“ඔයාගේ නැන්දට දුර පේනවා අඩුයි වගේ...” | සිළුමිණ

“ඔයාගේ නැන්දට දුර පේනවා අඩුයි වගේ...”

කඳුළු පිරි දෙනයන අබියස තියුණු බැල්මක් හෙළුවේ ඒ කාලවර්ණ තරුණයාය. ඔහු තමා වැලඳගත් ඒ මොහොත සිහිනයක් තරමට මායාකාරි නොවන්නේදැයි ඇයට සිතිණ. එවැන්නක් සිදු නොවූ බව සිතන්නට හඟින්නට ඇය තැත් කළාය.

“ඒ පුංචි ළිඳ ළඟ එයා හිටියේ නෑ.. මම වෙළේ වැටුණේ නෑ.. එයා මාව තුරුලු කරගත්තේ නෑ... ඒ සේරම මගේ ඔළුවේ මැවෙන මනස්ගාත” යි මහ හඬින් කෑගසන්නට ඇත්නම් සිත දවන තවන මේ පීඩාව තුනී වී යනවා ඇතැයි ඇයට එක් නිමේෂයකට සිතිණ.

“ආපහු එයි කියලා ජීවිත කාලෙම බලං ඉන්න අය කොයිතරම් ඉන්නවද අමා මේ රටේ. තමුන්ගෙ කෙනෙක් කවදා හරි එනකම් බලා ඉන්න එක තරම් දුකක් වේදනාවක් තවත් නෑ..”

ඇස කඳුළක් ඇඟිලි තුඩින් පිස දැමූ යුවතිය නැන්දණියගේ ඇකයෙහි හිස හොවා ගත්තාය.

“මිනිස්සු අතුරුදහන් වෙන රටක් මනුස්ස වාසයට සුදුසු නෑ පොඩි නැන්දේ..”

සුනන්දා ඇගේ හිස අතගාන්නට වූයේ අපමණ සෙනෙහසිනි.

“ඒක තමා ඔයා රමේෂ්ව බැඳලා මේ රටින් යන්න. ඉඳහිට ඇවිත් යන්න එන්න තාත්තයි මායි බලන්න...”

“රමේෂ්...” යි ඇය හිස නඟා හඬ ගෑවේ මෙතෙක් වේලා ඔහු අමතක කිරීම පිළිබඳව තමාටම දොස් පවරා ගනිමිනි.

“ඉතිං...? කොහෙද ඔය දුවන්නේ..?”

සුපුරුදු දඟකාරිය ප්‍රාදුර්භුත වීම පිළිබඳව හටගත් සොම්නස හා සහනය සඟවාගන්නට ප්‍රයත්න දරමින් සුනන්දා නොමනාපයම පළ කළාය.

“මං යන්නෙ රමේෂ්ව මුණගැහෙන්න...”

“ඒ මොකටද?”

“ඇයි දැං නැන්දා කීවෙ රමේෂ්ව කසාද බඳින්න කියලා..”

සුනන්දා වහා නැගී සිටියාය.

“ඉතිං ඔය යන්නෙ කසාද බඳින්නද..? සෙල්ලම් කරන්න එපා අමා.. දන්නවනෙ තාත්තගෙ හැටි...”

“කසාද බඳින්න කලිං මම තව ටිකක් එයාව ආශ්‍රය කරන්න ඕන නැන්දේ.. තාත්තට කියන්න ඒ ටික..”

ලහි ලහියේ හැඳ පැලඳගත් යුවතිය අත් බෑගයද උරහිසක එල්ලා ගනිමින් දිව ගියාය.

“අමා..”

ඇය නවත්වන්නට හෝ ආපසු හරවන්නට තමා අපොහොසත් බව දැන දැන වුව සුනන්දා මහ හඬින් කෑ ගෑවාය.

“තාත්තා එන්න කලිංවත් ගෙදර එන්න බලන්න. මං කොහොමද කටක් ඇරලා කියන්නේ දෝණියන්දැ මනමාලයව ආස්සරේ කරන්න ගියා කියලා.. මටත් කෝටු පාර වදී ලොකු ඉස්කෝලෙ මහත්තයාගෙං...”

නැන්දණියගේ වචන අමාලි ලුහුබැඳ ආ බැවින් මුවඟ සිනාවක් නැගිණ. එබඳුම මඳ මුදු සිනාවකින් යුතුව රමේෂ් සිය මව සමඟ ඡායාරූප ඇල්බමයක් දිග හැරගෙන සිටියේය. සොඳුරු හා ආදරණීය අතීතයක මතක දෑසින් දැකීම සොම්නස් සහගත වූ අතර ශෝකය ද ඊට මුසු විය. ඒ ආදරණීයයා ජීවිතය හැර පියා ගොස් කලක් ගතවූ බව සිතීම පවා වේදනාකාරිය.

* * * * *

“මොකද කෙල්ලෙ පරක්කු වුණේ?”

ශ්‍රීමා ව්‍යාජ අමනාපයක් මවා පෑවාය.

“මං එනවා කියලා පොරොන්දු වුණේ නෑනේ අද..”

“කලිං නොදන්වා ගෙදරකට එන එක ඒ හැටි ශිෂ්ට සම්පන්න නෑ නෝන මහත්තයා..”

රමේෂ් බැරෑරුම් ස්වරූපයකින් කී කල අමාලි හඬනඟා හිනැහුණාය.

“ඔයාගෙ ඔය ඒරොප්පේ මැනර්ස් එක්ක අපිට ජීවත්වෙන්න බෑ මහත්තයෝ...”

“ඒරොප්පේ වුණත් හොඳ දේ නොගන්න එක මෝඩකමක්. කුහකකමක්...”

ශ්‍රීමා ඒ වාදයට බාධා කළේ කෙල්ලකගේ කෙළිලොල්කමිනි.

“ගෑනු ළමයා අද නම් ඇවිත් ඉන්නෙ මේ නාකි මාව බලන්න නෙමේ.”

“එහෙනම්..?”

අමාලි නුවුමනා කුහුලක් පෑවාය.

“පිරිමි ළමයා බලන්න නේද..?”

“ඔව්. බලන්න විතරක් නෙමේ. පිරිමි ළමයා එක්ක පොඩි රවුමක් යන්නත් එක්ක.”

ශ්‍රීමා හිස සැලුවේ මහත් කැමැත්තෙනි.

“අද කාංචනා ගෙදර ඉන්න එකේ ඔයාලට කා එකේ යන්නත් පුළුවන්නෙ...”

රමේෂ් බියපත් මුහුණින් බලා සිටියේය.

“ඔයාගේ තාත්තගෙන් පර්මිෂන් ගන්න ඕන නේද අමාලි..?”

“එදා ගත්තනෙ.. මෙන්න මෙහේ එන්නකෝ..” යි කියමින් ඇය ඔහුගේ අතින් ඇද්දාය.

“ඒ.. ඒ වුණාට..”

තතනන තරුණයා ඇදගෙන දිව යන කෙල්ල දෙස ශ්‍රීමා සොම්නසින් හා සෙනෙහසින් බලා සිටියාය.

“අමාලි තමා අපේ කොල්ලට හරියට ම හරියන කෙල්ල.” යි කොඳුරමින් ඇය නැවතත් ඇල්බමය වෙත එබුණාය. ඇය වෙත වන සන්තුෂ්ටිය අහිමි රමේෂ් නිහඬවම වාහනය පණ ගන්වා ගත්තේය.

“මොකද අනේ ඔය මූණේ හැටි? හරියට මම ඔයාව කිඩ්නැප් කරනවා වගේනෙ...” යි අමාලි සරදම් කළද ඔහුගේ මුව’ග සිනාවක් නොනැගිණ.

“යන්නෙ කොහෙද කියලවත් ඔයා ඇහුවෙ නෑනෙ රමේෂ්...”

“ඔයාට යන්න ඕන තැන මම දන්නවා. මම ඔයාව එතනට එක්කගෙන යන්නම්...”

ඇය මෝදු වන කුහුලින් ඔහු වෙත හැරුණාය.

“ෂහ්... ඔයාට අනුන්ගේ හිත් කියවන්නත් පුළුවන්නෙ...”

ඔහු කිසිවක් නොපැවසුවේය.

“ඔයාට මාව වදයක්ද රමේෂ්?”

සුපුරුදු සැහැල්ලුව ඇය අතහැර ගොසිනි. ඒ නිසාම ඇගේ මුහුණ දකින්නට ඔහු මැළි විය.

“මම පොරොන්දු වුණානෙ අමාලි ඔයාට ඔයාගේ අම්මව හොයාගන්න උදව් කරනවා කියලා.”

“ඒ පොරොන්දුව මහා හිරිහැරයක් බවයි ඔයාගෙ මූණෙන් පේන්නේ...”

ඔහුගේ මුව කොන මඳක් ඇදව ගියේය. සිනාසීමේ ප්‍රයත්නයකට වඩා එය අවඥාව හා නොරිස්සුම මුසු වූවකි.

“ඔයාගේ නැන්දට දුර පේනවා අඩුයි වගේ.”

ඒ කතාව වටහා ගත නුහුණු අමාලි විමසිලිමත් බැල්මක් හෙළුවාය.

“නැන්දා නොදැක්කට මම දැක්කා ඔයත් එක්ක ඒ කුඹුරෙ උන්නු බෝයිව.”

ඇගේ හදවත මොහොතකට නතර වූ සෙයකි. වචනයක් මුවින් පිට කිරීම මේ සා අසීරු බවක් ඇය මින් පෙර දැන නොසිටියාය.

“ඇහුවට කමක් නැද්ද ඒ කවුද කියලා...”

වියළී ගිය දෙතොල දිවෙන් තෙත් කරගත් යුවතිය කිසිවක් පවසන්නට වෑයම් කළාය. එහෙත් ඇගේ උගුර සිරව දෙනෙත කඳුළින් පිරී ගියේය.

“අමාලි..”

රමේෂ්ගේ ස්වරයෙහි වූයේ පිළිතුරක් ඉක්මනින් වුවමනා බවකි.

“ඒ.. ඒ කවුද කියලා මාත් තාම හරියට දන්නෙ නෑ රමේෂ්...”

ඇගේ හැඬුම්බර හඬින් නොකැලඹී සිටින්නට යත්න දරමින් ඔහු වාහනයේ ‍වේගය අඩු කළේය.

“ඔයා ඇත්තට ම හොයන්නෙ අම්මවද අමාලි...?”

එවන් නිර්දය ප්‍රශ්නයක් කිසිසේත් අපේක්ෂා නොකළ ඇය “අ.. අනේ” යි කොඳුරමින් ඔහු දෙස බැලුවාය. ඒ බැගෑබර බැල්මෙන් සසලව ‍ගියද ඔහු දෙනෙතෙහිද ස්වරයෙහිද දැඩි බව ආරක්ෂා කර ගත්තේය.

“ඇත්ත ඒ තරම් ලස්සන නැතත් ඒ අවලස්සන ඇත්ත හොඳයි නේද අමාලි ලස්සන බොරුවට වඩා...?”

“ඔයා විශ්වාස කරන්නෙ නැත්තං මං හොයන්නෙ අම්මව කියලා කරුණාකරලා කා එක නවත්තන්න රමේෂ්...”

ඇය කඳුළු පිරි දෑසින් වුව දැඩිව ඉල්ලා සිටියාය.

“O.K” යි කී තරුණයා පාරේ පසෙකට කොට මෝටර් රථය නවතා ගත්තේය.

ලබන සතියට‍...

Comments