
මෙවර ජගත් පරිසර දින තේමාව වූයේ 'සොබා දහම සමඟ බැඳුණු ජනතාව' යනුවෙනි. ජනතාව පමණක් නො ව, සියලු සත්ත්වයෝ ම සොබා දහම සමඟ බැඳී සිටිති. මිනිසා සොබා දහමේ කොටසක් මිස, ඉන් බාහිර වස්තුවක් නො වේ. එසේ නම් ඒ ගැන අමුතුවෙන් සිහිපත් කළ යුතු වන්නේ ඇයි? විසි එක් වැනි සියවසේ සංවර්ධන ක්‍රියාවලිය 'ධරණීය' විය යුතු බවට - එනම්: දියත් කළ යුතු වන්නේ සොබා දහමට දරා ගත හැකි සංවර්ධනයක් බවට - ජගත් සංවිධානය අමුතුවෙන් සිහි පත් කරයි. 'දරා ගත හැකි සංවර්ධනය' කිසි විටෙක නොසලකා නොහළ යුතු නමුත් ඒ ගැන අමුතුවෙන් සිහිපත් කරන්නට සිදු වූයේ ඇයි? මිනිසා සොබා දහමේ කොටසක් නම් හා මිනිසා විසින් දියත් කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමය සොබාදහමට ඔරොත්තු දෙන්නක් නම් මෙසේ අමුතුවෙන් ඒ ගැන සිහිපත් කළ යුතු නො වේ. එහෙත් සොබා දහම සමඟ ජීවත් වීම ගැන අද විශේෂයෙන් සිහිපත් කිරීමට සිදු වී තිබේ. මේ එළඹ ඇත්තේ එසේ ඒ ගැන අමුතුවෙන් සිහිපත් කරන්නට සිදු වූයේ ඇයි ද යන්න සිතා බැලිය යුතු තවත් ආපදා අවස්ථාවකි. අන් කිසිවකු නො ව, සොබා දහම විසින් ම එසේ සිතන්නට මේ ආපදා අවස්ථාව සලසා ඇත.
රටේ එක් පැත්තක ජනතාව ගංවගුර, නාය යෑම් නිසා අන්ත අසරණ ව සිටිති. රටේ තවත් පැත්තක ජනතාව බීමට වත් වතුර නැති ව නියඟයට මුහුණ දෙන බව වාර්තා වෙයි. මේ දරුණු දේශගුණික බලපෑමට හේතුව මිනිසා සොබාදහම සමඟ ඇති බැඳීම අමතක කිරීම හා ධරණීය සංවර්ධනයෙන් ඈත් වීම ය. ඒ මිස මේ විපත් සොබා දහමේ කුරිරුකමක, වියරුවක ප්‍රතිඵලයක් ම නො වේ. සොබාදහම කුරිරු කර ගත්තේ හෝ වියරු කර ගත්තේ මිනිසා ය. මිනිසා සොබා දහමේ කොටසක් බවත්, සංවර්ධන ක්‍රියාවලිය සොබා දහමට දරා ගත හැකි විය යුතු බවත් අද අමුතුවෙන් කතා කරන්න සිදු වී ඇත්තේ එබැවිනි.
සොබා දහම සලසන ආපදාවන්ට ගොදුරු වන ජනතාව තමන්ට මෙසේ වන්නේ කවර වරදක් කළ නිසා දැ යි විමසා අහසට දෑත් දිගු කරනු ඇත. හදිසි ආපදාවලින් පීඩා විඳින අය එසේ දුකට පත් වුව ද ඔවුන් ඇතැම් විට සොබාදහමට එරෙහි වී නැත. මිලිමීටර් 500ක් තරම් අධික වර්ෂාපතනයක් කළුතර බුලත්සිංහල ප්‍රදේශයට ඇදහැළුණේ ඒ ප්‍රදේශයේ ජනතාව විසින් සොබාදහමට කරන ලද අරියාදුවක් නිසා ම නො වේ. ඇතැම් විට සංවර්ධන ක්‍රියාවලියක දී හෝ වෙන යම් පාරිසරික බලපෑමක දී හෝ බුලත්සිංහල ජනතාව අතින් වරදක් නොවූ තරම් විය හැකි යි. පොදුවේ ගත් කල රටක් ලෙස, එසේ නැති නම් අසියානු කලාපය ලෙස, එසේත් නැති නම් ලෝකය ලෙස සොබා දහම හා බැඳීම බිඳීමට මිනිසා ගත් වැරදි උත්සාහය ඇතැම් විට පුපුරා ගියේ බුලත්සිංහල දී ය. තමන්ගේ කුණු අන් තැනකට, අනුන් මතට පැටවීම බැලූ බැල්මට නොපෙනුණු සංසිද්ධියක් වුව ද මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට නිවෙසින් එළියට කුණු දැමූ කවුරුත් වගකිව යුතු පරිදි වේ. මෙහි දී සිහි තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ තමා පරිසරයට හානියක් කළේ නැතැයි යනුවෙන් මොනම ආකාරයකින් වත් මිනිසාට නිදොස් විය නොහැකි බව යි. ඈත පිටිසර බුලත්සිංහල වැසියා මෙන් ම අතිනවීන යුරෝපීය නාගරික වැසියා ද අඩු වැඩි වශයෙන් සොබාදහමේ බැඳීම බිඳින, දරා ගත නොහැකි සංවර්ධන - පරිභෝජන රටාවකට හුරු වී ඇති බැවිනි. එනම්: කවුරුන් කවුරුනුත් දැන හෝ නොදැන හෝ සොබා දහමට එරෙහි වෙමින් සිටින බැවිනි.
ජනතාව සොබා දහමට ඇති බැඳීම බිඳ ගනිමින් ඇති බව සිහිපත් කළ ජගත් පාරිසරික දිනය යෙදී ඇත්තේ මේ පොසොන් මාසයට යි. සොබාදහමට ගැළපී ජීවත් වීම ගැන කතා කරන විට මේ පොසොන් මාසය තවත් අතකින් ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වෙයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ පොසොන් පොහොය දිනයක දී බවත්, මහින්දාගමනය රටේ දැවන්ත සංස්කෘතික විප්ලවයකට මඟ පෑදූ බවත් ඉතිහාස කතාවේ සඳහන් වේ. ඒ සංස්කෘතික විප්ලවය සොබාදහම හා මිනිසා අතර බැඳීම ආරක්ෂා කර ගැනීමේ වටිනාකම ඉස්මතු කරයි. දේවානම්පිය තිස්ස රජු අමතමින් මිහිඳු මහ රහතන් වහන්සේ පවසා සිටියේ පාලකයා සොබා දහම රකින භාරකාරයා මිස එහි පාලකයා නොවන බව යි. ජගත් සංවිධානය ධරණීය සංවර්ධනය ගැන කතා කරන්නට පෙර, විශේෂයෙන් ම නවීන විද්‍යාව පදනම් කර ගනිමින් කල්පනා කළේ මිනිසා සොබා දහම පාලනය කරන තැනත්තා බව යි. අද ආපදා ලෙස ජනතාව පීඩාවට පත් කරන්නේ සොබා දහම හා ඇති බැඳීම බිඳින්නට මිනිසා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගවලට ප්‍රතික්‍රයා වේ. ඇතැම් විටෙක අප තනි තනි ව සොබාදහමට වරදක් කළා යැ යි නිශ්චය කර ගන්නට නො හැකි යි. එහෙත් මානව සමාජය එක පොදියට ගත් කල සොබා දහමට කළ හානිය තව දුරටත් දරා ගන්නට නොහැකි බව යි, මේ ආපදා මඟින් පැවසෙන්නේ.