
'තිරසර ලෝක සාමය සහ සමාජ සාධාරණත්වය උදෙසා බෞද්ධ ඉගැන්වීම්' යන තේමාව පෙරදැරි ව අන්තර්ජාතික වෙසක් උලෙළ මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම, රටේ අභ්‍යන්තර ප්‍රශ්න දෙස ද සාධාරණ ව හිතන්නට අවස්ථාවකි. සාධාරණ සමාජයක් හා ජාතික සංහිඳියාව පැත්තෙන් ගත් කල මේ අවස්ථාව තවත් වටී. එබැවින් අන්තර්ජාතික වෙසක් සැමරුම් නිමා වුව ද ලෝක අවධානය දිනා ගත් මේ වේදිකාවේ සිට රටේ ඉදිරි ගමන ගැන සාධාරණ තීන්දු ගත හැකි යි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි තැන වෙනස් කෙරෙන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් අවධාරණය කර තිබේ. බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති ප්‍රමුඛස්ථානය ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් ඉවත් කළ යුතු බවට කෙරෙන යෝජනා පදනම් කර ගෙන තවත් කණ්ඩායම් විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා එසේ සඳහන් කර ඇත. රටේ ඉතිහාසය හා සංස්කෘතික පසුබිම ගැන හිතන විට මේ ගැන සාධාරණ ව කටයුතු කළ යුතු ව ඇත.
රටේ පාලන බලය ඉංග්‍රීසි ආණ්ඩුවට පවරා දෙමින් 1815 දී අස්සන් කෙරුණු උඩරට ගිවිසුම මඟින් ද බුද්ධාගමට ප්‍රමුඛ තැන දීම පිළිගැනිණි. එසේ ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද එය වෙනස් නො කෙරිණි. ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් පසුකාලීන ව ඉද්රිපත් කෙරුණු බලය බෙදීම පිළිබඳ යෝජනාවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මේ පිළිගැනීම සංශෝධනය විය යුතු බවට යෝජනා ඉදිරිපත් කෙරිණි. මෙවැනි තේමාවක් සංවාදයට ගැනීම ද ජාතික ආගමික සංහිඳියාවට බාධාවක් බව දැක, විටින් විට ඉදිරිපත් කෙරුණු එවැනි කතා යටපත් විණි. උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමට ද මේ ගැන යෝජනා ඉදිරිපත් වී, එය සංවාදයට පවා නොගත යුතු දෙයක් ලෙස සැලකිණි. ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් එමඟින් යෝජනා කෙරුණේ කාටත් පිළිගත හැකි බලය බෙදීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය, යන්න යි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට යළි අලුතින් කරුණු ඉදිරිපත් වීමත් සමඟ බුද්ධාගමට හිමි තැන වෙනස් කිරීම ගැන නැවතත් විවිධ යෝජනා ඉදිරිපත් වෙයි. ජාතික සංහිඳියාව පළුදු කරන අවස්ථාවාදි දේශපාලනයට මෙවැනි යෝජනා විටින් විට ජාතිවාදි හෝ ආගම්වාදි හෝ තම ස්ථානය රැක ගැනීම වෙනුවෙන් ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යෝජනා පමණක් පදනම් කර ගෙන දැන් නැවතත් ඇතැම් කණ්ඩායම් ජනතාව උසිගන්වන්නේ එකී අවස්ථාවාදි දේශපාලනය තහවුරු කර ගැනීමට මිස, රටේ දිගුකාලීන යහපත් වෙනුවෙන් නම් නො වේ. මේ සම්බන්ධයෙන් ජනතාවට බියක් ඇති වී ඇත් නම් එසේ නොවිය යුතු බව යි, ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ.
බුදුදහමට හිමි තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට චෝදනා කරන අයුරින්, අනෙක් පස අන්තවාදි පිරිස් ව්‍යවස්ථාව තුළ බුදුදහමට හිමි තැන ඉවත් කළ යුතු බවට ද අදහස් දක්වති. එහෙත් මෙරට අනෙකුත් ආගම් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පූජකප්‍රසාදීන් පවා බුදුදහමට ලැබී ඇති තැන වෙනස් නොකළ යුතු බවත්, ජාතික ආගමික සංහිඳියාවට එය බාධාවක් නොවන බවත් පිළිගෙන ඇත. එවැනි පිළිගැනීම් ගැන නොසලකා, මෙවැනි තේමාවක් සාකච්ඡාවට ගැනීම මඟින් බලාපොරොත්තු වන්නේ ජාතික ආගමික සංහිඳියාව වෙනුවට ජාතික ආගමික බෙදීම තහවුරු කරන්න ද? ගැටලුව විසඳන්නට කියා අලුත් ප්‍රශ්න ඇති නොකර ගෙන, වඩාත් සාධාරණ සමාජයකට මඟ පාදා ගැනීම යි, වැදගත් වන්නේ.
මෙහි දී උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ වාර්තාව මඟින් ඉස්මතු කෙරෙන කරුණු අමතක කළ යුතු නො වේ. එයින් ප්‍රකාශ කෙරුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වඩා බලය බෙදීම පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාවලියකට යා යුතු බව යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ එකිනෙකාගේ හිත් හදන්නට හැකි වැඩසටහනක්, ව්‍යාපෘතියක්, ක්‍රියාවලියක් මිස හිත් බෙදන ලිඛිත වගන්ති නො වේ. මෙරට ජන සමාජයේ බහුතරයක් වන බෞද්ධයන් වෙත මේ වගකීම ඉහළින් ම පැවරෙනු ඇත. බුදුදහමට ව්‍යවස්ථාවෙන් ලැබෙන ප්‍රමුඛතාව වැනි ම ප්‍රමුඛතාවක් ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් බෞද්ධයන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු වෙයි.
මෙවර අන්තර්ජාතික වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පවත්වා ලෝකයට දුන් පණිවිඩය මඟින් ඒ වගකීම ඉස්මතු කෙරිණි. එකී පණිවිඩය රට අභ්‍යන්තරයේ ප්‍රායෝගික දෙයක් බවට පත් කිරීම මෙරට බෞද්ධ සමාජයට ලෝකයට දිය හැකි වටිනා ම ආදර්ශය යි; ලෝකය දිනන්නට හැකි මඟ යි.