
පොදු ජනතාවගේ යහපත පිණිස ඇති නීති රීති අනුව රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගැනීමට පසුබට නොවන බව, ඉන්ධන බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම ගැන කරුණු පහදමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබිණි. වර්ජකයන් හෝ උද්ඝෝෂකයන් හෝ තම සීමාව අබිබවමින්, රට පාලනය කළ යුතු වන්නේ තමන් හිතන පතන ආකාරයට ය, යන අධිතක්සේරුවෙන්, එදිනෙදා ජන ජීවිතය අවුලකට ඇද දමමින් දියත් කරන ‘දේශපාලන න්යායපත්රය’ දෙස ඉවසීමෙන් බලා සිට කළ අවධාරණයක් ලෙස එය ගත හැකි යි. වැඩවර්ජන හෝ උද්ඝෝෂණ හෝ මෙහෙයවන්නන් වෙත ඔවුන්ගේ වගකීම ගැන සිහිපත් කර දීමක් ද එහි තිබේ. විශේෂයෙන් ම සම්මුතිවාදි ආණ්ඩුව යටතේ රටට ලැබුණු ප්රජාතන්ත්රවාදි නිදහස ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය අවුල් කෙරෙන ආකාරයට අපයෝජනය නොකළ යුතු බව ද එයින් අඟවයි.
වෛද්‍ය වෘත්තිකයන් විසින් උසිගන්වන ලද වැඩවර්ජන රැල්ල දිනෙන් දින නැඟුණේ සැඟවුණු දේශපාලන න්යායපත්ර ද ඇති ව බව හොඳින් පෙනී යන කාරණයකි. ‘සයිටම්’ වරදක් ලෙස පසුගිය රජය සමයේ පෙනී නොයෑම හා ඒ වෙනුවෙන් එදා උද්ඝෝෂණ නොකිරීම නිදසුනකි. හම්බන්තොට තෙල්ටැංකි වරාය සතු දේපළක් මිස තෙල් සංස්ථාව සතු සම්පත් නොවන අතර, ආයෝජන ඉලක්ක රහිත ව, හුදු ඉදි කිරීම් ලෙස ඇති කළ එම ව්‍යාපෘති රටට වාසිදායක ආයෝජන බවට පත් කිරීම වගකීම් දරන රජයකට මඟහැරිය නොහැකි ය. රටේ සම්පත් විදේශිකයන්ට පවරනවා ය යන අර්ථයෙන් ඊට එරෙහි ව ඝෝෂා කරන්නන්ට, කොළඹ වරාය නගරය සඳහා ඉඩම සින්නක්කර ඔප්පුවකින් ලියා දීම නිහඬ ව ඉවසන්නට හැකි වූ බව මෙහි දී අමතක කළ යුතු නැත.
ලද දේශපාලන නිදහසින් එළියට ආ උද්ඝෝෂණ හෝ වැඩවර්ජන හෝ මෙහෙයවන්නන් මුල සිට ම පෙනී සිටියේ, ප්රජාතන්ත්රවාදි නිදහසට මුවා වී, ආණ්ඩු විරෝධි දේශපාලන න්‍යාය පත්‍ර මුලට ගෙන, එදිනෙදා ජන ජීවිතය අවුලට ඇදදමන මඟක යි. අවසානයේ මේ වෘත්තීය සටන් දැන හෝ නොදැන පරාජිත පවුල් පාලනයේ අතකොළු බවට පත්ව ඇත. එම රජය යටතේ පැවති මර්දනකාරී වටාපිටාවෙන් අත්මිදීමේ ආස්වාදය නිසා දෝ කළ නොකළ යුතු දේ පවා ඇතැම් විට වෘත්තීය සමිතිවලට අද තෝරා බේරා ගැනීම අපහසු වී ඇත. එබැවින් මඟහැරුණු වෘත්තීය වගකීම මෙන්ම මහජන සුභසිද්ධිය වෙනුවෙන් රජයට කළ හැකි දේ සිහිපත් කර දීම මෙහි දී ඉතා වැදගත් ය. ප්රජාතන්ත්රවාදි නිදහස රටට සමාජයට වැඩදායක වන්නේ හිතන පතන බුද්ධිමත් සමාජයකදී පමණක් වීම නිසා ජනාධිපතිතුමා කළ අවධාරණය තවත් වැදගත් ය.
සම්මුතිවාදි ආණ්ඩුව වැඩවර්ජන හෝ උද්ඝෝෂණ ආදියට මුහුණ දෙන්නේ පෙර රජය මෙන් මර්දනකාරි පිළිවෙතකින් නොවන බව කවුරුත් දනිති. එනම් අරගලකාරි වටපිටාවක් ඇති කිරීම වෙනුවට ප්‍රශ්න ගැටලු සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගන්නා පිළිවෙතක් රජය අනුගමනය කරයි. ආර්ථික සමෘද්ධිය තරමට ම ශිෂ්ටසම්පන්න සමාජයක් ද රටට අත්‍යවශ්‍ය වීම නිසා ආණ්ඩුව ගත් ඒ මඟ ඉතා වටී. අනෙක් අතට සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් කර ගත් ජනතා පැතුම ද එයයි. ඒ වෙනුවෙන්, අරගල හමුවේ ඉවසීමෙන් මුහුණ දෙන පිළිවෙත ආණ්ඩුවේ දුර්වලකමක් ලෙස නොදැකිය යුතු වන්නේ පෙර රජයේ මර්දනකාරි ඒකාධිපති ස්වරූපය මෙරට ජනතාව යළි කිසිදාක නොපතන බැවිනි.
තම අර්ථසාධක අරමුදල රැක ගැනීම වෙනුවෙන් වෘත්තීය සටනකට ගිය නිදහස් වෙළෙඳ කලාපයේ උද්ඝෝෂකයන්ට එදා ආණ්ඩුවෙන් විසඳුම ලෙස ලැබුණේ වෙඩි තබා ඝාතනය කරන ආකාරයේ අමානුෂික මර්දනයකි. කොළඹ වරාය නගරය ඉඩම ඇතුළු තවත් ඉඩම් සින්නක්කර ඔප්පුවලින් එදා ලියා දෙන විට නැඟෙන්නට නියමිත ව තිබුණු ජනතා උද්ඝෝෂණ නිහඬ කළේ එවැනි මර්දන මඟිනි. අවශ්‍ය අනවශ්‍ය හැම දේට ම අද නිදහසේ කර ගෙන යන උද්ඝෝෂණ හෝ වැඩවර්ජන හෝ ගැන එකී මර්දනය ගෙන ගිය පරාජිත පාලකයන්ගෙන් ද කරුණු විමසන මාධ්‍යයටත්, ඒ දේශපාලකයන් කරේ තබා ගෙන යන වෘත්තීය සංවිධානවලටත්, එකී උසිගැන්වීම්වලින් මුසපත් පිරිසටත් දැන් ඒ මෑත අතීතය පවා අමතක ව ඇත; නැති නම් සිතා මතා ම ඒ ගැන රටට අමතක කරවමින් ඇත. එවැනි අවස්ථාවක මහජන සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නැංවිය හැකි නීති රීති ගැන පෙන්වා දීම මෙන් ම අවශ්‍ය විට එකී නීති රීති ක්‍රියාවට නැංවීම ද ආණ්ඩුවේ වගකීමකි. එදිනෙදා ජන ජීවිතය සාමකාමි ව පවත්වා ගෙන යනු පිණිස ඉඩ සැලසීම රජයේ මූලික වගකීම වන බැවිනි.