවත්වන බවත් ඒ ප්‍රදේශවල පානීය ජලය ලබාදීමට බවුසර් 200ක ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදී ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මේ අතර වැස්ස අඩුකම නිසා මහවැලි මහ ජලාශවල ජල මට්ටම පසුගිය සිකුරාදා වනවිට මුළු ධාරිතාවෙන් සියයට 5 දක්වා අඩුවී තිබේ.

ඒ අනුව කවුඩුල්ල හා මොරගහකන්ද ජලාශවල ජල මට්ටම සියයට 5 දක්වා පසුගිය සිකුරාදා වනවිට අඩු වී තිබිණි. ඊට අමතරව රන්ටැඹේ ජලාශයේ ජල මට්ටම සියයට 1 දක්වා අඩු වී ඇති අතර, රන්දෙණිගල ජල මට්ටම සියයට 6 දක්වා ද ගිරිතලේ ජල මට්ටම සියයට 7 දක්වා ද අඩු වී ඇත. වෙන්ඩ්‍රායට ජලාශයේ ජල මට්ටම සියයට 4 දක්වා ද තිසාවැවේ ජල මට්ටම සියයට 12 දක්වා ද කන්තලේ හුරුලුවැව හා නුවරවැව යන ජලාශවල ජල මට්ටම සියයට 13 දක්වා ද අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. 

Comments

පිටු