එන්න අපි පොරොන්දම් බලමු ! | Page 5 | සිළුමිණ

එන්න අපි පොරොන්දම් බලමු !

 කාලය කා දැමීමට හෝ පහසුවෙන් මුදල් ඉපයීමට හෝ සමහරක් අය විසින් කරනු ලබන බූරූ ගැහිල්ල සහ විවාහය සඳහා පොරොන්දම් බැලීම යන දෙකම එකම කාඩ් කුට්ටමේ දෙපැත්ත ලෙස පෙනෙයි. මේ සෙල්ලම් දෙකින් ම කූටකයන් ජයගන්නා අතර අහිංසකයන් විපතට පත්වෙයි. බූරූ කුට්ටමට කාඩ් 52 ක් ඇති අතර පොරොන්දම් කුට්ටමට කාඩ් 20 ක් තිබේ. අපි මුලින් ම පොරොන්දම් කුට්ටමේ කාඩ් 20 ගැන බලමු.

1. නක්ෂත්‍ර 2. ගණ 3. මහේන්ද්‍ර 4. ස්ත්‍රී දීර්ඝ 5. යෝනි 6. රාශී 7. රාෂ්‍යාධිපති 8.වශ්‍ය 9. රජ්ජු 10.වේද 11.වෘක්ෂ 12.ආයුෂ 13. පක්ෂී 14.භූත 15.ගෝත්‍ර 16.වර්ණ 17.ලිංග 18.නාඩි 19.දින .20. ග්‍රහ . යනුවෙන් පොරොන්දම් 20 ක් එහි සඳහන් වෙයි.

මෙහි නක්ෂත්‍ර පොරොන්දම යනු ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකත් දෙක නැකත් නැකත් චක්‍රයේ පිහිටා තිබෙන අංක දෙක අනුව එකිනෙක ගැලපෙන්නේ දැයි පරීක්ෂා කිරීමය. ඒ නැකත් දෙක එකිනෙකට මිතුරු හෝ සතුරු වන්නේ කුමන හේතුවක් හෝ සිද්ධාන්තයක් අනුව ද යනු කීමට මහා බ්‍රහ්මයාවත් නො දනිති. එහි අවම වශයෙන් සාධාරණ හේතු ප්‍රත්‍යයක් ඇතිව ප්‍රකට කරන ජ්‍යොතිෂ සිද්ධාන්තයක් වත් දකින්නට නැත. මේ නැකත් ගැලපීමේ ක්‍රමය කොයි ලෝකෙන් ආවේ දැයි කීමටත් කිසිවෙක් නොදනිති. අනෙක් පොරොන්දම් 19 ඊටත් එහා ගිය අලා මුළාවකි. අපි එයින් එකක් දෙකක් විමසා බලමු.

ඉහත අංක 11 ලෙස ගැනෙන වෘක්ෂ පොරොන්දමෙන් කරනු ලබන්නේ ස්ත්‍රිය සහ පුරුෂයාගේ වඳ හෝ සරු බව තීරණය කිරීම ලු. ඒ අනුව නැකත් 27 එක් එක් නැකතට වෘක්ෂ වර්ග ආරෝපනය කර තිබේ. ඒ එක් එක් නැකතට එක් එක් ගස් වර්ග ආරෝපණය කෙළේ කුමන ශාස්ත්‍රීය පදනමකින් දැයි කීමට කිසිවකුත් නොදනිති.

දෙවනුව එකී වෘක්ෂ කිරි සහ හර වශයෙන් දෙකට බෙදා තිබේ. කිරි වෘක්ෂය හිමි අය සරුලු. හර වෘක්ෂය හිමි අය වඳලු. ඒ බෙදීම අනුව කෑල සහ වැටකේ යන ගස්වර්ග දෙක කිරි වෘක්ෂ ලෙස දක්වා තිබේ. කෑල යනු කට්ට කඨෝර කටු ගහකි. වැටකේ යනු පඳුරු ගාලකි. මේ දෙකේ ම කොළයක් හෝ දඬුවක් හෝ කඩා බලන්න. කිරි තබා ඒවායේ වතුරවත් දකින්නට නැත . කිරි ගහක්වත් හරිහැටි හඳුනා ගත නොහැකි මිනිහකු විසින් මනංකල්පිත ගහක් උදාහරණයට ගෙන අනිත් ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ වඳ බව හෝ සරු බව තීන්දු කරනු ලැබීමට වඩා බූරූවා ගැහිල්ල නරක ද ?

දැන් මෙහි ඇත්ත නැත්ත කොයි කාටත් ඉතා පහසුවෙන් පරීක්ෂා කැර බැලිය හැකි ක්‍රමයක් ගැන අපි කියමු. පොරොන්දම් බැලිල්ල අනුව - අස්විද / බෙරණ / කැති / රෙහෙණ / මුවසිරස / අද / පුනාවස / හත / සිත /සා / විසා / අනුර / දෙනට / සියාවස / උත්‍රපුටුප / යන නැකත් 15 වඳ හෙවත් හර වෘක්ෂ වන්නේලු. මෙවැනි නැකත් දෙකකින් උපත ලබා සිටින ස්ත්‍රියක සහ පුරුෂයකු එකතු වුණොත් ඔවුනට දරු සම්පත් අහිමි බව පොරොන්දම්කාරයෝ කියති.

විවාහ වී දරු සම්පත් ලබා සිටින ඔබ දැන් ඔබ දෙදෙනාගේ කේන්දර දෙක අතට ගෙන උපන් නැකත් දෙක බලා ඉහත කී වෘක්ෂ පොරොන්දම ඇත්තක් ද බොරුවක් ද ? යන්න වටහා ගන්න. ඔබ මෙයින් අමතර විනෝදාස්වාදයක් ලැබීමට කැමති නම් ඔබ දෙදෙනාගේ කේන්දර දෙක රැගෙන පොරොන්දම්කාරයෙකු වෙත යන්න.

' මේ කේන්දර හිමි දෙදෙනා විවාහ වූවොත් දරුවන් ලැබිය හැකි දැයි' ඔහුගෙන් හෝ ඇයගෙන් අසන්න. එවිට ඔබට අසන්නට ලැබෙන පිළිතුර නිසා නිසැකයෙන් ම ඔබ තුළ හට ගන්නේ වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු විවර කළාටත් වඩා සැර සිනා සාගරයකි. ඇත්තෙන් ම පොරොන්දම් බලනවාට වඩා බූරූවා ගැහීම නරක ම නැත.

(ලබන සතියේ තවත් පොරොන්දමක් බලමු.)

 

Comments

පිටු