මන්නාරම මුහුද යට ලොව කිසිවකු නොදුටු චමත්කාර ලෝකයක් | සිළුමිණ

මන්නාරම මුහුද යට ලොව කිසිවකු නොදුටු චමත්කාර ලෝකයක්

විස්මිත මුහුදු ජීවීන් 77ක් සොයා­ගෙන... 

ඉන් 68ක් මින් පෙර ලෝකයේ කොතැ­නි­න්වත් සොයා­ගෙන නෑ...

අලු­තින් සොයා­ගත් කොරල් පර පෙළ හමු­ වන්නේ කන්ක­ස­න්තුරේ ආශ්‍රි­තව

මහා යුද්ධය අපට නැති කළ දේ බොහෝය. මිනිස් ජීවිත මෙන්ම මිනිසා සතු පෞද්ගලික දේපළ යුද්ධය නැති කළා සේම මුළු මහත් ජාතියටම අයත් උරුමයන්ද යුද්ධය විනාශ කළේය.

යුද සමයේදී අපට ළඟා විය නොහැකි ස්ථානවල වූ ස්වභාවික සම්පත් බොහෝ දේ යුද සමයේදී විනාශ වී ගියේ ඒවා අපේ නෙත්වලට නොගැටීමය. ඒ අපේම හා රටේම අවාසනාවටය.

අපේ රට වටා ඇත්තේ ඉතාම සුවිශේෂී සාගරයකි. මේ මහා සාගරයේ අපේ නෙත්වලට හසු වූ දේට වඩා හසු නොවූ දේ අති මහත්ය. රට වටා වූ සාගරයේ ඇති මහා සම්පත් සම්භාරය අපේ නෙත්වලින් ඉවත් කිරීමට වසර තිහක් මුළුල්ලේම පැවති මහා යුද්ධය එක් හේතුවක් විණි.

උතුරේ මුහුදේ විශේෂ සාගර සම්පත්

යුද්ධය මේ කාරණාවේදී හරස් වූ බව මැනවින් කියා පෑමට හොඳම උදාහරණය වන්නේ යුද්ධය හමාර වී ඉතාම සුළු කාලයකින් නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී මෙතෙක් කිසිවකු දැක නොතිබූ සාගර සම්පත් සමූහයක් හඳුනාගැනීමය. ඒ අතරින් ඉතා වැදගත් වූයේ කන්කසන්තුරේ ප්‍රදේශයෙන් අලුතින්ම සොයාගත් කොරල් පර පෙළය.

නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් කන්කසන්තුරේ දිය කඩනයට කිලෝ මීටරයක් තරම් ඈතින් සොයාගත් ඒ කොරල් පර පේළියේ කොරල් පර මීටර් හාරසීයක් පමණ දුරට විහිදී තිබේ.

උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් කිසිවකු නොදුටු එම කොරල් පරයක් සොයාගෙන ඇතත් මිනිසුන්ට එය තවමත් දැක බලා සතුටු වීමට හෝ ඒ ගැන අධ්‍යයනය කිරීමට අවස්ථාව උදා වී නැත.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකි අතර, ස්වාභාවික හේතූ නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ මහතාගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර එම කොරල් පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටී.

නාවික හමුදාවේ ඒ ක්‍රියාවත් සමඟම අපට මේ සතියේදී විදෙස් පුවත් ඔස්සේ විශේෂ සිදු වීමක් දැකගන්නනට ලැබිණි.

ඒ ඉන්දියාවේ පිහිටි සාගර සම්පත් ගවේෂණය පිළිබඳ වූ පර්යේෂණ ආයතනයක් කළ කාර්යයකි. ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි සුගන්දි දේවදාසන් සාගර පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මන්නාරමට ආසන්නයේ පිහිටි සාගර කලාපයේ කළ පර්යේෂණයේදී විස්මිත මුහුදු සම්පත් හැත්තෑ හතක් සොයා ගැනීම ඒ සතුටුදායක ආරංචියයි.

ඒ පිළිබඳව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක තිරවියම් දිනේෂ් කුමාර් මහතා පවසන්නේ ලෝකයේ චමත්කාරයට තවත් දසුන් ගණනාවක් එක් කිරීමට ඔවුන්ට හැකි වූ බවය.

''අපේ සාගර ගවේෂණ කණ්ඩායම විසින් මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් සොයාගත්තේ නැති මුහුදු ජීවීන් කොරල්, ගල්මල් ඇතුළු සාගර සම්පත් වර්ග හැත්තෑ හතක් අලුතින් සොයාගෙන තිබෙනවා.

ඒ හැත්තෑ හත අතරින් හැට දෙකක් ලෝකයේ කිසිම අයෙකු මෙතෙක් දැක නැති ගණයේ සාගර සම්පත්. ඉතිරි පහළොව ගැන අපට එහෙම කියන්න බැහැ. නමුත් ඒ පහළොවත් ඉතාම සුවිශේෂී වෙනවා. ඒ සියල්ලම හමු වුණේ මන්නාරම සහ රාමේස්වරන් අතර මුහුදු කලාපයෙනුයි.

සමහර රටවලින් සොයාගෙන තිබුණු මුහුදු ඌරන් මුහුදු ඉදිබුවන් හා විවිධ මත්ස්‍ය වර්ග සිටියා. නමුත් මේ සුවිශේෂී කලාපයෙන් හමු වූ ඒ වර්ගවලට අයත් දේවල් කිසිම කෙනෙකුට මෙතෙක් හමු වෙලා තිබුණේ නැහැ.

ඉතා දුර්ලභ ගණයේ මුහුදු සර්පයන් හා විවිධ කොරල් වර්ග මේ ගවේෂණයේදී අපට හමු වුණා. ඒවාට නම් තැබීමක් තවම සිදු වෙලා නෑ. ඊට හේතුව නාමකරණය කියන්නේ වෙනම කාර්යක්. ඒකට තව කීප දෙනෙකුගේ සහාය අවශ්‍ය වනවා. ශ්‍රී ලංකාවට ආසන්නයේදී හමු වුණු මුහුදු ජීවීන්ට ශ්‍රී ලංකාවට ආවේණික වන අන්දමට හා ශ්‍රී ලංකාවේ ඌරුවට ගැළපෙන අන්දමට නම් තැබීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දීය කලාපයේ රාමේස්වරන් ප්‍රදේශයට ආසන්නයේ හමු වූ දේවලටත් ඒ විදිහේ නමක් ලබා දෙනවා.’’

බොහෝ විට තවත් මාස ගණනකදී අපේම රටේ නම් ඇතුළත්ව එම සාගර සම්පත් නම් වනවාට කිසිදු සැකයක් නැත. ඒ පිළිබඳ අපේ රටට ඇත්තේ මහත් සාඩම්බරයකි.

සාගර සම්පත් සෙවීම හා ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පවසන ජ්‍යෙෂ්ඨ පර්යේෂක තිරවියම් දිනේෂ් කුමාර් මහතා මේ ක්‍රියාවට කරන ලද මහා කැප කිරීම්වලින් බිඳක්ද විස්තර කළේය.

“මේ සාගර සම්පත් ගවේෂණය කරන්න මීට පෙර අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා. ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය නිසා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් අවසර දුන්නෙත් නෑ... ඉන්දියාවේ රජය අවසර දුන්නෙත් නෑ...”

“නමුත් අපි අපේ යෝජනාව ඒ ආකරයෙන්ම තබා ගෙන හිටියා. ලංකාවේ යුද්ධය හමාර වූවත් එක්ක අපි නැවත අවසර ඉල්ලුවා. අවසර ලැබෙන්නත් කාලයක් ගියා අපිට ඒ අවසරය ලැබුණේ 2017 වර්ෂයේදීයි.”

2017 වසරෙදි මේ සාගර සම්පත් ගවේෂණය ආරම්භ කළා. සියලුම කටයුතු සඳහා හතළිහක පමණ කණ්ඩායමක් සහභාගී වුණා.

ලංකාවේ මන්නාරමේ සිට කන්‍යාකුමාරී කියන ප්‍රදේශය ඔස්සේ රාමේස්වරන් දක්වා විහිදී තිබෙන මුහුදු තීරය අපේ ගවේෂණාත්මක කලාපය වුණා. ඊට හේතුව මූලික අධ්‍යයනයේදී මේ කලාපයේ මෙතෙක් නොදුටු මුහුදු ජීවීන් හා කොරල් වගේ දේ ඇති බවට අපිට වාර්තා වුණ නිසා.

මේ කලාප ප්‍රදේශය වර්ග කිලෝ මීටර් දස දහසක් පමණ වුණත් අපේ සාගර ගවේෂණය ඒ මුළු කලාපයේම සිද්ධ වුණේ නැහැ. යම් සුවිශේෂී තීරයක් තෝරාගෙන තමයි ඒක සිද්ධ කළේ. ඒ සුවිශේෂී කලාපය යළි කොටස් දහයකට බෙදලා ඒ එක එක කලාපයට නායකයන් පත් කළා. ඒ අය ගේ අධීක්ෂණය යටතේ තමයි මේ ගවේෂණය සිද්ධ වුණේ.

ඒ සඳහා වසර දෙකක කාලයක් ගත වුණා. ඒ ගවේෂණ කටයුතුවලට විතරයි. ඊට පස්සේ අපේ අය හඳුනාගත් සාගර සම්පත් ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති සාගර සම්පත් එක්ක සන්සන්දනය කරලා බලන්නයි. මේ ගැන වාර්තා හොයන්නයි තවත් මාස අටක වගේ කාලයක් ගත වුණා. ඊට පස්සේ තමයි මේ ගැන වාර්තාව අපේ ආයතනය මඟින් නිකුත් කිරීම සිද්ධ වුණේ.’’

ඔහු පවසන්නේ මේ සාගර සම්පත් ආරක්ෂා කිරීමටත් ඒවා පිළිබඳ පර්යේෂණ සිදු කිරීමටත් වඩා මිනිසුන්ගේ විවිධ ක්‍රියාදාම නිසා සාගර සම්පත් විනාශ වීම වැළැක්විය යුතු වගය.

විශේෂයෙන්ම ධීවර කර්මාන්තය සඳහා නවීන පන්නයේ යාත්‍රා සහ ධීවර ක්‍රම පැමිණීමත් සමඟම මහා සාගරයේ ස්වාභාවිකව හටගෙන ඇති එවැනි සාගර සම්පත් විනාශ වී යෑම වැළැක්විය නොහැකි බවද ඔහු පවසා සිටියේය.

ඉන්දීය ධීවරයන් දහස් ගණනින් ට්‍රෝලර් යාත්‍රා රැගෙන විත් මේ මුහුදු කලාපයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන විට උතුරේ ධීවරයෝද ඒ බව කියා සිටියහ. ඔවුන් එසේ විරුද්ධ වන්නේ ඔවුන්ට මාළු සම්පත අහිමි වීමේ වේදනාව සහ කෝපය මත පමණක්ම යැයි අප සිතූවද ඔවුන්ද යමක් මේ පිළිබඳ දැන සිටි බව අපට වැටහෙන්නේ දැන්ය.

Comments