
ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන තීන්දු ගැනෙන්නේ යෝධ ව්‍යාපෘති මත ද, එසේ නැති නම් ප්‍රජාමූලික ප්‍රාදේශීය කුඩා ව්‍යාපෘති මත ද, එසේත් නැති නම් ඒ දෙවර්ගයේ ම සංකලනයක් මත ද යන සමාලෝචනය අද වැදගත් තේමාවකි.
රට සංවර්ධනය කරන තම සැලැස්ම ජනතාවගේ දෛනික ජන ජීවිතයට බලපාන ප්‍රශ්න විසඳීම මිස යෝධ සංවර්ධන ව්‍යාපෘති නොවන බව අවධාරණය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සමාලෝචනය සඳහා දොරටුවක් විවර කරයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැරණි වැව් 500ක් පිළිසකර කිරීම ඊට ආදර්ශයක් සපයන සංවර්ධන ව්‍යාපෘතියක් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා රට ලෝකයත් සමඟ ගැළපී යා යුත්තේ දරා ගත හැකි හෙවත් ධරණීය සංවර්ධනය සමඟ බව ද එමඟින් සිහිපත් කරයි. ප්‍රජා සහභාගිත්වය ඇති ව ක්‍රියාත්මක වන ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය යටතේ පිළිසකර කෙරුණු වැව් 25ක් පසුගිය දා විවෘත කෙරුණු අතර, පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද එවැනි ව්‍යාපෘතියක් හඳුන්වාදීමට නියමිත ය. නියඟයට හා ගොවිතැනට ජලය හිඟ වීමට විසඳුමක් ලෙස මේ වැව් පද්ධති පිළිසකර කෙරේ.
වසර දෙදහසකට වඩා පැරණි, අදටත් වැඩ ගත හැකි වාරි තාක්ෂණය ගැන සිහිපත් කිරීමක් ද මෙහි ඇත. වසර පනහක් වත් තව ම ආයුෂ නැති යෝධ ජලාශ ව්‍යාපෘති රටට මේ වන විටත් අත් කර දී ඇති අනිටු විපාක අත්විඳිමින් සිටින අවස්ථාවක මේ සැසඳීම වඩාත් සුදුසු වේ.
ලෝකයට ණය වී ඉදිරි සැලස්මකින් තොර ව ඉදි කෙරුණු ‘හම්බන්තොට ව්‍යාපෘති’ වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ද මෙකල විශේෂ අවධානයක් යොමු වී ඇත. එමෙන් ම එවැනි සංවර්ධනයකට සොබාදහමේ උරණ වීම සංකේතවත් කෙරෙන ‘උමා ඔය සංවර්ධනය’ ගැන විශාල කතාබහක් ද මෙකල සිදු වේ. ඒ යෝධ සංවර්ධන ව්‍යාපෘති රටට ඉතිරි කළේ යෝධ ණය බරක් මිස ඉදිරිගාමි පියවරක් නො වේ ය, යන විචිකිච්ඡාවකින් මුළු මහත් සමාජය ම වෙළා ඇත. ඒ වටපිටාව ද යෝධ සංවර්ධන ව්‍යාපෘති ගැන, ඒවායේ අනිටු විපාක ගැන, සුදුසු විකල්ප ගැන නැවත සිතා බලන්නට යොමු කරයි.
මහා ජලාශ කොතෙක් ඉදි කළ ද සැලසුම් කරන ලද ඉලක්කවලට ළඟා වීම පිණිස හෝ නියඟයට මුහුණ දීම පිණිස හෝ එකී යෝධ සංවර්ධන ව්‍යාපෘති විසඳුමක් නොවීම මේ සමාලෝචනයේ දී තීරණාත්මක යි. නියඟයට හා ගොවිතැන් පාළුවට විසඳුමක් ලෙස නැවත පැරණි වාරි තාක්ෂණය දෙසට හැරෙන්නට සිදු වී ඇත්තේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිවල ණය බර හා පාරිසරික අනතුර ජනසමාජයේ හිසට ඉහළින් ලඹ දෙන බැවිනි. ලෝකය සමඟ එකට ගමන් කරන්නට සිදු වීම මෙහි දී අමතක කළ යුතු නො වේ. එහෙත් ඒ ගමන දුවන්නන් වාලේ නොදුවා, රටට ගැළපෙන හෝ ආවේණික හෝ මංපෙත් ඔස්සේ ගමන් කළ යුතු වේ.
අවස්ථාවාදි දේශපාලන අරමුණු හා කොමිස් මුදල් යෝධ සංවර්ධන ව්‍යාපෘති පිටුපස ඇති බව ද අද රහසක් නො වේ. එහි දී ඇත්තට ම සිදු වී ඇත්තේ රටේ සංවර්ධනය වේගවත් වීම නො ව, ලෝකයට සාපේක්ෂ ව පසුගාමි වීම යි. දැවන්ත පාරිසරික හානියකට ඉඩ හදමින් හා නොවටිනා මුදලකට ඉදි කළ බව පැවසෙන දක්ෂිණ අධිවේගි මාර්ගය රටේ සංවර්ධන ක්‍රියාවලියට අත් කර දුන් වේගය කුමක් ද? ඒ මාර්ගය විවෘත කෙරෙන්නේ ඊට ළඟා විය හැකි පිවිසුම්වලට බලාපොරොත්තු වන වේගයෙන් ළඟා වීමට හැකි අතුරු මාර්ග පද්ධතියක් ඇතිව නො වේ. මේ අධිවේගි මාර්ගය සැලසුම් කරන අවස්ථාවේ සැම අතින් ම සුදුසුකම් සපුරා තිබුණු ‘බෝඹුවල පිවිසුම’ දොඩංගොඩ දක්වා මාරු කිරීම යෝධ සංවර්ධනයක් පටු දේශපාලන අරමුණු දක්වා වෙනස් කළ අවස්ථාවකට නිදසුනකි. අවසානයේ මෙය රටේ පළාත් දෙකක සිදු වන සංවර්ධනයකට යටිතල පහසුකමක් ලෙස හෝ ඉන්ධන දහනය ඉතිරි කරන උපායමාර්ගයක් ලෙස හෝ ප්‍රතිඵල දායක වී නැත.
අවධානයට, සමාලෝචනයට ගත යුතු වැදගත් ම කාරණය වන්නේ: ග්‍රාමීය මට්ටමේ දරිද්‍රතාවට - එනම්: රටේ යෝධ ප්‍රශ්නයට - මෙවැනි යෝධ ව්‍යාපෘති විසඳුමක් බවට පත් කර ගැනීමට යාම දිගින් දිගට ම අසමත් වීම යි.