ඩිල්ෂාන් ­ගෙන් නිර්ම­ලාට නිවෙ­සක් | Page 5 | සිළුමිණ

ඩිල්ෂාන් ­ගෙන් නිර්ම­ලාට නිවෙ­සක්

තම ස්වාමියාත් දරු පැටවු දෙදෙනාත් සමඟ ඇති-හැකි අයුරින් කුරා කුහුඹුවකුටවත් කරදරයක් නොකර නිර්මලා මැණිකේලා ජීවත් වූයේ මාතලේ අගලවත්ත ග්‍රාමයේය. එහෙත් 2016 මැයි 11 වැනිදාට ඉර පෑයූවේ එම අහිංසක කුරුලු කූඩුව ඉහිරවීමේ පෙර ලකුණු පහළ කරමිනි. නිර්මලාගේ සැමියා වූ ඉන්දික කුමාර එදින සවස් යාමයේ වැඩපළ නිමවී නිවෙසට පැමිණියේ සුපුරුදු ලෙසිනි. ඔවුන් දෙදෙනා එකට බත් කටක් කන අවසන් දිනය එදින බව නිර්මලා ඒ මොහොතේ නොසිතුවාය.

ඉන්දික කුමාර සොරු අරන් ගියා සේ හැඟීමක් ඇයට අදත් දැනෙන වග ඇය අප හා පවසන්නට වූයේ දෙනෙතින් රූරා හැළෙන කඳුළු බිඳු පිස දමමිනි.

“මට ඒ අවස්ථාව මතක් වෙනකොටත් හිතට දැනෙන්නෙ පුදුමාකාර බයක්. මහත්තයට විදුලි සැර වැදීමෙන් වුණු විනාශය තමයි අපේ ජීවිත අඳුරු කළේ. එතැනින් පස්සෙ මං අගාධයටම වැටුණා. මේ පැටවු දෙන්නත් එක්ක මට කරකියා ගන්න දෙයක් නැතිවුණා. මගේ මනුස්සයගේ අකල් මරණය මට දරාගන්න බැරි වුණා. මං කිප සැරයක්ම කල්පනා කළා ලමයි දෙන්නටත් වහ දීලා මාත් වහ ටිකක් කාලා මැරෙන්න. එහෙන් මගෙ දෙයියගේ ජීවිතේ, අනෙත් පැත්තෙන් මේ ගෑනු දරුවෝ දෙන්නගෙ අනාගතේ” යැයි පවසමින් ඇය තම ස්වාමියාට වූ විපතේ කතාන්දරය පවසන්නට වූවාය.

“අපරීක්ෂාකාරී විදුලි රැහැනක් නිසයි මගේ මහත්තයයට මේ විනාශය වුණේ. එයින් මටයි දරු දෙන්නටයි ලොකු අසාධාරණයක් වුණේ. ලියන්න තියෙන හැම තැනටම ලිව්වා. ඒත් කිසි වැඩක් වුණේ නෑ. පස්සෙ මායි මගේ ලොකු දූ චමෝද්‍යා දේවින්දියි මාධ්‍යයන්ටත් ලිව්වා. මාධ්‍යය නිසා තමයි අපේ පිහිටට මේ වගේ උතුම් නෝනා මහත්තුරු ටිකක් හම්බ වුණේ.”

වයස අවුරුදු 11ක සහ අවුරුදු 7ක දියණියන් දෙදෙනකු සමඟ මෙලොව තනිවූ නිර්මලා මැණිකේ මහත්මියට තම ස්වාමියාගේ හදිසි අකල් වියෝව දරාගැනීමට නොහැකි වූයේ එලෙසිනි. ඒත් සමඟ එම අසරණයන් විසූ ඉඩම් කැබැල්ල ද බැංකුවට සින්න වීමට යෑම නිසා නිර්මලා කබලෙන් ළිපට වැටිණි.

“මහත්තයා නැති වෙන්න අවුරුද්දකට කලින් ඔප්පුව ඇපේට තියලා බැංකු ණයක් අරන් මේ ඉඩම ගත්තෙ. වාරික කිහිපයයි ගෙවන්න වුණේ. පස්සෙ මට කොයින්ද සල්ලි වාරික ගෙවන්න. ඉඩම බැංකුවට සින්න වෙන්නයි ගියේ.”

එ් සමයේ මාධ්‍යවල එම අවාසනාවන්ත පුවත පළවීමෙන් අනතුරුව අසරණ නිර්මලා වෙනුවෙන් පිහිටක් වන්නට පැමිණියේ මාතර ප්‍රදේශයේ දානපතියෙකි.

“මගේ අසරණකම දැනගත්තු මාතර හසිත විදානාරච්චි මහත්තයා ඇවිල්ලා ලක්ෂ පහහමාරක් ගෙවලා බැංකුවෙන් ඔප්පුව බේරලා දුන්නා. ඒ උත්තමයා ඒ වෙනුවෙන් දවස් ගණනාවක් මාතලේ නවාතැන් ස්ථානයක නැවතිලා ඉඳලයි අපට පිහිටවෙලා ගියේ.”

සැමියා නොමැති සොවින් ළතැවෙමින් දුප්පත්කමින් මිරිකෙමින් එම ඉඩම් කැබැල්ලේ ඔවුහූ ඉටිරෙදි ආවරණය කරගත් ටකරන් මඩුවක දිවි ගෙවූහ. එම පුවත ගැන දිගින් දිගට මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ එ් පුවත අපේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ නෙත ගැටිණි.

“එහෙම කල්ගත වෙනකොටයි අපේ දුක ගැන විද්යුත් නාළිකාවල නැවත නැවත පෙන්නුවේ. ඒක දැකපු ඩිල්ෂාන් මහත්තයලාට අපි ගැන අනුකම්පාවක් ඇතිවෙලා. කොටින්ම කිව්වොත් මහත්තයගෙ නෝනා ඕක දැක්ක දවසක රෑ හොඳටෝම ඇඬුවලු අපේ අසරණකම දැකලා.” නිර්මලා පවසන්නීය.

ඉන්පසු එම අවාසනාවන්ත ඉරණමට ලක්වූ අසරණයන් වෙනුවෙන් පිහිටක් වන්නේ කෙසේදැයි සොයා බැලීමට ඩිල්ෂාන් උත්සුක වී තිබේ. එම කතාන්දරය ඩිල්ෂාන් අපට පැවසුවේ මෙසේය.

“අපි මේ පුංචි පැටවු එක්ක දුක් විඳින නිර්මලාගේ කතාව විද්යුත් නාළිකාවකින් දැක්කෙ පසුගිය නොවැම්බර්වල දවසක. ඒක දැක්කම අපේ පවුලේ හැමෝටම පුදුමාකාර වේදනාවක් ඇතිවුණේ. මොකද ඒ පුංචි දියණියන් දෙදෙනා මගේ දියණියන් දෙන්නාගේ වයසේ වගේ. පස්සෙ මං මේ අසරණයන්ට උදවු කරන්න හිතුවා.”

ඒ වෙනුවෙන් උපරීමයෙන් කැපවූ ඩිල්ෂාන් සහ පවුලේ උදවිය මාතලේ අගලවත්තට ගොස් නිර්මලා මැණිකේ ඇතුළු පිරිස ගෙවන අන්ත දුක්ඛිත ජීවිතය සියැසින් දැක ගත්හ.

“ඒ පැටවු දෙන්න හිටිය හැටි දැක්කම අපේ හදවත් කඩා වැටුණා. ඉටිකොළ මඩුවක හිටියේ. පස්සෙ මමයි බිරිඳයි තීන්දු කළා කීයක් ගියත් කමක් නෑ අංග සම්පූර්ණ හිසට සෙවණක් මේ අසරණයන් වෙනුවෙන් තනා දෙනවා කියලා.”

එම සිතුවිල්ල සේම තීන්දුව යථාර්ථයක් බවට පත්වූ අයුරු ඩිල්ෂාන් අප හා මෙසේ විස්තර කළේය.

“පස්සේ මං ගිහිල්ලා හොයලා බලලා ප්ලෑන් එකක් ඇඳලා ගේ හදන්න සූදානම් කළා. ඇත්තෙන්ම ඉතින් මට මේ වැඩේදි තව කීප දෙනෙක් උදවු කළා. සම්පත් මායාකඩුව, ඉන්ද්‍රාණි සහ විජේසිරි යුවළ, ලියෝ සැලුන්හි ධනුෂ්ක සහ තරුණ මල්ලි කෙනකුත් මගේ සත්කාරයට සෑහෙන දායකත්වයක් දුන්නා. ඒ වගේම මගේ කාර්යබහුලත්වය නිසා මේ සියලු දේවල් සොයලා බලලා පිළිවෙළකට කළේ මගේ මාමා රත්නසිරි.”

එසේ මාස තුනක් වැනි කෙටි කලක් තුළදී ගොඩනැඟුණු මේ නිවෙස පසුගිය 19 වැනිදා සුබ මොහොතින් ඩිල්ෂාන් ප්‍රමුඛ පවුලේ සියලු දෙනාගේ සහභාගිත්වය ඇතිව නිර්මලා මහත්මියගේ භාරයට පත්කිරීම සිදුවිය. වර්තමානයේ නිර්මලාට සහ පුංචි දියණියන් දෙදෙනාට අංග සම්පූර්ණ හුරු-බුහුටි නිවෙසක විසීමේ වාසනාව උදාවී තිබේ.

“මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඩිල්ෂාන් මහත්තයා වගේ ලෝකෙ නම ගිය කෙනෙක් මගේ පිහිටට ආපු එක ගැන. මගේ මහත්තය අකාලේ අපිව දාලා ගිය නිසා දරු පැටවු දෙන්නයි මමයි අන්ත අසරණ වුණා.

ඒත් අද මට දෙපයින් නැගිටින්න ශක්තිය ලබා දුන්නා ඩිල්ෂාන් මහත්තයා, හසිත මහත්මයා ප්‍රමුඛව මට උදවු කළ සියලු දෙනා එකතු වෙලා. ඒ වගේම මාධ්‍ය තමයි මේ සියලු සත්කාරයන්ට මුල. ඒ සියලු දෙනාටම ජාති ජාතිත් පින් අයිති වෙන්ඩ ඕනෑ මටයි මගේ පැටවු දෙන්නටයි කළ උදවුවලට.”

සතුට මුසු වූ දුකකින්ද යුතුව නිර්මලා එසේ අපට අදහස් දක්වද්දී ඩිල්ෂාන්ගේ සිතේ කැකෑරෙන අදහසක් ද අපට කීය.

“ගේ බාර දෙන්න ගිය දවසේ ඇත්තෙන්ම පුදුම සතුටක් ඇතිවුණේ. මුලින් ගිය දවසේ එතැන තිබුණ පරිසරය එක්ක අද දකින දර්ශනයෙන් සිත ප්‍රබෝධවත් වුණා. අන්න ඒ මානසික සහනය පමණයි මම මේවයින් බලාපොරොත්තු වෙන්නෙ.”

අද නිර්මලාගේ සේම පුංචි පැටවු දෙදෙනාගේ ද ඉහේ මලක් පිපී තිබේ. දැන් මේ පුංචි පැටවු දෙදෙනාත් සමඟින් අව්වට වැස්සට පීඩාවකින් තොරව ජීවිතයට මුහුණ දීමේ හැකියාවක් නිර්මලා සතුව තිබේ.

“ඩිල්ෂාන් මහත්තයලා ප්‍රමුඛ පිරිස කළ උදවුවලින් මට දැන් ජීවිතය දිහා නැවත වතාවක් හිතන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඇත්තටම මං දරුවෝ දෙන්නත් සමඟ මැරෙන්න හිටිය කෙනෙක්. දැන් මට අනාගතයට මුහුණ දෙන්න පුළුවන් මෙතුමන්ලා දීපු දිරිය නිසා. මගේ එකම අරමුණ ඒ මහත්තුරු කළ උදවු වෙනුවෙන් ළමයි දෙන්නට හොඳින් ඉගැන්වීම.”

තමාගේ සමාජ සත්කාරයන්ට එක්වූ තවත් එක් සමාජ සේවයක් ලෙස මෙය සලකන ඩිල්ෂාන්,

“මම මේ වගේ දේවල් ඕනෑ තරම් කරලා තියෙනවා. මේක එවැනි එක් සිදුවීමක් විතරයි. නිර්මලාලගේ සිද්ධිය මාධ්‍යයෙන් ප්‍රචාරය වී අපට දැනගන්නට ලැබුණු නිසයි මේ විදියට මාධ්‍යයෙන් මෙයට ප්‍රචාරයක් ලැබුණේ. නැත්නම් අපි කරන දේවල් ගැන වැඩිය කතා කරන්න මම කැමැති නෑ.”

එහෙත් මෙවැනි නිවාස රාශියක් කිසිදු හව්හරණක් නොමැති අය වෙනුවෙන් සාදා දී තිබෙන ඩිල්ෂාන් ඊට අමතරව අසරණ මිනිසුන් වෙනුවෙන් නොයෙකුත් සමාජ සත්කාරයන්හිද නිරත වන බවක් පවසමින් ඉදිරියේදීද මෙවන් සමාජ සත්කාරයන් වෙනුවෙන් නොපැකිළිව ඉදිරිපත් වන බව කීවේය.

ඩිල්ෂාන්ගේ අදහස එසේ වූවත් වගකිව යුතු මාධ්‍යයක් හැටියට අපගේ යුතුකම වනුයේ එවන් සමාජ සත්කාරයන් රටට, ලෝකයට හෙළි කිරීමයි.

ඩිල්ෂාන්ලා වැනි රටට, ලෝකයට යමක් කළ හැකි පිරිස සේම ආයතන එක්වී නිර්මලා වැනි තවත් අසරණයන්ට පිහිටක් වන්නේ නම් එය කොතරම් මහඟු සමාජ සත්කාරයක් වේද? ඒ නිසා ඇති-හැකි පිරිස එක්වී නැති-බැරි පිරිස නඟා සිටුවමින් ලෝකය ලස්සන කරමු. 

Comments

Hats off Dilshan. I salute you for this outstanding and generous act. Keep up good work. Every moment these two little girls and their mother smiles with sigh of relief, it brings blessings to you and your family. you brought smile to their face.

පිටු