
තවත් කම්කරු දිනයක් එළඹුණු බව කැලැන්ඩරයේ දැක්වෙයි. එය 'කැලැන්ඩරයේ දිනයක්' ලෙස හැඳින්වීම උචිත වන්නේ කම්කරු දිනයේ ගුණාත්මක වටිනාකම නොදැනෙන තරම් දුර ඈතක ඇති හෙයිනි. ආරම්භක අවදියේ කෙටි කාලයකට හැර, මෙදිනට මෙරට දී විද්‍යමාන වූයේ කම්කරු දිනයට ආවේණික වටිනාකම් ඉස්මතු වීම නො වේ; ඊට අදාළ පොදු වුවමනාවක් හෝ හැඟීම් නොවේ. කම්කරු දිනය නිමිති කර ගෙන වැඩුණේ ද දේශපාලන බෙදීම යි. රටට මහත් ව්‍යසනයක් කළ දේශපාලන පක්ෂ අතර බෙදීම හා එයින් කෙරෙන සමාජීය බෙදීම තව තහවුරු කරන්න යි, කම්කරු දින සැමරුම් ද යොදා ගැනුණේ.
මාක්ස්වාදය දැක්වූ ආකාරයට කම්කරු පන්තියක් මෙරට සමාජයෙන් වෙන් කර ගැනීමට ඇති අසීරුව ද මැයි දිනය පක්ෂ දේශපාලනයෙන් මුදා ගන්නට නොහැකි වීම කෙරෙහි බලපාන්නට ඇත. කම්කරුවන්ගේ පක්ෂ ලෙස හැඳින්වුණු මාක්ස්වාදි නැඹුරුවක් සහිත දේශපාලන පක්ෂ 'ධනපති බංග වේවා!' යන සටන් පාඨය පෙරට ගැනීම මඟින් ජන සමාජයේ ඒකාග්‍රතාව බිඳින්නට අනුබල ලැබිණි. කම්කරු දිනයෙන් ද ඉස්මතු කෙරුණේ ඒ බෙදීම යි. ඒ මිස කම්කරු දිනය මූලිකව මතුකරගත යුතු වටිනාකම් නො වේ. රටක් ලෙස එක ම සමාජයක් ලෙස සාමූහික ව කල්පනා කරන, පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන ශක්තිය එකමුතු ව ගොඩ නඟා ගැනීම ගැන නො වේ.
සංස්කෘතියට ආවේණික ව, වැඩ කරන ජනතාවගේ පොදු ඉලක්ක, අයිතිවාසිකම් හා වගකීම් වෙනුවෙන් සංවිධානගත වීමට වේදිකාවක් කර ගත යුතු ව තිබුණු කම්කරු දිනය අවසානයේ තවත් දේශපාලන වේදිකාවක් බවට පත් විණි. විරුද්ධ වීමේ අයිතිය හෝ උද්ඝෝෂණය කිරීමේ අයිතිය හෝ වගකීමකින් තොරව මුදාහරින ආවේගශීලී වැඩ බිමක් නිර්මාණය වීම කෙරෙහි මේ පසුබිම හේතු වීම පැහැදිලි යි. අද වැඩබිමෙන් මතු වන විරෝධාකල්පය රටේ ඉදිරි ගමන් මඟට වැටුණු දරුණු මාර්ග බාධකයක් බව යමකු නොපිළිගන්නේ නම් ඒ තම ස්වාර්ථය ගැන ම කල්පනා කිරීම නිසා හෝ අවස්ථාවාදී දේශපාලනයට වුවමනා ලෙස හැසිරීම හෝ නිසා ය.
මෙරට වැඩ කරන ජනතාවගේ ප්‍රධාන ම හාම්පුතා වන්නේ රජය යි. තනි ආයතනයක් ලෙස ගත් කල වැඩි ම රැකියා සම්පාදකයා වී සිටින්නේ රජය යි. කම්කරු දිනයට පමණක් නො ව, අද දිනපතා ම කොතනක හෝ දකින්නට හැකි උද්ඝෝෂණයක් හෝ වැඩ වර්ජනයක් හෝ රජයේ ආයතනයකට සම්බන්ධ වීම ඒ බව තහවුරු කරයි. අනෙක් අතට වැඩ කරන ජනතාව දිගු කාලයක් තිස්සේ හුරු පුරුදු වූයේ අයිතිවාසිකම් ගැන ම විමසීමට පමණක් නිසා ද මෙසේ උද්ඝෝෂණ හෝ වැඩවර්ජන හෝ අනෙක් සෑම පියවරකට ම වඩා ප්‍රමුඛ වීමට හේතු වෙයි. අයිතිවාසිකම් සමඟ ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකුත් ඇති බව අමතක වී යෑම කෙළවර වී ඇත්තේ වැඩ කරන ජනතාව දේශපාලන පක්ෂවල ගොදුරු බවට පත් වීමෙනි.
රජය නමැති හාම්පුතා මේ වැඩ කරන ජනතාව වෙනුවෙන්, වැටුප්, දීමනා, වරප්‍රසාද ගෙවන්නේ පොදුවේ රටේ මහජනයාගෙන් අය කරන බදුවලිනි. ඒ, මහජනයා වෙනුවෙන් සලසනු ලබන සේවාවන් වෙනුවෙනි. එහෙත් වැඩ කරන ජනතාවගෙන් තමන් බලාපොරොත්තු වන සේවාව සම්බන්ධයෙන් මහජනතාව තෘප්තිමත් නැත. කිසිවකින් සතුටු නොවන සාමාන්‍ය මිනිස් ස්වභාවය නිසා ම නො ව, අවම සේවාවන් පවා වැඩ කරන ජනතාව අතින් ගිලිහී ඇති සැටි ඔවුන්ට දැනෙන බැවිනි. ඉහළ ම වෘත්තියක් ලෙස සැලකෙන වෛද්‍ය වෘත්තියේ සිට කම්කරු ශ්‍රේණියක සේවාව දක්වා ම මහජන මතය වන්නේ 'වැඩක් කරගන්න බෑ' යනුයි. ප්‍රශ්නය දේශපාලන මැදිහත් වීම කියා ලිස්සා යා නොහැකි ය. 'දේශපාලන බලපෑම' එතැනට වැඩෙන්නේ ද වැඩ කරන ජනතාවට රටේ ඉදිරි ගමන වෙනුවෙන් තිබිය යුතු පොදු අරමුණ දිය වී ගිය තරමට බව ද මෙහි දී සිහි තබා ගත යුතු යි.
කම්කරු පන්තිය ලෙස නොවුණත් රටේ සංස්කෘතික පසුබිමට ගැළපෙන වැඩ කරන ජනතාවගේ එකමුතුවක් කම්කරු දිනය කේන්ද්‍රීය ව ගොඩ නඟන්නට අවස්ථාව පාදා ගැනීමට හැකියාව රටට මඟඇරුණු අනගි අවස්ථාවකි. අනගාරික ධර්මපාල තුමා වැනි චරිත හරහා ජාතික නිදහස දිනා ගන්නා මාවතක් පාදා ගැනීම ගැන යම් ආකාරයක පොදු හැඟීමක්, සාකච්ඡාවක් රටට ලැබුණත් දේශපාලනයෙන් තොර ව වැඩ කරන ජනතාව එසේ පෙළගස්වන නායකත්වයක් බිහි වූයේ නැත. දිගින් දිගට ම ඉදිරිගාමී අවස්ථා මඟ හැර යෑම තහවුරු කරමින් එකී අවස්ථාවත් මඟඇරිණි. රටේ සෑම පුරවැසියකුගේ සේ ම වැඩ කරන ජනතාවගේ ද අවසන් අරමුණ විය යුතු වන්නේ රට ගොඩ නැඟීම යි. එවිට තමන් ද ගොඩ නැඟෙන බැවිනි. මේ ආදර්ශය සංස්කෘතික මුහුණුවරකින් කියා දෙන්නට පක්ෂ දේශපාලනයෙන් තොර සමාජීය නායකත්වයක් ගොඩ නැඟුණේ නැතුවා පමණක් නො ව, පක්ෂ දේශපාලනය ද ඊට ආදර්ශයක් වූයේ නැත. අවසානයේ වැඩ කරන ජනතාව ද එකිනෙකාට එරෙහි ව බිඳී විසිර ගිය අතර, පොදු අරමුණ වෙනුවට තම ස්වාර්ථය ම මුදුන් පමුණුවා ගන්නා ඉලක්කයකට අනුගත විණි. අද අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන විරෝධතා හෝ උද්ඝෝෂණවල හෝ පිටුපසින් ඇත්තේ මේ ඇත්ත යි.
ලෝක කම්කරු දිනය රටේ සංස්කෘතියට ගළපා නොගෙන රතු පැහැය පමණක් අනුකරණය කිරීම කෙළවර වී ඇත්තේ එලෙස යි. අද කම්කරු දිනය යනු දේශපාලන පක්ෂවල ප්‍රචාරක ව්‍යාපෘතියකි.