ඒකීයභාවය ජීවමාන කරන ජාතික මංගල්ලය | සිළුමිණ

ඒකීයභාවය ජීවමාන කරන ජාතික මංගල්ලය

 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලබන්නට තව ඇත්තේ දින හතරක පමණ කාලයකි. මේ උදා වන්නේ ජාතික වශයෙන් ගත හැකි ප්‍රධානතම සංස්කෘතික මංගල්ලය යි. විවිධත්වය ඒකීය තැනකට ගත හැකි බවට ඇති හොඳ ම ජීවමාන සාධකය වන්නේ ද මෙය යි. එනම්: විවිධ වූ මතවාද, විවිධ වූ කැමැත්ත මොහොතකට හෝ එක් තැනකට ගන්නා වේදිකාව මේ අලුත් අවුරුද්ද යි. ජීවත් වීමට අත්‍යවශ්‍ය ආහාරය පිස ගන්නා ළිප දැල්වීම පැය කිහිපයකට හෝ නතර කොට, යම් සංක්‍රාන්ති කාලයකට පසු එක ම වේලාවක මුළු රට ම එකට ළිප ගිනි දැල්වීම ම මුළු මහත් ජන සමාජය තම ඒකීය බව ජීවමාන කිරීමකි. පුළුල් ලෙස ගත් කල මේ සංස්කෘතික මංගල්ලය ඉර මූලික කර ගන්නක් බැවින් එනම්: මෙය මුළුමනින් ම 'නැකැත් කෙළියක්' වන බැවින් - 'සිංහල' හා 'දෙමළ' යනුවෙන් ජාතික වශයෙන් ඇති විවිධත්වය ද මෙහි දී ඒකීයභාවයකට පත් වේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පැරණි දෑ මොහොතකට හෝ අත්හැර, නැවත අලුතින් 'වැඩ ඇල්ලීම' සිදු කරන්නකි. මෙතෙක් ආ මඟ දෙස ආපසු හැරී බලා ඉදිරි මඟ එකට අරඹන්නට සොබා දහම සමඟ ඒකාත්මික වීමක් ලෙස ද මේ ජාතික සංස්කෘතික මංගල්ලය හැඳින්විය හැකි යි.

සියලු දෙනා එක ම අරමුණකින් සියලු වැඩ අත්හැර, හිත් එක ම තැනකට ඉලක්කගත කර නැවත ජීවිතය අරඹන මේ අවස්ථාව තරම් වෙනත් අවස්ථාවක් 'සංහිඳයාව' ගැන පහදන්නට ද ගත නොහැකි ය. එනම්: සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සංහිඳියාව සඳහා ද දිය හැකි හොඳ ම ප්‍රායෝගික නිදසුන යි.

එකිනෙකාගේ හිත් සංහිඳියාවකට ගෙන ඒම මඟින් ජාතික සංහිඳියාව ඉලක්ක කර ගත් වත්මන් ආණ්ඩුව ඊට අවශ්‍ය ම දේශපාලන නිදහසට ද ඉඩ සැලසුවේ ය. විවිධ මඟින් විත් එක් මඟකට වැටී යන - එනම්: රටේ ඉදිරි දියුණුව පිණිස ඇති එකඟතාව වන, සම්මුතිවාදය අලුත් ගමනකි. අලුත් වීමටත් වඩා විවිධත්වය එක් මඟකට ගන්නා ගමන ලෙහෙසි නැත. පශ්චාත් යුද සමයක වටපිටාවට අනුව ද සම්මුතිවාදි ගමන ලෙහෙසි නොවන අවස්ථාවක, විශේෂයෙන් ම මේ සංක්‍රාන්ති කාලයේ ලැබුණු දේශපාලන නිදහස, වගකීමෙන් හා කල්පනාවෙන් භාවිතයට ගත යුතු විණි. එහෙත් මේ නිදහස යොදා ගන්නා බව පෙනෙන්නේ අලුත් ගමනට අකුල් හෙළීම පිණිස ය.

තීන්දු-තීරණ ගත හැකි, සමාජයට ආදර්ශ දිය හැකි දේශපාලකයන්ට හෝ වෘත්තිකයන්ට, ලැබුණු නිදහස ගැන වගකීමක් ඇති බවක් නො පෙනේ. මේ පිරිස එක්කෝ තම දේශපාලන පරාජයට හේතු වූ දූෂණ-වංචා ජනතාවගෙන් වසන් කර ගැනීම වෙනුවෙන් ලැබුණු නිදහස යොදා ගෙන ඇත; නැති නම් කිසියම් වෘත්තීය ප්‍රශ්නයක් ජාතික ප්‍රශන්යක් ලෙස මවා පෑම පිණිස මේ නිදහස යොදා ගෙන ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දේශපාලකයන් ද වෛද්‍ය වෘත්තිකයන් ද ඒ පසුපසින් වැටුණු ශිෂ්‍ය හා වෘත්තීය සමිති ද අද කරන්නේ ආවේගයක් අවස්ථාවාදයක් වෙනුවෙන්, ලැබුණු දේශපාලන නිදහස යොදා ගැනීම යි. සම්මුතිවාදි අලුත් ගමන මුළුමනින් ම අමතක කර, රට එක් තැනක පල් කරන්නට මේ පිරිස රොද බැඳ ඇත.

ළිප ගිනි දල්වා, වැඩ අල්ලා, නිවෙසින් එළියට බැස ගම ම අත්වැල් බැඳ ගෙන, රට ම ඒකීය කල්පනාවකට ගන්නට ඉඩ පාදන අලුත් අවුරුද්දේ එකමුතුව, රටක් ලෙස නැඟිටින්නට යොදා ගත නොහැකි ද? සම්මුතිවාදි සංකල්පය හා ඒ සමඟ ලැබුණු දේශපාලන නිදහස ම ඒ අලුත් ගමන අරඹන්නට ප්‍රමාණවත් ය. අවස්ථාවාදි කණ්ඩායම් පසුපස නොවැටී තම තමන්ට තනි ව ම, තම හිතේ සන්තෘෂ්ටිය පිණිස ම මේ ගැන කල්පනාවට ගත හැකි යි.

අවස්ථාවාදි දේශපාලකයන් මෙන් ම උද්දච්ච වෘත්තිකයන් විසින් ලබා දෙන ලද වටිනාකම කුමක් දැ යි කොතනකින් වත් පිහිටක් නැති ජනතාවට මේ සංක්‍රාන්ති සමයේ තනි තනි ව කල්පනා කළ හැකි යි. අලුත් වන්නට ඇති අලුත් අවුරුද්ද තම තමන්ගේ ජීවිත මෙන් ම රට ද අලුත් කරන්නට යොදා ගත හැකි යි. 

Comments