කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල යුද්ධයෙන් පීඩාවට පත්වූ, අඩු පහසුකම් සහිත දෙමළ, සිංහල හා මුස්ලිම් සිසු සිසුවියන් 500කට "නැණදිරිය" වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මයුරපති අම්මාන් සුභසාධක සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන්පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙහිදී එක් සිසුවෙකුට මාසිකව රැපියල් දහසක් වසර තුනක් පුරා ලැබෙන අතර මයුරපති අම්මාන් සුභසාධක සංගමයේ භාරකරු සුන්දරලිංගම් මහතාගේ මඟ පෙන්වීම මත රැපියල් මිලියන 18ක් ඒ සඳහා වෙන් කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීමක් අනුව මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල පස්වන වසරේ සිට නවවන වසර දක්වා සිසු සිසුවියන්ට මෙලෙස ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
2015දී මයුරපති අම්මාන් සුභසාධක සංගමය ඇරඹූ අතර ඊට පෙර 2014දීද මුලතිව්හි සිසු සිසුවියන්ට රැපියල් මිලියන දෙකක පාසල් උපකරණ බෙදා දුන්නේය. 2015දී උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ඉල්ලීම පරිදි අඩු ආදායම් ලබන පවුල්වලට මහන මැෂින්, පාපැදි, වතුර මෝටර් හා සාරි බෙදා දෙන ලදී. පසුගිය වසරේදී මයුරපති අම්මාන් සුභසාධක සංගමය රැපියල් මිලියන දෙකක වියදමින් මීරිගම සෙත්සුව වැඩිහිටි නිවාසයේ වාට්ටුවක් නවීකරණය කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහයෝගයෙන් කිලිනොච්චිය සමූපකාර ශාලාවේදී පැවැත්වුණු ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහභාගී විය. ඊට ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු මයුරපති අම්මාන් සුභසාධක සංගමයේ සාමාජිකයෝ රුසක්ද සහභාගී වූහ. දුප්පත් හා අසරණ ජනතාවට උපකාර කිරීම දෙවියන්ට උපකාර කිරීමක් යන සංකල්පය මූලික කර ගත් මයුරපති අම්මාන් සුභසාධක සංගමය ඉදිරියේදීද මෙවැනි සුභසාධක වැඩසටහන් රැසක් දියත් කිරීමට සූදානමින් සිටී.