
කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය හා මාතර යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිවසංගත අවදානම් කලාප ලෙස නම් කරනු ලැබ ඇත. මේ වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියා කරන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලබන ජූනි පළමුවැනිදා සිට ක්‍රියාවට නංවනු ලැබීමට නියමිතය. මෙය මුළු රටම, සමාජයම, එක මිටට - සාමූහිකව සිට මර්දනය සඳහා පියවර ගත යුතු ව්‍යසනයකි. එතරම් දරුණු තැනකට දැන් මේ වසංගතය මෝරා ඇත. පසුගිය වසරට වඩා මේ වසරේ සංඛ්‍යා ලේඛන ඉහළ යෑම මඟින් ඒ බව සනාථ වෙයි. 2016 වසරේ වාර්තා වන්නේ ඩෙංගු රෝගි සංඛ්‍යාව 55150ක් හා මරණ සංඛ්‍යාව 90ක් ලෙසිනි. 2017 මැයි 15 වැනිදා වන විට ඩෙංගු රෝගි සංඛ්‍යාව 44623ක් ද මරණ සංඛ්‍යාව 115ක් ද ලෙස දක්වමින් මේ වසංගතය දරුණු වී ඇති ආකාරය පෙන්වයි.
ඩෙංගු වසංගතය හිතන තරම් සරල නොවීමටත්, ජන ජීවිතයට භයානක තර්ජනයක් බවට පත් වීමටත්, ජන සමාජයට අමතක වී ඇති හෝ නොසලකා හරිනු ලැබ ඇති හෝ මූලික කරුණු දෙකක් බලපායි. එකක් නම්: තමතමන්ට පැවරෙන වගකීමෙන් බැහැරව, තමන්ගේ 'කුණු' පවා අනෙකා මත පැටවීමට මෙරට සමාජයේ බහුතරයක් දක්වන අධිකැමැත්ත යි. අනෙක් කරුණ වන්නේ: කලක් ගත වන විට ඩෙංගු මදුරුවා මර්දන ක්‍රියාමාර්ගවලට අනුවර්තනය වෙමින් වෛරසය වෙනස් කරගෙන තිබීම යි. ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පිරිසුදු ජලයේ පමණක් ය, යන සාධකය මේ වන විට වෙනස් වී ඇත. ඩෙංගු මදුරුවා දැන් අපිරිසුදු ජලයේ ද බිත්තර දමන බව වාර්තා වෙයි. මේ වෙනස හෙවත් දෙවැනි කරුණ විසින් ඩෙංගු භයානක අදියරකට කැඳවා ඇති අතර, පළමු කරුණ හෙවත් වගකීමෙන් තොර සමාජීය ආකල්පය එහි පෝෂණයට හේතු වී තිබේ.
ඩෙංගු මර්දනය සඳහා මෙතෙක් ගත් ක්‍රියා මාර්ග වෛරසය වෙනස් වීමත් සමඟ වෙනස් කිරීමට සිදු වනු ඇත. පුරුදු වෛරසයට ප්‍රතිශක්තියක් වර්ධනය කර ගෙන තිබුණා නම් දැන් එය අවලංගු වී, අලුතින් ම ප්‍රතිශක්තිය ගොඩ නඟා ගැනීමට සිදු වනු ඇත. අප සිරුර ඊට සූදානම් කර ගැනීමට කාලයක් වැය වෙයි. ඉහත සංඛ්‍යා ලේඛන මඟින් ද පෙන්වන්නේ රෝගයට මුහුණ දීමට අලුත් කාලයක් වැය වන බව හා වෛරසය වෙනස් වීමේ ප්‍රතිඵලය යි.
තමන්ගේ 'කුණු' අනුන් මත පටවන, අවට පරිසරය ගැන වගකීමෙන් තොර, සමාජීය ආකල්පය වහාම වෙනස් කර ගැනීම මේ වසංගතයට ඇති ප්‍රධාන ප්‍රතිකර්මයක් බව වසංගතය උත්සන්න වීම මඟින් පෙන්වා දෙයි. වගකීමෙන් තොරව පරිසරයට පිටුපෑම දෙස සොබා දහම නිහඬ නොවන බව, අහිංසකව ඉවසන්නේ නැති බව, වහ-වහා වටහා ගත යුතුව ඇත.
ඩෙංගු මදුරුවා තම වෛරසය වෙනස් කර ගත් ආකාරයට එකී සමාජීය ආකල්ප ද වෙනස් කර නොගත හොත් මෙහිදී දිනන්නේ මදුරුවාය. වගකීමෙන් තොර නොසැලකිල්ලට ඩෙංගු මදුරුවා දැන් සිය ප්‍රහාරය දියත් කර ඇත. ජන සමාජයට ඇත්තේ ඊට ගොදුරු වී විනාශ වෙනවා ද නැති නම් තමනුත් ආකල්පමය වෙනසකින් ම ඊට මුහුණ දෙනවා ද යන අභියෝගය යි. අවට වටපිටාවට පිටුපා, පරිසරය ගැන වගකීමක් නැතිව, ස්වාර්ථය පිණිස ම කටයුතු කිරීමට පුරුදු පුහුණු වී ඇති සමාජයක් අවසානයේ පරිසරය විසින් ම ගොදුරු කර ගනු ලබන බවට මේ ඩෙංගු වසංගතය කදිම නිදසුනකි. එය අද අප කාටත් සමීප ව දැනෙන සංසිද්ධියකි.
තම නිවෙස, ගෙවත්ත මදුරුවන් බෝ වන තැනක් බවට පත් නොකිරීම එකිනෙකාට පැවරෙන පළමු වගකීමකි. අද වන විට එපමණකින් ම ඩෙංගු මර්දනය කළ නොහැකි තැනකට ව්‍යසනය වැඩී ඇති බව යි, වටහා ගත යුතු වන්නේ. මෙය මුළු මහත් සමාජය ම එක මිටට, සාමූහික ව කල්පනාවට ගෙන මුහුණ දිය යුතු ව්‍යසනයක් වන්නේ එබැවිනි. රටට සමාජයට මඟහැරුණු වගකීම් හා යුතුකම්, සාමූහික බව ගිලිහී යෑමෙන් වූ සමාජීය නාය යෑම් මේ අවස්ථාවේ සිහිපත් කරනු ලබන්නේ ඩෙංගු මදුරුවා විසිනි.
සුනාමිය වැනි ස්වාභාවික විපතක් ක්ෂණික ව ඇති වීම නිසා දැඩි ව දැනෙන නමුත්, එතරම් නොදැනෙන මේ ඩෙංගු ව්‍යසනය සුනාමියකට වඩා භයානක බව වටහා ගත යුතු යි. මෙය රජයේ නීති-රීතිවලින් ම, නීතියෙන් දඬුවම් කිරීමෙන් ම වැළැක්විය හැකි ව්‍යසනයක් ද නො වේ. පිරිසුදු බව රැකීමෙන් පමණක් ම වසංගතය මර්දනය කළ නොහැකි බැවිනි. ඉතා සැලකිල්ලකින් පරිසරය පිරිසුදු ව තබා ගන්නා රටවල පවා ඩෙංගු රෝගය හිස ඔසවන අවස්ථා තිබීමෙන් ඒ බව සනාථ වෙයි. හේතුව පරිසර තත්ත්වයන්ට අනුව මදුරුවා අනුවර්තනය වීම යි. එබැවින් සැම ප්‍රතිකර්මයක් ම, සැම උපායමාර්ගයක් ම සමඟ වටපිටාව ගැන වගකීමක් සහිත බව ඇති කර ගැනීම හා සාමූහික ව කල්පනා කිරීම මේ ව්‍යසනයට ගොදුරු නොවීමට ඇති දිගුකාලීන විසැඳුම යි.