පරිස්සමෙන් පරිහරණය කළ යුතු අවස්ථාවක් | සිළුමිණ

පරිස්සමෙන් පරිහරණය කළ යුතු අවස්ථාවක්

 මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව හෙවත් සයිටම් ප්‍රශ්නය ආරම්භ කෙරුණේ එවැනි ප්‍රශ්නවලට මුළ පිරූ පසුගිය රජය සමයේදී ය. බලය ගිලිහුණු කණ්ඩායම අද තම වැරදි අතීතය වසාගනු පිණීස මවාපාන අනෙක් ප්‍රශ්න වන, තිරිකුනාමලයේ තෙල් ටැංකි බදුදීම, හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති, වැනි දෑ එකල කැබිනට් මණ්ඩලයට පවා නො දන්වා ගත් ක්‍රියා මාර්ග බව අමතක කළ යුතු නොවේ. බලය ගිලිහුණු කණ්ඩායම අද ක්‍රියා කරන්නේ තමන් ඒ ගැන වගේ වගක් නො දන්නා ගාණටයි. එපමණක් නොව මෙකී ප්‍රශ්න විසඳන ලෙස වත්මන් රජයට බල කරමින් අද වැඩවර්ජන දියත් කරන වෘත්තීය සමිති මාෆියාව ද මේ හැසිරෙන්නේ එකල මේ කිසිවක් නොවූ පරිදි ය. ඉතිහාසයේ පළමු වතාවට මෙරට ඉඩම් සින්නක්කර ඔප්පුවකින් ලියා දුන් පසුගිය ආණ්ඩුවේ රට පාවා දීම නිවැරදි කිරීමට සිදු වී ඇත්තේ වත්මන් ආණ්ඩුවට යි. කොළඹ වරාය නගරයට අදාළ ගිවිසුම් වෙනස් කිරීමට පියවර ගැනීම ඒ සඳහා වන එක් නිදසුනකි. ජාතික සම්පත් පිටරැටියන්ට පාවා දෙනවාය කියමින් ජනතාව උසිගන්වන දේශපාලන කණ්ඩායම දැන් වෘත්තීය සමිති මාෆියාව සමඟ අත්වැල් බැඳ ගනී. ඒ ඉතා පැහැදිළිවම රටේ ඉදිරි ගමන් මඟ අවුරනු පිණිසයි.

ඉල්ලා සිටින සුපිරි පාසල් ම තම දරුවන්ට නොදෙන්නේ නම් රෝගීන් ඇපයට තබා වර්ජනය කරන වෛද්‍ය සමිතිය, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවාය කීම විහිළුවකි. මේ වෘත්තීය සමිති මාෆීයාව දියත් කරන සෑම වැඩවර්ජනයකම යටි අරුත රෝගියා පෙළීමට හා ගසා කෑමට ඇති ඒකාධිපති බලය ගිලිහී යාම වැලක්වීම බව ඉතිහාස කතාවෙන් පැහැදිළි වේ. තමන් සතු ඒකාධිකාරිය ගිලිහී යාමට ඉඩ නොදීම වෙනුවෙන් අනෙකාගේ අධ්‍යාපන අයිතිය උදුරා ගැනීමට ක්‍රියා කරන වෘත්තීය සමිති මාෆියාව, සයිටම් ප්‍රශ්නයට නිදහස් අධ්‍යාපනය ඈඳීමෙන් ඒ ඇත්ත කතාව වසන් කරයි. සදාචාර විරෝධී මේ පාතාල ක්‍රියාන්විතයට බලය ගිලිහුණු දේශපාලන කණ්ඩායම ද ඒකාබද්ධ වී ජනතා ඇසට වැලි ගැසීම දැන් වේගවත් කර ඇත. ඒ ඉතා පැහැදිළිවම රටේ ඉදිරි ගමන් මඟ අවුරනු පිණිසයි.

මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල පැවත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ය. ඊට ඇත්තේ තව දින දෙකකි. බෞද්ධ සංස්කෘතියෙන් හැඩ ගැසුණු සමාජයක හැඩය හා ආදර්ශය ලොවට දකින්නට ලැබෙන මේ අවස්ථාව ඉතා පරිස්සමෙන් පරිහරණය කළ යුතුව ඇත. සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ගැටළලු විසඳා ගන්නා බෞද්ධ සම්ප්‍රදාය ලොවට ප්‍රදර්ශනය කළ හැකි හොඳම අවස්ථාව මෙයයි. ජාතීන් අතර සංහිඳියාව ඇති කර ගන්නා තමන්ගේ ක්‍රමෝපායන් මොනවාදැයි අන්තර්ජාතිකව කෙරෙන ප්‍රශ්න කිරීමට ද මේ අවස්ථාව පිළිතුරක් කර ගත හැකියි. එය ඉදිරිපත් කළ හැක්කේ පළමුව රට අභ්‍යන්තරයේ ප්‍රශ්න බෞද්ධ සම්ප්‍රදායට අනුව විසඳා ගත හැකි බව පෙන්වමිනි. ශ්‍රී ලංකාව අද ආදර්ශයෙන් ම ලෝකයට එය පෙන්විය යුතුව ඇත. ඊට අවශ්‍ය දේශපාලන නිදහස ලබා දීම හා යහපාලන පිළිවෙත් රජය විසින් අනුගමනය කරනු ලැබූව ද එයම දැන් අවස්ථාව විකෘත්ති කිරීමට යෙදවී ඇත. වැඩවර්ජන ව්‍යාපෘතිය අභ්‍යන්තරව අවුලක් ඇති කිරීමට මෙන්ම අන්තර් ජාතිකව රට අපකීර්තියට, අපහසුවට පත් කිරීමට යෙදවී ඇත. ඒ ඉතා පැහැදිළිවම රටේ ඉදිරි මඟ අවුරනු පිණිසයි.

සම්මුතිවාදී ආණ්ඩුවට, රැකගැනීම පිණිස පැවරුණේ පසුගිය ආණ්ඩුව විසින් ඉවක් බවක් නැතිව විකුණා දමමින් සිටි රටකි; එමෙන්ම ජාතීන් අතර පමණක් නොව තමන් ළඟම අනෙකා අතර ද වෛරය පතුරුවමින්, බෞද්ධ සම්ප්‍රදාය මුළු මනින්ම කෙළෙසමින් සිටි රටකි; රටේ මුළු මහත් අනාගතය එක පවුලක කැමත්තට තීරණය කරමින් සිටි රටකි; ජන සමාජය එකම පවුලක වහලුන් ලෙස ජීවත්විය යුතුයි අණ කළ රටකි; රටත් සමාජයත් මේ ව්‍යසනයෙන් බේරා ගැනීමයි සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්කර ගත් බහුතරයේ කැමත්ත වූයේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රටට ලැබිණි. ජනතාවගේ මහත් බලාපොරොත්තුවක් වූ, සිරගෙවල්වල සිටිය යුතු වැරදිකරුවන්, ලද නිදහස ම අද තම වැරදි අතීතය වසන් කර ගැනීමට යොදා ගනිමින් සිටී. අවස්ථාවාදී දේශපාලනය හා වෘත්තීය සමිති මාෆියාව තම කුහක මුහුණ වසා ගැනීමට එම නිදහස් සළුවම ඔතා ගෙන ඇත. ඒ ඉතා පැහැදිළිවම රටේ ඉදිරි මඟ අවුරනු පිණිසයි.

ජනතාව නොමඟ යවමින් එසේ රටේ ඉදිරි මඟ ඇහිරීමට තව දුරටත් ඉඩ නොතැබිය යුතුයි. ලැබුණු දේශපාලන නිදහස වල්බූරු නිදහසක් ලෙස යොදා ගැනීම වැළක්විය යුතු බව සාධාරණව හා සාදාචාරව කල්පනා කරන ජනතාවගේ හැඟීමයි.

Comments