අපි එදා ගියේ කිසි තේරුමක් නැති ගමනක් | සිළුමිණ

අපි එදා ගියේ කිසි තේරුමක් නැති ගමනක්

ළය දවන වේදනාව කුමක් අරබයා පැන නැගුණේදැයි තෝරා බේරා ගන්නට ඇය වෑයම් නොකළාය. රමේෂ් සමඟ ගිය ගමනනින් ද පලක් නොවූ බව යළි යළි සිහි කරන්නටද ඇය කැමැති නොවූවාය. “බොරු ගමනක්” යි සුනන්දා කොතෙක් දෝෂාරෝපණය කළද ඇය නිහඬව පසුවූවා මිසක වාද නොකළාය.

වෙනත් ඕනම කෙනෙකු ඇගේ පෙනුම දුටු සැණින් හඬ නඟා සිනාසෙනවා සහතිකය. එහෙත් ඔහුගේ දෙතොල සිනාවකට වඩා වදනකටවත් සලිත නොවීය. ඇය දකින්නට ඔහු ප්‍රිය කළ ද කිසියම් කරදරකාරී හා තැවුල් සහගත හැඟීමකින් ද සිය ළය බරව යන බවක් වටහා ගත්තේය. ඒ මන්දැයි සිතන්නට නොවෙහෙසුණු ඔහු මඳක් පෙරට නැඹුරු වී අතක් දිගු කළේය. ඒ අතේ එල්ලී නියරට පා තබනවා වෙනුවට ඇය සිය සිරුරේ සියලු ශක්තිය එක්රැස් කරගත්තාය. එහෙයින් ඇසපිය හෙලන නිමේෂයක් තුළ ලියැද්දට ඇද වැටෙන්නට ඔහුට සිදු විය. හඬනඟා හිනැහෙන්නට ඇය නොපැකිළුණා ය. සියොළඟ තැවරුණු මඩ නොව ඇගේ සිනාව ඔහුගේ කෝපය අවුස්සයි. ඇය කුලැත්තියක බව ද කුලැත්තියක අබියස කෝපයට පත්වීම සුදුසු නොවන බවද ඔහුට අමතකව ගියේය. ඒ නිසාම ඉහළට එසැවුණු සුරත ඇගේ කොපුලක් මත වැරෙන් පතිත විය. ඇගේ මුවින් ගිලිහුණු වේදනාකාරි හඬ ඔහුගේ කෝපාග්නිය මත ඇද හැළුණු මහා වර්ෂාවකි. එහෙත් විවර වූ දෙතොල් අතරින් කිසිදු වචනයක් පිට වූයේ නැත. ඔහු ගොළුව ගියේය. ඇය ඇද වැටෙන අයුරු දැකගත් ඔහු නිහඬව බලා සිටියේය.

කොපුල සේම හදවත ද දැවෙන්නට වූයෙන් ඇගේ දෑසට කඳුළු නැගිණි. මව වැලඳ ගන්නා ළදැරියක මෙන් ඇය ඒ කලල් දියේ එබී ගිලී ගියාය. පියාගෙන් මිසක මවගෙන් ඇය තැලුම් කා නැත. ඇගේ දඩම්බරකම් ඉවසිය නුහුණු තැන සිරිමාන්න ඇයට පහර දුන් බව සැබෑය. එහෙත් එවන් විටෙක චම්පා සිය දියණිය ගලවාගන්නට පෙරට පැන්නාය.

“ඔයා ඉස්කෝලෙ ළමයින්ට ගහනවා වගේ ගෙදර ඉන්න ළමයටත් ගහන්න යන්න එපා...” යි වේදනාවෙන් ද කෝපයෙන් ද දෝෂාරෝපණය කරන්නට පවා ඇය පසුබට නොවූවාය.

“ඉස්කෝලෙ ළමයින්ටත් දැං ගහන්ඩ බෑනේ... පොලීසි යයි... මානව හිමිකම් යයි... ළමයි කරන හැම මගෝඩිකමක් ම දත්මිටි කාගෙන ඉවසන්ඩ තමා දැං අපිට වෙලා තියෙන්නේ...”

“ළමයින්ව හදාගන්න නම් ගහන්නම ඕන කියන එක දැං යල් පැනගිය මතයක්. ඒ පරණ ලෝකේ. දැන් ලෝකෙ අලුත් වෙලා... කොහොමටත් ආපසු හැරිලා ගහන්න බැරි කෙනෙක්ට ගහන එක හරි වැරදියි...”

ගුටියටත් වඩා අමාලිට ඉවසිය නොහැක්කේ මවුපියන්ගේ බහින් බස් වීමයි. ඇය මවගේ දෙපා වැලඳගෙන මහ හඬින් හඩා වැටෙන්නේ ගුටියේ රිදුමට වඩා ඔවුන්ගේ අවධානය ලබා ගැනීමේ වුවමනාවෙනි. ඒ ගෙදරින් සැතපුම් ගණනාවක දුරින් සී සාන ලද කුඹුරක සියොළඟ මඩ තවරාගත් යුවතිය හඬා වැටුණේ පහර දුන් තැන්තාගේ අවධානය හා අනුකම්පාව දිනා ගනු පිණිස නොවේ. ඇගේ හදවත වේදනාවෙන් පිරී ඉතිරී ගිය බැවිනි. ඒ එක් අතුල් පහරින් ඔහු සදහට ම තමාට අහිමිව ගියේ යැයි ඇයට සිතිණ.

“ගෑනියෙකුට ගහන මිනිහා මිනිහෙක් නෙවේ.” යි කියන්නට පුරුදුව සිටි එකියකට හද සසල කළ තරුණයා වෙතින් ම පහර කන්නට සිදු වීම දැරිය නොහැකි වේදනාවකි.

වහා පලා යන්නට වුවමනා වුවද ඔහු ඇය වෙත හැරුණේය.

පශ්ච­ාත්තාපයෙන් මිරිකෙමින් ඔහු ඇය නැගිටුවා ගත්තේය.

“එපා.. එපා මාව අල්ලන්න... අතාරින්න.. මාව අතාරින්න” යි ඇය හැඬුම්බර හඬින් ඉල්ලා සිටිය ද ඔහු සිය ග්‍රහණය ලිහිල් නොකළේය.

“ම්... මං... මං...” යි ඔහු කිසිවක් කියන්නට තැත් කළේය. එහෙත් දන්නා තෙලිඟුත් නොදන්නා සිංහලත් ඔහුට පිහිට වූයේ නැත. ඔහුගේ දෙනෙත හකුළුවා දමන පසුතැවිල්ල ද වේදනාව ද දුටු ඇයට සහනයක් නොදැනිණ. ඇය ඔහු ද තමා ද මුළුමනින් ම අපවිත්‍ර කරන ලද මඩ නොතකා ඔහුට තුරුලු වූවාය. කුල භේද හා උස් මිටිකම් සැනෙකින් සුනු විසුනුව ගියේය. ඔහු ඇය වැලඳ ගත්තේය. ඉහළ නිල්වන් අහසේ දිලෙන හිරු හැරුණු කොට ඔවුන්ට බාධා කළේ මහ පොළොවේ සාරය වන් මඩ දියයි.

“මට... මට හැම තිස්සෙම ඔයාව මතක් වුණා.. ඇත්තමයි...”

සෙනෙහස පිරි ඉතිරෙන ඒ වචන කන වැකි සැණින් ඔහු පියවි සිහිය ලද්දේය. කුල ගොත් හා තරාතිරම කෙබඳු වුවද තාරුණ්‍ය පසක් කර දෙන සත්‍යය විඳ දරා ගත නොහැකිව ඔහු යටිතොල විකා ගත්තේය. මේ තරුණිය තමාට ප්‍රේම කරන බව වටහාගන්නට ඒ වචන ටිකම නොසෑහේදැයි ඔහුට සිතිණ. දෙපා මුල නොව ඔහුගේ හඳ ගැබ මධ්‍යයේ අකුණක් පුපුරා ගියේය. ඇය ඈත අහසේ තාරකාවක් බවත් තමා මහ පොළොවේ කුණු කසළ ගොඩක නළියන පණුවෙකු බවත් සිතමින් ඔහු දෑත පහත හෙලුවේය. පළමු හාදුව පතා හුන් පෙම්බරිය අත හැර ඔහු නියරට ගොඩ විය.

“රාජු...” යි ඇය අපමණ අපේක්ෂාවෙන් ද අසහනයෙන් ද කෑගෑවාය. එහෙත් මෙවර ඇගේ හඬට අවනත නොවූ ඔහු වේගයෙන් දිව ගියේය. ඇගේ උච්ච ස්වරයෙන් සැනෙකින් දිව ආවේ රමේෂ්ය.

“බලාගෙන... වැටෙයි ළමයෝ..”

සීරුවෙන් නියර දිගේ ඇවිද එමින් සුනන්දා අනතුරු ඇ‍ඟෙව්වාය.

“අමාලි...?”

හඳුනාගත නොහැකි තරමට මඩ තැවරී හුන් යුවතිය දුටු කෙනෙහි රමේෂ් විමතියෙන් ඇළළුණේය.

“හානේ... ඔයා වැටුණද අමා...? අයියෝ බලන්න.. ගන්න දෙයක් නෑ ඇඟ පුරාම මඩ...”

“මදැයි වතුර හොයන්න ආවා.” යි කියමින් රමේෂ් ඇයට නියරට ගොඩවන්නට උදව් කළේය.

ළය දවන වේදනාව කුමක් අරබයා පැන නැගුණේදැයි තෝරා බේරා ගන්නට ඇය වෑයම් නොකළාය. රමේෂ් සමඟ ගිය ගමනනින් ද පලක් නොවූ බව යළි යළි සිහි කරන්නටද ඇය කැමැති නොවූවාය. “බොරු ගමනක්” යි සුනන්දා කොතෙක් දෝෂාරෝපණය කළද ඇය නිහඬව පසුවූවා මිසක වාද නොකළාය. සාමාන්‍යයෙන් එය අමාලිගේ ස්වභාවය නොවූ බැවින් සුනන්දා මඳක් විපිළිසර වූවාය. නිහඬව හා අඳුරුව ගිය මුහුණින් බලාගත් අත බලා ඉන්නා කෙල්ලක දැකීමෙන් විඩාපත් ගැහැනිය සොහොයුරාට පැමිණිලි කරන්නටද නොසිතුවාය.

“අයියට කිව්ව ගමං කෙල්ලට ගහන්න බණින්න දඟලයි. එයා එයාගේ ඉස්කෝලේ ළමයි ආණ්ඩුමට්ටු කරනවා වගේ මේ කෙල්ලත් කෝටුවෙං හදන්නනේ යන්නෙ...” යි කොඳුරමින් ඇය අමාලි වෙතින් ඉවතට යයි.

මව නොදැක ආපසු එන්නට සිදුවීම මෙන්ම රාජු හමුවීම ද අමාලිට ඉවසිය නොහැක. ඇය නැවත නැවතත් ඒ මඩ තරලයෙහි ගිලී ගියාය. නැවත නැවතත් ඔහුට තුරුළු වූවාය.

“දෙයියනේ.. මට මේ මොකද වෙලා තියෙන්නේ..? මට පිස්සුද?” යි තමා හෙළා දකින්නට ද ඇය පසුබට නොවූවාය.

“අමා...”

මතකයෙහි නිමග්න වෙමින් විඳි වේදනා අසුරු සැණෙකින් අතුරුදහන් විය.

“අම්මා..”

දෙවසරකට පසු කන වැකි ඒ ආදරණීය හඬින් ඇය කොතරම් කැලඹුණේ ද කිවහොත් ඇගේ සියොළඟ වෙව්ලන්නට පටන් ගත්තේය. ඇය ඇ‍ඳෙන් බැස්සේ අසාධ්‍ය රෝගියෙකු පරිද්දෙනි.

“අනේ අම්මා... මම ඔයාව කොයිතරම් හෙව්වද.. දැං ඔයා මගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා.. මේ ඇත්තමද අම්මා... මේක හීනයක්ද?” 

දියණිය දැඩිව වැලඳගත් චම්පා හඬා වැටුණා විනා කිසිවක්ම නොපැවසුවාය.

“අම්මා.. අනේ අම්මා මොනා හරි කියන්න. මං මේ දකින්නේ හීනයක් නෙමෙයි කියලා කියන්න..”

“අමා...”

නොමනාපයෙන් හඬ ගෑවේ චම්පා නොව සුනන්දාය.

“මොකද ළමයො...? හීනයක් දැක්කද?”

වහ වහා ඇසිපිය සැළු යුවතිය සිහිනයේ ම සරන්නට ප්‍රිය කළාය.

“අම්මා..” යි ඇය අපමණ ශෝකයෙන් කොඳුළාය.

“අයියෝ අමා.. නැගිටින්ඩ වෙනදා නම් ඉරිදටත් ඔයා ගෙදර නෑනේ.. අර මරුමුස් අම්මණ්ඩි ආණ්ඩුමට්ටු කරන්න දුවනවනේ.. ඇයි මොකද? අද යන්නෙ නැද්ද? එන්න එපා කීවද ඒ යස්ස ගෑනු මනුස්සයා..?”

නැන්දණිය වැලඳගෙන හඬා වැටෙන්නට පවා අමාලිට සිතිණ. එහෙත් ආයාසයෙන් වුව හැඟීම් මැඬගත් ඇය “මම අම්මව හීනෙං දැක්කා පොඩි නැන්දේ. අම්මා ගෙදර ආවා...” යි ශෝකාකූල හඬින් පැවසුවාය.

“අමා..”

සුනන්දා ඇඳ මත හිඳ ගත්තේ අනුකම්පා සහගත බැල්මක් හෙළමිනි.

“අම්මව අමතක කරන්න කියනවා නෙමේ ළමයෝ.. ඒ වුණාට බලන්න.. අපි එදා ගියේ කිසිම තේරුමක් නැති බොරු ගමනක්නෙ. ඔයා වෙලේ වැටිලා මඩ නා ගත්තා විතරයි... ඔයාමයි අපට කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා...”

ලබන සතියට‍...

Comments