අමාලි වැලඳගත් චම්පා බොහෝ වේලාවක් හඬ වැලපුණාය.
“මං හිතුවෙ නෑ... මං හිතුවෙ නෑ මට මගෙ කෙල්ල ආයෙත් හම්බවෙයි කියලා පණ පිටිං... අනේ දෙයියනේ මං බයේ මැරෙන්ඩ ගියා.. මගෙ පපුව පැළෙන්ඩ ආවා..”
ඇගේ වචන මේ මධ්යාහ්නයේද අමාලිගේ දෙකනේ රැව් පිළිරුව් දෙයි.
“ඔයා එදා මාව හෙව්වා.. ඒත් ඒ එක දවසයි අම්මේ.. අද මං ඔයාව හොයනවා. දවසක් දෙකක් නෙමේ.. අවුරුදු දෙකක් තිස්සේ මං ඔයාව හොයනවා. ඔයාට මාව හම්බවුණා වගේ මටත් ඔයාව හම්බවෙයි අම්මේ.. මට විශ්වාසයි... කවදා හරි ඔයාව හම්බ වෙනවා... අද... එක්කො හෙට... එහෙම නැත්තං තව අවුරුද්දකින්...”
ඇගේ තොල් මැතිරිල්ල නිමා කරන්නට ඒ පතහ සමත් විය. එය පෙර සේම නිල් දියෙන් පිරී තිබිණ. ඇය අපමණ විමතියෙන් ද ගැහෙන හදවතින් ද බලා සිටියාය. ඇගේ දෙනෙත දිදුලන්නට වූයේ පතහ හේතුකොටගෙන පමණක් නොවේ. ඒ වෙත නැඹුරුව මැටි කළයට දිය පුරවන තරුණයා දැකීමෙනි. ඇය යළි හමු වන්නට පෙරුම් පිරූ, එමෙන්ම කිසිදිනෙකත් හමු නොවිය යුතු බවට ගිවිස ගත් තරුණයාගේ උරහිස මත ඒ දඟකාර කෑදර සිව්පාවා ලැග නොසිටියේය.
“රාජු...” යි ඇය සැලෙන දෙතොලින් හඬ ගෑවාය.
හිස නඟා බැලූ රාජු ඇය දැකීමෙන් කොතෙක් චංචල වීද කිවහොත් කළය ඔහුගේ සවිමත් දෑතින් ගිලිහිණ.
* * * * *
කලක් තිස්සේ මිනිස් වාසයෙන් තොර වූ නිවෙසක වැඩි වේලාවක් රැඳී සිටින්නට සුනන්දා ප්‍රිය නොකළාය.
“මේ ළමයා තාමත් නෑ නේ යි ඇය විසින් පවසන ලද්දේ කී වන වරටදැයි ඇයටම නිනව් නැත. රමේෂ් ගෙමිදුලේ කොනක ජෑම් ගසේ වසා හුන් කුරුල්ලන් ඡායාරූපගත කරන්නට වෙහෙසුණේය.
“අපරාදේ අපි අමාට තනියම යන්න දුන්නෙ..” යි ඇය ඔහුට ඇසෙන්නට හඬ නඟා පැවසුවාය.
“මං පොඩ්ඩක් බලල එන්නද ආන්ටි?”
“ඔය ළමයා මුකුත්ම නොදැන කොහේ කියලා හොයන්නද... අපි දෙන්නම යමු...”
ඔහු හිස සලා එකඟ විය.
“හිතුවක්කාරයි තමා හරියට. ඒත් ඒ ඇරෙන්න වෙන නම් කිසිම වරදක් නෑ පුතේ අපේ අමාගේ.”
වත්ත පහළට ඇවිද යන අතරේ ඇය සන්සුන් හා සංකාකූල සරින් පැවසුවාය. අවට පරිසරය කෙරෙහි ආශක්තව හුන් තරුණයා කිසිවක් නොපැවසුවේය.
“ඕනම කොල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ ඉතිං කීකරු කෙල්ලෙක් මිසක ඔය වගේ මුරණ්ඩු කෙල්ලක් නෙමේනේ.”
“හිතුවක්කාරකම් මුරණ්ඩුකම් කියලා අපි හංවඩු ගැහුවට ආන්ටි මේ ලෝකෙට තේරුමක් ලස්සනක් එකතු වුණේ එක එක කාලවල හිටි හිතුවක්කාරයෝ හින්දා තමා...”
ඒ කතාව නොවැටහුණ නියාවෙන් ඇය නළල රැළි ගැන්වූවාය.
“හැමෝම කීකරුකමට කරබාගෙන හිටියොත් ලෝකෙ මහා පාළු නීරස තැනක් වෙයි ආන්ටි.”
“ලෝක මංදා.. අපේ ගෙදර පාළුව මැකෙන්නෙත් මේ කෙල්ලගෙ මගෝඩි වැඩ හින්දා තමා. අයිය තරහ ඇරං කෑගහන්නෙ... මං වෙලාවකට අඬන්නෙ අමා හින්ද නේ. නැත්තං ඉතිං අපි තුන්දෙනා මීක් සද්දයක් නැතුව ඔහේ ඉඳී..”
ඔහු සිත් ගන්නා සුලු සිනාවක් පෑවේය. එහෙත් නුදුරින් දියපතන අබියස හුන් තරුණයාගේ මුව’ඟ සිනාවක් පැන නොනැඟිණ. ඔහු කිසි කලෙකත් සිනා නොවූ එකෙකු මෙන් ඇය දෙස බලාගත්වනම සිටියේය.
“අපරාදෙ... කළේ බිඳුණා නේද..?”
ඇගේ හඬෙහි ශෝකයක් නොවීය. නිබඳ සිතට වධ දෙන තැනැත්තා හමුවීමේ ප්‍රීතියෙන් සැලුණා මිසක.
“කළයක් මොකටද අනේ ඔයාට? කෝ දැං අනිත් කට්ටිය?”
ඔහු ඒ එකදු ප්‍රශ්නයකට හෝ උත්තර නොදුන්නේය.
“තරහ වෙලාද ඉන්නෙ කළේ බිඳුණු නිසා...?”
“කෝ මහත්තයා?”
ඔහුගේ මුවින් එබන්දක් හෝ ගිලිහීම පිළිබඳව ඇය සතුටට පත් වූවාය.
“මොන මහත්තයාද? මං තාම බැඳලා
නෑ නේ.. ඔයා බැන්දද? ඔයාගෙ දරු පවුලට ද වතුර ගෙනියන්නෙ?”
ඔහු නිහඬවම ආපසු හැරුණේය.
“ඕන්නං මේ බෝතලේට වතුර එකක් අරං යමු.”
මේසා ඉක්මනින් ඔහු තමාගේ දෑස් මානයෙන් ඉවතට යෑම නොඉවසූ ඇය හිස් බෝතලය දිගු කළාය.
“එපා. මං ගිහිං පොඩි කළේ ඇරං එන්නං...”
“මාත් එනවා...” යි කියමින් ඇය ඔහුට ළං වූවාය.
“එපා... කැලේ මැදක් යන්ඩෝනෑ... හරියකට පාරක් නෑ..”
“කැලේ? ඇයි කැලේ ඉන්නෙ? ඔයාට අපේ කිරි අම්මලාගේ ගෙදර ඉන්ඩ පුළුවං නේ..”
ඔහු කිසිවක් නොපැවසුවේය. එහෙත් ඇය වෙත යොමු වූ ඔහුගේ සිහින් තියුණු දෙනයන නිහඬ නැත. ඇය පැමිණියේ කා සමඟද.. ඉඳහිට ඇය මෙහි එන්නේ කුමක් නිසාද යන ප්‍රශ්න එකින් එක හිත නැගුණද ඔහු දෙතොල තරයේ වසාගත්වනම සිටියේය.
“කෝ ඔයාගෙ සුරතලා?”
සිත සසල කරවන ඒ බැල්මෙන් පීඩාවට පත් යුවතිය රිළවා පිළිබඳව විමසුවාය.
බඩට බත ද ඉණට වතද සොයා සපයා දෙන තිරිසනා සුරතලෙකු නොව ඔහුගේ පවුලේ සාමාජිකයෙකි. එපමණක් නොව ඔහුගේ සිරුරේ ම කොටසකි. පෙර පරම්පරාවන්හී බල්ලා ද බූරුවා ද සුරතලුන් නොවූ අතර ලේ ඥාතීහු වූහ.
“ලෙඩිං...”
“ලෙඩිං? ආ... එහෙනං මං එන්නම ඕන ලෙඩා බලන්ඩ”
“එපා... නෝනා ආපහු යන්න... මං ඇරලවලා එන්ඩද?”
“බෑ බෑ... මට ලෙඩා බලන්ඩ ඕන...”
ඇගේ මුරණ්ඩුකම ඔහු කෝපගන්වයි. එහෙත් මේ කුලැත්තිය අබිමුව තමා හීන දීන මිනිස් අර්ධයක් බව පසක් කර ගනිමින් ඔහු පය ඉක්මන් කළේය.
ඇය ඔහු හඹා යන්නට වූයේ දඟකාරකම සමඟ මුසු වූ කුහුලකින් වෙළී යමිනි. ඔහු සිය රැහේ උන් සමඟ නොගොස් නැවතුණේ රිළවා රෝගාතුරවීම නිසාද..? එහෙත් බ්‍රයන් සමඟ මෙහි ආ දිනයේ ද ඔහුට නොගොස් නවතින්නට හේතුවක් නොතිබූ බව සිහිපත් කළාය.
නියර මතින් ඇවිද ගෙන යෑම පහසු නැත. සමබරතාව රැකගත නුහුණු යුවතිය ලියැද්දකට ඇද වැටෙන හඬ ඇසණ ද ඔහු නොනැවතුණේය. අඩුම තරමින් හැරී බලන්නට ද උත්සුක නොවීය.
“අනේ ඔහොම ඉන්නකෝ... මං වැටුණා..” යි ඇය බෙරිහන් දුන්නේ ඊළඟ නිමේෂයේදී ඔහු අතුරුදන්ව යනු ඇතැයි හටගත් බියෙනි. සියො ළඟ තැවරුණු මඩ පිළිබඳව තැකීමක් ඇය තුළ නොවීය. නැඟී සිටින්නට දරන ලද වෑයම යළි යළිත් ව්‍යර්ථ වීමෙන් ඇයට හැඬුම් ආවේය.
“යන්න එපා... අනේ මට උදව් කරන්න..”
ඒ ආයාචනය ඔහුගේ දැඩි සිත රිදවයි. ඇගේ ආයාචනය ද තමා කලකට ඉහත ලබා දුන් ප්‍රතිඥාවද අතර අතරමං වූවෙකු මෙන් ඔහු හිටි පිය හිටගෙන බලා සිටියේය.
“ඔයා නිසා තමා මම වැටුණේ. ඔයා හයියෙන් ගියානෙ... හෙමින් ගියා නම් මටත් හෙමීට පරිස්සමට එන්න තිබ්බා වැටෙන්නැතිව...” යි ඇය දැරියක මෙන් චෝදනා කළාය. ඒ චෝදනාව නොව ඔහුගේ සිත සසල කරන්නේ ඇගේ ආමන්ත්‍රණයයි.
“ඔයා...”
ඔහුට එය කෙතෙක් නුහුරුද යන වග හොඳින් ම දැන හැඳිනගත් ගැහැනිය සිහි කරමින් ඔහු අමාලි වෙත ගියේය.
“මං පස්සෙං එන්ඩ එපා.”
ඇයට උපකාර කරන්නට පෙර ඔහු රළු හඬින් අණ කළේය.
“හරි හරි... ඉතිං ඉස්සෙල්ලම මට ගොඩට එන්න උදව් කරන්නකෝ...”
දෙහීය ද හා තිබූ බැවින් කුඹුර එකම මඩ තලියක් විය. ඒ ඝන උකු මඩ දියරයෙහි දඟලන කෙල්ල දෙස ඔහු මොහොතක් බලා සිටියේය.
ලබන සතියට...