පෙරටුගාමි චින්තනයක් නැතිකම | සිළුමිණ

පෙරටුගාමි චින්තනයක් නැතිකම

 ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රමෝපාය සංවෘත වූවක් නොවේ. දේශීය ආර්ථිකය ශක්තිමත් කර ගත යුතු වන්නේ ලෝකය සමඟ විවෘත වෙමින් හා රටේ වුවමනාවන් අනුව ක්‍රියා කරමිනි. ලෝකය සමඟ ඉදිරිගාමි වීම පිණිස අත්‍යවශ්‍ය ආකල්පමය වෙනස තව මත් ප්‍රමාද යි. එය ඇති කරන්නට ප්‍රධාන වශයෙන් දායක විය යුතු අධ්‍යාපනය යල්පැන ගිය සැටි, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ගෝත්‍රවාදි විරෝධතා මඟින් කියා පායි. රජයේ අයිතිය යටතේ හෝ පෞද්ගලික අංශය යටතේ හෝ මුදල් ගෙවා ඉගෙනුම ලබන්නට හැකි වෛද්‍ය විද්‍යාලයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ පිටරටින් වෛද්‍ය උපාධි ලබා ගැනීම පිණිස වාර්ෂිකව මෙරටින් ඇදී යන රුපියල් මිලියන ගණනක් වූ විදේශ විනිමය මෙහි රඳවා ගැනීම පිණිස පමණක් නො වේ. නිදහස් අධ්‍යාපනය නාමයෙන් අනෙකාට ඉගෙනුම ලබන්නට ඇති අයිතිය නැති කිරීම විවෘත ලෝකයක මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ද වන බැවිනි. ඒ පදනමින් බලන කල මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි විශ්වවිද්‍යාල රටට අවශ්‍ය වේ. එහෙත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්නට අවසර දෙන විට එවැනි විශ්වවිද්‍යාලයක් තනි පුද්ගල අයිතියකට යෑම කොතරම් සුදුසු ද හා එහි පාඨමාලාවල තත්ත්වය ආරක්ෂිත ද යන ප්‍රධාන අංග කෙරෙහි අවධානය යොමු වී තිබුණේ නැත. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය හිමි විය යුතු සමාජ පදාසයට එමඟින් විය හැකි අවාසිය ගැන තක්සේරු කෙරුණේ නැත. පසුගිය ආණ්ඩුවට මඟහැරුණු ඒ මැදිහත් වීම වත්මන් අණ්ඩුව දැන් විසඳා ඇත. ඒ බව දැන දැන ම රජයට එරෙහි ව නඟන විරෝධතාවලට මුවා වී දේශපාලන වාසි ගන්නට මාන බලන අය අතර, ප්‍රශ්නයට මුල පිරූ පැරදුණු පවුල් පාලනය ද සිටීම මොන තරම් නම් ජුගුප්සාජනක ද?

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද පැරදුණු පවුල් පාලනය විසින් ගනු ලැබූ උද්ධච්ච එමෙන් ම වැරදි තීන්දුවක් බව දැන් පැහැදිලි වී තිබේ. දැවන්ත සංවර්ධන ව්‍යාපෘති රටට අවශ්‍ය වන අතර, පරිසරයට අබමල් රොනක හානියක් නොකරන තැනක සිට රටට ඉදිරියට යෑමට ද නොහැකි ය. එහෙත් සංවර්ධන ව්‍යාපෘතියකින් බලාපොරොත්තු වන පොදු යහපත හා එවැනි ක්‍රියාන්විතයකින් පරිසරයට සිදු විය හැකි හානිය අවම කර ගැනීම ගැන ගණන් බැලෙන ශක්‍යතා අධ්‍යයන වාර්තා පැරදුණු රජයට එතරම් වැදගත් වූයේ නැත. බොහෝ විට ගනුදෙනු කෙරෙන මුදල් ප්‍රමාණයේ විශාලත්වය පමණක් ම උද්ධච්ච තීන්දු කෙරෙහි පාදක විණි. උමා ඔය ව්‍යපෘතිය ආශ්‍රිත ව විශාල මුදල් වංචාවක් සිදු වී ඇති බවට ද ප්‍රකාශ වේ. එහි ණය බර මෙන් ම තමන් සියල්ල දන්නවා ය කියන ඒකාධිපති වියරුවකින් තීන්දු තීරණ ගැනීමේ ඵල විපාකය ද දැන් ජනතාව පිට වැටී ඇත. නැති නම් අනාගතයේ සිදු විය හැකි මහා පාරිසරික විනාශයක පෙරනිමිති උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආශ්‍රිත ව මතු වී ඇත. යළි ආපසු හැරෙන්නට නොහැකි දුරකට ගොස් ඇති උමා ඔය ව්‍යපෘතිය, විනාශය අවම කර ගෙන පවත්වා ගැනීමට මෙන් ම නොසන්සුන් ජනජීවිතය සැනසීමට ද දැන් පැවරී ඇත්තේ වත්මන් ආණ්ඩුවට යි. ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන මෙන් ම කෙටිකාලීන විසඳුම් ගන්නා බව රජය පැත්තෙන් ප්‍රකාශ වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදි නිදහස රටේ ඉදිරි ගමන සඳහා යොදා ගන්නා ආකාරය දකින්නට හැකි පෙරටුගාමි චින්තනයක් ජනසමාජයෙන් මතු නොවන බව, නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලය ලෙස සැලකෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දේශපාලන අතකොළු බවට පත් වීම මඟින් පෙන්වයි. එවැනි පසුබිමක පැරදුණු පවුල් පාලනයේ වැරදි පවා වත්මන් ආණ්ඩුවේ වැරදි ලෙස හුවා දැක්වීම අවස්ථාවාදි දේශපාලනයට පහසු වී ඇත. ඒ උගුල්වලට හසු නොවී ජනතාවට ද, මේ ප්‍රශ්නවලට ඍජු ව පැටලී සිටින ප්‍රජාවට ද තනි තනි ව හෝ මේ ගැන කල්පනා කළ හැකි යි. විනාශය ළං කළ දේශපාලකයන් වෙතින් ම පිහිට පැතීම කබලෙන් ළිපට වැටීමක් බව වටහා ගත යුතු යි. ලෝකය සමඟ ගැටගැහුණු ආර්ථික ක්‍රමවේද අනුගමනය කරන ශ්‍රී ලංකාවට එක් රජයක් වැරදි කළ පමණින් ඒ ආරම්භ කළ ව්‍යාපෘති එක පැය විසිහතරෙන් ආපසු හැරවිය හැකි ද නො වේ. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි සංවර්ධන ව්‍යාපෘති විශාල මුදල් ප්‍රමාණයක් ගනුදෙනු වීම හා දේශපාලන උද්ධච්චකම මත ම තීන්දු වූ ව්‍යාපෘති වුව දිගුකාලීන වාසි ගැන අවධානයෙන් තොරව හා නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව සිදු වුව ද දැන් ඒවා සියයට සියයකින් ආපසු හැරවිය නොහැකි ය. සැබෑ අරමුණ කුමක් වුව ද ඒවායේ ආරම්භකයා රටේ ආණ්ඩුව වූ බැවිනි. ඒ වගකීම අවස්ථාවාදි දේශපාලකයන්ට නැති වීමට ශිෂ්‍ය ප්‍රජාව හෝ දුප්පත් ජනතාව හැම දා ම හසු විය යුතු නැත. ලෝකය සමඟ යන ගමනේ දී ශ්‍රී ලංකාව දැනට මත් පසුගාමි තැනක පසු වන බව අමතක නොකළ යුතු යි.

සම්මුතිවාදි ආණ්ඩුකරණයක අත්හදා බැලීම සාමූහික බවක් නැති ජනසමාජයක් ඉදිරියේ ඉතා අසීරු කටයුත්තක් බව දැන් ඔප්පු වී තිබේ. යහපාලනය විහිළුවක් ලෙස හුවා දක්වමින් මේ අත්හදාබැලීමේ මුල පටන් ම කටයුතු කරන මාධ්‍ය භාවිතයක් ඉදිරියේ එය තවත් අසීරු කරයි. එහෙත් රටේ ජන සමාජයේ පොදු අරමුණු හා ඉලක්ක අවස්ථාවාදි දේශපාලකයන්ට හෝ පවුල් පාලනයක ග්‍රහණයට හෝ ජනතාව වහලුන් කර ගැනීමට හෝ ඇති ඉඩ අවුරන්නට ඇති මඟ ද සම්මුතිවාදි දේශපාලනය ම යි. එබැවින් හිතන පතන සමාජ පදාසය වත් පෙරටුගාමි චින්තනයක් නැති සමාජ කොටස් ඒ ගොහොරුවෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතු වන්නේ තමන්ගේ ද ආරක්ෂාව පිණිස යි. විශේෂයෙන් තමන් දුක්මහන්සියෙන් උග්න්වන දූදරුවන් පෙරටුගාමි චින්තනයක් නැති අවස්ථාවාදි දේශපාලනයක 'අතකොළු' බවට පත් වීමෙන් වළක්වා ගැනීම ද රටේ සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් තමතමන්ට තනි තනි ව වුව කළ හැකි අද දවසේ දේශපාලන මෙහෙවර වේ. 

Comments