වාර්තා පිට වාර්තා තැබූ ‍මීපිළි­මාන වීරයා අද අස­ර­ණයි | Page 5 | සිළුමිණ

වාර්තා පිට වාර්තා තැබූ ‍මීපිළි­මාන වීරයා අද අස­ර­ණයි

 

“ලෝකාන්තය කියන්නේ මගේ ජීවිතයට ගොඩාක් සමීප තැනක්. මගේ ජීවිතයේ අමතක කරන්න බැරි බොහෝ දේ මේ කඳු පාමුල සැඟවිලා තියෙනවා. දවසක් හවස හතරට විතර මට පණිවිඩයක් ලැබුණා ලෝකාන්තයෙන් තරුණයෙක් වැටුණා බේරගන්න කියලා. මම වෙලාවක් කලාවක් බැලුවේ නැහැ. හම්බවුණු වාහනයක නැගලා ලෝකාන්තයට ගියා හවස හය වෙනකොට. ගොම්මන් අඳුර හැම තැනම. මේ වෙලාවේ ලෝකාන්තය බලන්න එන අය හරිම කලබලයෙන් පිටත් වෙනවා. ලෝකාන්තයෙන් වැ‍ටුණු තරුණයාගේ ඥාතීන් එක් පැත්තකින් විලාප දෙනවා. මට බලා ඉන්න බැහැ. කිසිම ආරක්ෂාවක් නැතුව මම ලෝකාන්තයෙන් බැස්සේ මගේ ජීවිතයත් තුට්ටුවකටත් මායිම් නොකරයි. එහෙම බැහැලා මං ඒ තරුණයා නිරුපද්‍රිතව ගොඩගත්තා. ඒත් එදා කාටවත් කරන්න බැරිවුණ දේවල් කළ මම අද අසරණයි. ඒ හයිය අද මගේ ඇඟේ නැතිවුණත් අද මම ජීවත් වෙන්නේ ළිං කපලා.”

වියපත් වුවත් ඔහුගේ පෙනුම තරුණය. ඔහුගේ ජීවිතයේ අපට කියන්නට බොහෝ දේ ඉතිරිව ඇත. නුවරඑළිය ග්‍රෙගරි වැව් ඉස්මත්තට වී මම ඔහුගේ කතාවට කන් දුන්නෙමි. පළමුවෙන්ම දිය ඇල්ලකින් බැස වාර්තාවක් තැබූ මීපිළිමාන ‍වීරයා ලෙසින් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුන්වන ඔහු ටෝනිය. ඒ හැරුණුකොට ඔහු තැබූ වාර්තා බොහෝය. වයසින් පනස්විය ඉක්මවුවද ඔහුගේ පෙනුම තරුණය. ජව සම්පන්නය. කිසිම ආරක්ෂක උපකරණයක් හෝ නොමැතිව ලෝකාන්තයෙන් මුලින්ම බැස්සේ ද ඔහුය. ලංකාව වටේ දින තිස්පහකින් පයින් ගොස් වාර්තාවක් තැබුවේද ඔහුය. රුවල් ඔරුවක් හබල් ගාමින් අප රට වටා මුහුදින් ගොස් වාර්තාවක් තබන්නට උත්සාහ කළේද ඔහුය. අවසානයේ ලංකාවේ දිගම සරුංගලය සකසා ඒ‍ වාර්තා ගොන්නට ඔහු තවත් වාර්තාවක් එක්කළේය.

මීපිළිමාන වීරයා අපට අමතක නැත. එදා බොහෝ මාධ්‍ය ඔහු ගැන රටට බොහෝදේ කිව්වා අපට මතකය. ඒත් එදා සිටි මීපිළිමාන වීරයාගේ කතාවට වඩා අද ටෝනිගේ කතාව බොහෝ වෙනස්ය.

“රටම මීපිළිමාන ටෝනි කියලා දැන ගත්තට මගේ නම ඇන්ටනි කුමාර බන්දුල. අම්මා දැම්ම ඒ නමට මම හරි ආසයි. මගේ ජීවිතෙන් බය කියන එක ඈත් වුණේ පොඩි කාලෙදියි. තරුණ කාලේ දිය ඇල්ලකින් බහින්න ඕනෑ කියලා මට හිතුණා.මගේ පළමු වාර්තාව ඩෙවෝන් දියඇල්ලෙන් බැහැලා තැබූ වාර්තාවයි. මම මුලින්ම ලෝකාන්තයෙන් බැස්සේ 1996 දී. ඒ වෙනකොට කවුරුවත් ලෝකාන්තයෙන් බැහැලා තිබුණේ නැහැ. ඒත් මට බහින්න අවසර ගන්න අවුරුදු තුනක් විතර ගියා. ජීවන් කුමාරණතුංග මහත්තයා දවසක් මට කිව්වා ටෝනි බය නැතුව බහින්න මම ඔයාට අවශ්‍ය ඇඳුම් අරගෙන දෙන්නම් කියලා. මට ලෝකාන්තයෙන් බැසීම කිසිම අවදානමක් තිබුණේ නැහැ. අඩි 100ක් 150ක් විතර බහිද්දි ලිස්සුවා. මම හිතුවා එදා මම ඉවරයි කියලා. ඒත් මම ලෝකාන්තයෙන් බැස්සා. ආයිත් නැග්ගා.” ආරක්ෂක උපකරණ නැතිව ඕනෑම කෙනකුට ලෝකාන්තයෙන් බහින ලෙසට ටෝනි දැනුදු අභියෝග කරයි.

මොහුගේ හිත තවමත් ශක්තිමත් ය. ඔහු එදා කළ කී දෑ කරන්නට තවමත් තරුණ පරපුරයට නොහැකි බව හෙතෙම දනී. මේ වීරකම් කරන්නට නිසි පුහුණුවක් අවශ්‍ය යැයි පවසන ටෝනිට එදා මේ ශිල්පය උගන්වන්නට කිසිවෙකු සි‍ටියේ නැත. එහෙත් ඔහු ඔහුගේ දුප්පත්කම පසෙකට දා ගමේ දරුවන්ට මේ ශිල්පය ඉගැන්වීය.

“අදටත් මම ජීවත් වෙන්නේ මීපිළිමාන ගමේ. මට ඕනැ වුණා මේ ශිල්පය කාට හරි උගන්වන්න. ඒත් මට මේ දේවල් කරන්න මුදල් නැහැ. මම දරුවෝ එකතු කරගෙන මේ ශිල්පය ඉගැන්වීම ආරම්භ කළා.

එකම දවසේ දිය ඇලි දෙකකින් බැහැලා ගිනස් වාර්තාවත් තියපු නිලන්ත, තාබෲ, කුමාරසිරි මගේ ගෝලයෝ. මීපිළිමාන වැව තමයි කඳුකරයේ ගියෙන ගැඹුරුම වැව. මේ වැව මගේ ජීවිතයට ගොඩාක් සමීපයි. මම පිහිනන්න ඉගෙන ගත්තේ මේ වැවෙන්. ඒ ව‍ගේමයි ලෝකාන්තය, ග්‍රෙගරි වැව මේවායින් වැටුණු අය මම අනන්තවත් ගොඩ අරගෙන තියෙනවා. සමහරු අදටත් ජීවත් වෙනවා. එදා කිලෝ 300 ක් ඉස්සපු මට අද කිලෝ 20ක් වත් උස්සන්න බැහැ. ඒත් එදා තිබුණු හිතේ හයිය අද මගේ හිතේ නැතිවුණත් කාගේ හරි ජීවිතයක් බේරගන්න කවුරු හරි කතා කළොත් මම දෙපාරක් හිතන්නේ නැහැ.” ඔහු දිගූ හුස්මක් පිටකරමින් පවසයි.

එදා සිය ඉණේ පැලැඳි ආරක්ෂක මෙවලම තවමත් ටෝනි‍ගේ ඉණේ වෙයි. ඒ ආරක්ෂාවට වඩා පුරුද්දටය. බොහෝ දේ නැතිව ගිය ඔහුට අද ඉතිරිව ඇත්තේ සිය ආරක්ෂක මෙවලම පමණි. එදා මේ හැම දස්කමක්ම පෙන්වූ කඹය අද ඔහු ළඟ නැත. ජීවත් වීමේ අරගලයේදි ඒ බොහෝ දේ ඔහු කෙරෙන් ඉවත් වූයේ කාලයාගේ ඇවෑමෙනි.

“මගේ හිතේ හයිය නැතිවුණේ කලකිරීම නිසයි. එදා මේ හපන්කම් පෙන්වපු කඹය අද මා ගාව නැහැ. ඕනෑම දෙයක් දිරනවා කියලා හිතලා හිත හදාගෙන මම මගේ කඹය වැඩි මිලකට කෑලි කපලා විකුණුවා. ලක්ෂ 20 ක් විතර වටින මගේ කඹය ප්‍රදර්ශනයකට තිබ්බ නම් මට හොඳ ගණනක් ලබා ගන්න තිබුණා. මොකද මගේ කඹය තමයි ලංකාවේ දිගම කඹය. අද දහ පහළොස් දෙනෙක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. එකත් මට ලොකු පිනක්. මේ නිසා මගේ අසරණකමත් එක්ක බොහෝ දේ මගෙන් ඈත් වී ගෙන ගියා. ඒත් කඹේ නැති වුණත් තවමත් මගේ හිතේ යම් යම් ආසාවන් තියෙනවා ඉටුකර ගන්න”

ඒ පිළිබඳ සිහිපත් කරන විට ඔහුගේ දෙනෙතේ කඳුළක් නැගිණි.ඔහු හෙළන සුසුම්වල බොහෝ දේ සැඟවී ඇත. ග්‍රෙගරි වැව් ඉස්මත්තෙන් හමනා මද සුළඟ දැඩි රස්නය ටිකෙන් ටික පලවා හරියි. බෝට්ටුවක් මතට වී මා සමඟ දොඩමලු වන ටෝනිට කියන්නට තව බොහෝ දේ ඉතිරිව ඇතැයි සිතේ. කෙතරම් නැති බැරිකම් තිබුණද කාටවත් දෙවැනි නොවීමට තරම් පුංචි ආඩම්බර කමක් ඔහුගේ සිතේ වෙයි. කවුරුත් නැතත් කිසිවෙකුත් ඇගැයුවේ නැතත් ඒ සියල්ල පරයමින් නැඟී සිටින්නට ටෝනි ගේ හද ශක්තිමත් ය.

“ලංකාවේ මුහුද වටේ ඔරුවකින් ගිහින් වාර්තාවක් තියන්න ඕනෑ කියලා මම තව දෙන්නෙකුත් එක්ක ගෝල්ෆේස් මුහුදෙන් පටන් ගෙන ඔරුව හබල් ගාගෙන ගියා. ඔහොම ගිහින් ගාල්ලට කිට්ටු වෙද්දි මාත් එක්ක හිටපු දෙන්නා බය වුණා. අන්තිමේදි ඒ දෙන්නා නිසා මගේ ආසාව අත්හැර ගන්න වුණා. ඒත් දැන් මට ආසයි බෝට්ටුවකින් හරි මුහුද වටේ ගිහින් දවස් විස්සකින් වාර්තාවක් තියලා මේ ගමන අවසන් කරන්න. මගේ ජීවිතේ තව ආසාවක් තිබුණා එවරස්ට් කන්ද තරණය කරන්න. මම කොහොම හරි මුදල් හොයාගෙන ඒ ගමන ගියා. ඒත් බේස් කෑම්ප් එකෙන් එහාට මේ ගමන යන්න මට ලැබුණ නැහැ. අපි වගේ අයට කාගෙන්වත් හරි රජයෙන්වත් හරි සහාය නැතිනම් මේවගේ ගමන් යන්න බැහැ. මට තව කරන්න ගොඩාක් දේ තියෙනවා.මට දැන් අවුරුදු පනහ පිරෙනවා. එදාට මම මාසයක් දෙකක් හෝ අවුරුද්දක් හෝ එක දිගටම කඹයක එල්ලිලා ගිනස් වාර්තාවක් තියන්න හිතනවා. දැනට තියෙන වාර්තාව කඩනකම්ම මම කඹයේ එල්ලිලා ඉන්නවා. ඒත් මෙතැනදි මම අසරණයි. ගිනස් වාර්තාවක් තියන්න අදාළ අය ගෙන්වන්න ලොකු වියදමක් යනවා. ඒත් ඒ දේ කරන්න ‍මට මුදල් නැහැ. මම මේ ගැන රජයට ලිව්වා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ සහතිකය ගන්න රුපියල් කෝටි ගණනක් වියදම් කරන්න මට විදියක් නැහැ. ජනමාධ්‍යයෙන් මට සෑහෙන්න උදවු කළා. ඒ ගැන මට හරිම ආඩම්බරයි. එදා මට ගොඩාක් අය ලියුම් ගොඩාක් එව්වා. ඒත් ඒවට පිළිතුරු යවන්න බැරි වුණහම ගොඩාක් අය මාත් එත්ත තරහ වුණා. මගේ වයසට මගේ හැකියාවන්ට ලැබුණු දේට වඩා නොලැබුණු දේ බොහෝයි. මට මා ගැනම ඇතිවෙන්නේ ලොකු දුකක්” ඔහු පවසයි. ඔහු තැනූ ලොව විශාලතම සරුංගලය අඩි 1040 ක් දිගය. ඔහු එම සරුංගලය තනා ඇත්තේ ගමේ අයගෙන් ඉල්ලා ගත් සාරි 100කිනි. ඔහුගේ බිරිය වැඩ කරන්නේ ස්ට්‍රෝබෙරි වත්තකය.

“අපි දෙන්නා මොනවා හරි කරලා හම්බ කරලා ඉතිරි කරගන්න කීයෙන් හරි තමයි මම මේ දේවල් කරන්නේ. ඒත් මට මේ සරුංගලය හැදුවා කියලා අහසේ පා කරන්න අවසර නැහැ. අපි මේ වගේ දෙවල් කරලා කොහේ හරි තැනක හිර වෙනවා. මම රෑ 10ටත් ලෝකාන්තයෙන් බැහැලා මිනිස්සු ගොඩ අරගෙන තියෙනවා. ඒත් ඒ අයගේ ඥාතීන්ටත් අද මා අමතකයි. ඒත් මගේ හැකියාව දන්න කිහිප දෙනෙක් අදටත් මා හොය‍ා ගෙන එනවා. ඔය නෝනාත් මා හොයාගෙන ආවෙ ඒ නිසා නේද?” ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරමින් ඔහුගේත් මගේත් සංවාදයට ඔහුම තිතක් තැබුවේ ය.

ඔහුත් මාත් මුණ ගැසී දෙමසක් ගත වුවද මේ වනතෙක් ටෝනි ලිපිය ගැන විමසුවේ නැත. ඒ ඔහුගේ හැටිය.

ඔහුට ප්‍රසිද්ධිය උවමනා නැත. පුවත් පත්වල පිටු ගණනින් ලිපි පුරවන්නට ඔහුට ඇවැසි නැත. ඡායාරූපවලින් ලිපි වර්ණවත් කරන්නට ඔහුට නුවුවමනාය. එදා ඔහු කළ හපන්කම් රටට ආවර්ජනය කරන්නට අද ඔහු සතුව කිසිදු ඡායාරූපයක් නැත. හෙත් මීපිළිමාන වීරයාට කරන්නට බොහෝ දේ ඉතිරිව ඇත. අඩුම තරමින් ඔහු වෙහෙස වී සෑදු සරුංගලය හෝ උඩු ගුවනේ පාකර හැරීමට තරම් ඔහු භාග්‍යවන්තයකු වූයේ නැත. මේ ලිපිය ඔහුගේ ඒ වීරත්වයට මඟ සැලැසීමටය. 

Comments