
රටේ ස්වෛරිභාවය හා ආරක්ෂාව වෙනුවෙන් කැප වුණු රණවිරුවන්, ඒ කාරණය හේතුවක් කර ගෙන විත්තිකරුවන් කරන්නට තමා හා තම රජය කිසි විටෙක ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ නැවත වතාවක් අවධාරණය කළේ ය. අන් කවර කලකටත් වඩා ලොව බලවත් රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි සුබවාදි ආකල්පයකින් කටයුතු කරන බැවින්, රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා අයිතීන් මෙන්ම රණවිරුවන්ගේ තැන ද ආරක්ෂා කර ගන්නට ද මේ අන්තර්ජාතික සහාය යොදා ගන්නා බව ජනාධිපතිතුමා පවසා ඇත.
රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඉකුත් 23 වැනි දා සිදු වූ නිල හමුවේ දී රුසියාව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට දක්වන සහාය කරුණු කිහිපයක් යටතේ පෙළ ගැස්විණි. ආරක්ෂක අංශවල සමාජිකයන්ගේ වැඩිදුර පුහුණුවට හා එහි සංවර්ධනයට දක්වන සහාය ද ඒ කරුණු අතර වෙයි. එමෙන් ම මානවහිමිකම් සම්බන්ධ කරමින් රටට කෙරෙන අයුතු බලපෑම්වලට එරෙහි වීමට එකඟ වීම ද ඒ කරුණු අතර වෙයි.
රුසියානු සමූහාණ්ඩුව මෙවැනි සහායක් දක්වන්නට ඉදිරිපත් වන විට, පශ්චාත් යුද සමයක දී ජාතික සංහිඳියාව හා සම්මුතිවාදය පවත්වා ගන්නට රජය දරන උත්සාහය ගැන ලොව අනෙක් බලවත් රටවල ද ප්‍රසාදය හිමි වී තිබීම, අන්තර්ජාතික ව ගත් කල ශ්‍රී ලංකාව වෙනදා මෙන් හුදෙකලා වී නැති බව පෙන්නුම් කරන්නකි. මේ අන්තර්ජාතික අවධානය රටේ වුවමනාවන් වෙනුවෙන් කළමනාකරණය කරන නොබැඳි පිළිවෙතක් දැන් ජීවමාන වී තිබේ. විවිධත්වය එක ගමනක් සඳහා යොදා ගැනෙන සම්මුතිවාදය, දේශීය ව පමණක් නො ව, අන්තර්ජාතික ව ද ගොඩනඟන්නට ශ්‍රී ලංකාව මූලික වී ඇති බව පෙනේ.
රට හමුවේ ඇති ගැටලු විසඳා ගන්නා මාර්ගය මෙතරම් පැහැදිලි ව පෙනෙන්නට තිබුණත් අද විපක්ෂය ලෙස පෙනී සිටින 'අවස්ථාවාදි කණ්ඩායම්' පුන පුනා ම පවසන්නේ 'රට පාවා දෙනවා' යනුවෙනි. මෙහි දී 'අවස්ථාවාදි කණ්ඩායම්' ලෙස හැඳින්වීම ගැන පැහැදිලි කළ යුතු යි. තමන් ම සැක සංකා මවා ගෙන ඒ මඟට ජනතාව උසිගන්වමින් විපක්ෂය ලෙස පෙනී සිටින අය බලහත්කාරයෙන් අරගලයක් මවා පාන්නේ රට හෝ ජනතාව හෝ වෙනුවෙන් නො වේ; තම පෙර වැරදි හෝ චෝදනා හෝ ජනතාවගෙන් වසන් කිරීමට යි.
ගැටලුවට විසඳුම් ලැබෙන බව පෙනී යන විටත්, එසේ නැති නම් විසඳුමක් ලැබෙන විටත් වෙනත් වටයකින් විරෝධය කුළු ගන්වන්නේ ඇත්ත ප්‍රශ්නය තමන් ම මිස රජය නොවන බව ඒ අය දන්නා බැවිනි. ඇරත් ජාතික සංහිඳියාව ඇති කිරීම හා රටේ ආර්ථික සංවර්ධනය ගොඩනැඟීම පවතින්නේ ඉතා සංකීර්ණ අවස්ථාවක මිස සරල තැනක නොවන බැවින් 'අවස්ථාවාදි කණ්ඩායම්' කියන තරම් ඉක්මනට ප්‍රතිඵල ද දැකිය නොහැකි ය. සරල තලයක දී විසඳා ගත හැකි ව තිබුණු ගැටලු ඔඩු දුවන්නට ඉඩ හැරියේ ද මේ 'අවස්ථාවාදි කණ්ඩායම්' වීම ද ජනතාවගෙන් වසන් කර ගන්නට ඔවුන්ට වුවමනා ය. එබැවින් ගැටලු විසඳන මඟ පැහැදිලි වුව ද හැකි තරම් බලන්නේ ඒ මඟට අකුල් හෙළීමට යි; ඒ මඟ ජනතාවට නොපෙන්වීමට යි; ජනතාව නොමඟ යැවීමට යි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අහිමි නොකරන බව ජනාධිපතිතුමා මෙන් ම අගමැතිතුමා ද පුනපුනා පවසා ඇත. එහෙත් මේ 'අවස්ථාවාදි කණ්ඩායම්' පුනපුනා ම පවසා සිටින්නේ බුද්ධාගමට හිමි තැන නැති කරන බව යි. එතැන දී නැති ගැටලුවක් රට හමුවේ තබා ඇත. එසේ ජනතාව නොමඟ යවන්නේ තම අවස්ථාවාදය, තම සොරකම, තමන්ගේ කාලයේ අවපාලනය වසන් කර ගැනීමට යි. එනම්: ජනතා ඇසට වැලි ගැසීමට යි. මේ අය අඩු ම තරමින් රාජ්‍ය දේපොළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් හෝ වැරදිකරුවන් හෝ චුදිතයන් වී සිටීම මඟින් ඇත්ත කතාව කුමක් දැ යි පැහැදිලි වෙයි.
තරුණ ශිෂ්‍ය පරපුර පාරට ඇද ගන්නා, වත්මන් සිද්ධිය වන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතු කෙරෙන විරෝධතාව ද මේ අවස්ථාවාදයට සම්බන්ධ යි. නිදහස් අධ්‍යාපනයට හානියක් නොවිය යුතු බවට විවාදයක් නැත. එමෙන් ම අනෙකාට ඉගෙනුම ලබන්නට ඇති අයිතියට බාධා දමන්නට පවතින යල්පැනගිය අධ්‍යාපන ක්‍රමයට මුවා වීමට ද අයිතියක් නැත. ඒ බව වටහා ගෙන යි, මේ ගැටලුවට විසඳුමක් දිය යුතු වන්නේ. ඊට බාධා කරමින්, එදිනෙදා ජන ජීවිතය පවා අවුලකට යවමින් තැන තැන නඟනු ලබන විරෝධතාවල පිටුපස ඇත්තේ 'අවස්ථාවාදි කණ්ඩායම්' තව දුරටත් බොරදියේ මාළු බා ගැනීම පමණි.
රට ඉදිරියට යන්නට නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පමණක් නො ව, විවේචන දැක්වීම ද සාධාරණ පදනමක් මත පිහිටා කළ යුතු ය; පැහැදිලි දැක්මක් අනුව කළ යුතු ය. අද විපක්ෂය ලෙස පෙනී සිටින 'අවස්ථාවාදි කණ්ඩායම්වලට' එවැනි පදනමක් හෝ දැක්මක් හෝ නැත. ඇත්තේ ම අවස්ථාවාදය පමණි; තම පෙර වැරදි ජනතාවගෙන් වසන් කර ගැනීමේ අවස්ථාවාදය පමණි.
මේ අවස්ථාවාදය මෙතරම් බලාත්මක ව ඇත්තේ වත්මන් මාධ්‍ය භාවිතය නිසා ය. 'අවස්ථාවාදි කණ්ඩායම්' රට නොමඟ යවන අපරාධයට මාධ්‍ය භාවිතය ද නොමඳ සහායක් ලබා දෙමින් සිටී.